ශ්‍රී ලංකා දැල්පන්දුවට නව ප්‍රධාන පුහුණුකාරිනියක්

552
Somitha De Alwis

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (NFSL) විසින් ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස සොමිතා ද අල්විස් පත්කර ඇත. 

මීට අදාළ සම්මුඛ පරීක්‍ෂණ පසුගිය සඳුදා (06) පවත්වනු ලැබුවේ සී. රත්නමුදලි (සභාපති), වෛද්‍ය ලාල් ඒකනායක, යසා රාමචන්ද්‍ර, යස්මින් ධර්මරත්න හා ඔලිවියා ගමගේ යන අයගෙන් සමන්විත වූ මණ්ඩලයක් විසිනි. 

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති සොමිතා ශ්‍රී ලංකාව තුළ දැල්පන්දු ක්‍රීඩිකාවක් මෙන්ම පුහුණුකාරිනියක් ලෙස ද දිගු ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. ඒ අනුව ඇය 1995 සිට 2008 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරනු ලැබූ අතර එහි දී 1994 සිට 1997 කාලය දක්වා කණ්ඩායමේ උපනායකත්වයත්, අනතුරුව 2003 වසරේ දී ජැමෙයිකාවේ දී පැවති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයත් ඇය විසින් දරා ඇත. එමෙන්ම ඇය එහි දී 1997 සහ 2001 වසරවල දී ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් ද නියෝජනය කර ඇත. 

ඒ අතරතුර හැටන් නැෂනල් බැංකුව සමඟ එක්වන සොමිතා ක්‍රීඩිකාවක් මෙන්ම පුහුණුකාරිනියක් ලෙස ද එහි දී ඔවුන්ගේ දැල්පන්දු කණ්ඩායම ජාතික ශූරතා ජයග්‍රහණ කිහිපයකටම මෙහෙය වන්නට සමත්ව ඇත්තේ අනෙක් පසෙන් එහි සිය වෘත්තීය ජීවිතය ද ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි ධුරයක් දක්වා උසස් කර ගනිමිනි. 

මේ වන විට ඇය නාවික හමුදා ක්‍රීඩා සමාජයේ දැල්පන්දු පුහුණුකාරිනිය වශයෙන් ද කටයුතු කරනු ලබන අතර එහි දී ඔවුන්ව මේ දක්වා ජාතික ශූරතාවලි ජයග්‍රහණ දෙකක් කරා රැගෙන යන්නට ද ඇය සමත්ව සිටියි.  

NFSL වෙතින් මූලික සහ අන්තර් මධ්‍යම පුහුණු කිරීමේ සහතික සම්පූර්ණ කර ඇති ඇය ශ්‍රී ලංකාව සමඟ පුහුණුකාර වගකීම් බාරගනිමින් ඊට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වූයේ 2008 වසරේ දී ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවය කරා මෙහෙයවමිනි. 

අනතුරුව 2013 වසරේ සිංගප්පූරුවේ දී පැවති Nations Cup තරගාවලිය සඳහා ඇයව ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස ද පත්කරනු ලැබීය. 

මීට පෙර ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස යටතේ සහකාර පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ පී. ඩී. එන්. ප්‍රසාදි මෙහි දී තවදුරටත් සොමිතා යටතේ ද සහකාර පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනු ඇති අතර 1997 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ඇයගේ නායකත්වය යටතේ ය. 

ඊට අමතරව ප්‍රසාදි ක්‍රීඩිකාවක් මෙන්ම පුහුණුකාරිනියක් ලෙස ද යුද හමුදා ක්‍රීඩා සමාජය ද නියෝජනය කර ඇති අතර ඇය මේ වනවිට කොළඹ මියුසියස් විද්‍යාලයේ දැල්පන්දු ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනු ලබයි. 

තවත් කියවන්න;

ඒ අනුව සාර්ථක වසර 2ක ධුර කාලයකින් අනතුරුව මීට මාස 2කට පමණ පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වූ 2018 වසරේ දී ශ්‍රී ලංකාව දශකයක පමණ කාලයකින් පසුව ආසියානු ශූරතාවලි ජයග්‍රහණයක් කරා මෙහෙයවා පසුව කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා උසස් කර තැබූ හිටපු ප්‍රධාන පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ අඩුව පිරවීමේ සුවිසල් කාර්යභාරය සොමිතා හට පැවරෙනු ඇත. 

NFSL දන්වා සිටින පරිදි සොමිතාගේ මෙම පත්වීම වසරක කාලයක් සඳහා වලංගු වන අතර කණ්ඩායම දක්වන දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් එය පසුව 2022 ආසියානු දැල්පන්දු ශූරතාවලිය දක්වා තවත් වසරක කාලයක් සඳහා දීර්ඝ කෙරෙනු ඇත. 

කෙසේ නමුත් සොමිතා හට පැවරෙන පළමු කාර්යය වන්නේ COVID-19 වසංගතය හේතුවෙන් නවතා දමා ඇති පුහුණුවීමේ කටයුතු නැවත ආරම්භ කර කණ්ඩායම 2021 ආසියානු ගෘහස්ථ තරගාවලිය සඳහා සූදානම් කිරීමයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<