නාවිකයින් අභිබවා යුද හමුදාවට තියුණු ජයක්

158

Dialog අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ යටතේ ඊයේ (6) යුද හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 45-26ක පෙරළිකාර ජයක් වාර්තා කරගන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් විය. 

>>CR&FC තරගය අත්හැර දමයි; පොලීසියට ජය

නාවික හමුදා කණ්ඩායමට තරගයට සාර්ථක ආරම්භයක් හිමිකර දුන් රදීෂ සෙනෙවිරත්න තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. අනතුරුව එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඉසුරු කෝන්ගහවත්ත විසින් සාර්ථක කර ගනු ලැබීය. (ASC 00-07 NSC)

ඊට වහාම පිළිතුරු ලබාදුන් යුද හමුදා ක්‍රීඩා සමාජයේ මදුසංක චන්ද්‍රසේකර ඔවුන්ගේ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගනු ලැබීය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ඉසුරු මැදගෙදර විසින් සාර්ථක කරගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි. (ASC 07-07 NSC)

අනතුරුව සුදාරක දික්කුඹුර පාදයෙන් පහරක් එල්ල කරමින් ඉදිරියට යොමුකළ පන්දුවක් ග්‍රහණයට ගත් රවීන් ද සිල්වා විසින් එය උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගියේ නාවික හමුදා ක්‍රීඩා සමාජය නැවතත් තරගයේ පෙරමුණට රැගෙන යමිනි. අනතුරුව එය කෝන්ගහවත්ත විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබීය. (ASC 07-14 NSC)

පසුව යුද හමුදා ක්‍රීඩා සමාජයේ ෆීජි ජාතික ටොමාසි කකූසා විසින් පන්දුව ඉතා දක්‍ෂ ලෙස ඉදිරියට රැගෙන ගොස් එය දික්කුඹුර වෙත බාර කළ අතර පෙර ඔහු අතින් සිදු වූ අත්වැරදීම මෙහි දී නිවැරදි කරගත් දික්කුඹුර පන්දුව පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් එහිදී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට මැදගෙදර සමත් වූයේ නැත. (ASC 12-14 NSC)

මහනුවර ඉදිරිපෙළ හමුවේ හැව්ලොක් අසරණ වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ තවත් තරගයක් සඳහා අද (01)…

ඉන් අනතුරුව දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් නාවික හමුදා ක්‍රීඩකයින් යුද හමුදා ක්‍රීඩකයින් හට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර එම පීඩනය හමුවේ බිඳ වැටුණු යුද භටයින් අභිබවමින් පළමු අර්ධය අවසන් වන්නට පෙර පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගන්නට නාවිකයින් සමත් විය. චරිත් සිල්වා සහ ස්ටෙෆාන් ග්‍රෙගරි විසින් පිළිවෙළින් එම උත්සාහක දිනුම් වාර්තා කරගනු ලැබූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන්ගෙන් එක් අවස්ථාවක් සාර්ථක කරගන්නට කෝන්ගහවත්ත සමත් විය. 

පළමු අර්ධය: යුද හමුදා ක්‍රීඩා සමාජය 12 – 26 නාවික හමුදා ක්‍රීඩා සමාජය 

දෙවන අර්ධයට දැඩි ප්‍රවේගකාරී විලාශයකින් අවතීර්ණ වූ යුද හමුදා ක්‍රීඩකයින් මිනිත්තු කිහිපයක් තුළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය අඩු කරගන්නට සමත් විය. අෂාන් බණ්ඩාර සහ ටොමාසි විසින් එම උත්සාහක දිනුම් පිළිවෙළින් වාර්තා කර ගත් අතර එහි දී පළමු අවස්ථාවේ දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව මැදගෙදර විසින් සාර්ථක කරගැනීමට අපොහොසත් වීමත් සමඟ දෙවන අවස්ථාවේ දී එම වගකීම බාර ගත් චමත් ප්‍රනාන්දු විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කරගනු ලැබීය. (ASC 24-26 NSC)

නාවික කණ්ඩායම තවත් තියුණු සටනකින් ජයග්‍රහණය කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ තරග පසුගිය දා ආරම්භ විය…

ඉන් අනතුරුව ද ඒ ආකාරයට ම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ යුද හමුදා ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් තුනක් තම ලකුණු පුවරුවට එක්කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. එහි දී ඔවුන්ගේ ආරක්‍ෂක පෙළ ද ඉතා ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළේ ප්‍රතිවාදී නාවික හමුදා ක්‍රීඩකයින් හට දෙවන අර්ධයේ දී කිසිඳු උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. 

එහි දී මදුසංක චන්ද්‍රසේකර විසින් ඔහුගේ දෙවන උත්සාහක දිනුමත් හා දනුෂ්ක තලවත්ත විසින් උත්සාහක දිනුම් ද්විත්වයකුත් වාර්තා කරගනු ලැබූ අතර චමත් විසින් ඒ සියළු උත්සාහක දිනුම් සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට ද සමත් විය. 

ඒ අනුව දෙවන අර්ධයේ දී දියත් කළ විශිෂ්ට ක්‍රීඩා විලාශයත් සමඟින් මෙම තරගයෙන් ලකුණු 45-26ක ජයක් වාර්තා කරගන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් විය. 

අවසන් ලකුණු තත්වය: යුද හමුදා ක්‍රීඩා සමාජය 45 (7 T 5C) – 26 (4T 3C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

Dialog Viu තරගයේ වීරයා: මදුසංක චන්ද්‍රසේකර (යුද හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම:

  • යුද හමුදාව: මදුසංක චන්ද්‍රසේකර 2T, දනුෂ්ක තලවත්ත 2T, සුදාරක දික්කුඹුර 1T, අෂාන් බණ්ඩාර 1T, ටොමාසි කකූසා 1T, චමත් ප්‍රනාන්දු 4C, ඉසුරු මැදගෙදර 1C
  • නාවික හමුදාව: රදීෂ සෙනෙවිරත්න 1T, රවීන් ද සිල්වා 1T, චරිත සිල්වා 1T ස්ටෙෆාන් ග්‍රෙගරි 1T, ඉසුරු කෝන්ගහවත්ත 3C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<