ලෝක ටෙනිස් ශූරයාටත් කොරෝනා වැලඳේ

376
Image Courtesy: Essentially Sports

මතභේදයකට තුඩු දුන් ඇඩ්‍රියා සංචාරයට සහභාගි වූ, ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩක Novak Djokovic හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට අමතරව ඔහුගේ බිරිඳ වන Jelena Đoković හට ද වයිරසය ආසාදනය වී ඇති නමුත් ඔහුගේ පුත්‍රයා වන Stefan Đoković සහ දියණිය වන Tara Đoković හට වයිරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා ප්‍රථම දැල්පන්දු නායිකාව දිවි ගමනින් සමුගනී

Novak Djokovic විසින් ක්‍රොඒෂියාවේ සාදාර් හිදී පැවැත්වූ මෙම තරගාවලිය පටන් ගැනීමට පෙර ක්‍රොඒෂියානු රජය විසින් ඔවුන්ගේ සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබුණි. ඒ නිසාවෙන් ක්‍රීඩකයන් තරගාවලිය තුළ දී කිසිදු ආකාරයෙන් ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරනු දක්නට නොලැබුණු අතර තරග අවසානයේ දී ඔවුන් එකිනෙකා වැළඳ ගෙන සතුට සමරනු ද දක්නට ලැබුණි.

පසුගිය සිකුරාදා සිට තරගාවලිය අතරතුර දී, බල්ගේරියානු ජාතික Grigor Dimitrov සමඟින් Djokovic, Alexander Zverev සහ Marin Cilic පැසිපන්දු ක්‍රීඩා කරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබූ අතර එම ක්‍රීඩකයන් අතරින් Cilic සහ Zverev හැර අනෙකුත් දෙදෙනාටම වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Cilic සහ Zverev යන ක්‍රීඩකයන්ගේ ද කොරෝනා වයිරස පරීක්ෂණ සිදු කර ඒවායේ ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ නමුත් ඔවුන් සියලුම දෙනා දින 14 ස්වයං නිරෝධායන කාලසීමාවකට යොමු කර ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Djokovic ප්‍රකාශ කර සිටියේ තමන් හා සිය පවුල බෙල්ග්‍රේඩ් වෙත පැමිණි විටම කොරෝනා පරීක්ෂණ සඳහා යොමු වීමට කටයුතු කළ බවයි.

“පසුගිය මාසයේ අප කළ සියලු දේ සිදු කළේ පිරිසිදු හදවතකින් සහ අවංක චේතනාවෙන්. අපගේ තරගාවලියේ අරමුණ වුනේ එකමුතු බව සහ සහයෝගිතාව පිළිබඳ පණිවිඩය කලාපය තුළ බෙදා ගැනීමයි. නමුත් අප සෑමවිටම එහි සංවිධායක රටවල් සමඟ ආරක්ෂිත ක්‍රියාමාර්ග දැඩිව අනුගමනය කළා” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

කෙසේ නමුත් තරගාවලිය පසුගිය ඉරිදා අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කළ අතර එ් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටියේ ක්‍රීඩකයන්ගේ සහ එයට සහභාගී වන සියල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මූලිකත්වය දෙමින් අවසන් තරගය අවලංගු කිරීමට තීරණය කළ බවයි.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරස තත්වය නිසාවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කළ අතර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ද අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<