ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශෂිකලාට ජයග්‍රහණයකින් සංග්‍රහ කරයි

133

සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී වූ ශෂිකලා සිරිවර්ධනගේ දක්ෂතා හේතුවෙන් ඊයේ (02) මෙල්බර්න් නුවර දී පැවති බංග්ලාදේශය හා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළහ. 

මෙම ජයග්‍රහණය හත් වැනි වරටත් පැවති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සහභාගී වූ පළමු වටයේ අවසන් තරගය වූ අතර ජයග්‍රහණය ලැබීමට හැකි වූ එකම තරගය ලෙසින් ද තරගාවලි දත්ත අතරට එක් විය. එම තරගය නිමාවත් සමඟින් ශ්‍රී ලංකාව කණ්ඩායම් 5කින් සමන්විත වූ A කාණ්ඩයේ සිව්වැනි තැන ලබා ගත්තේය.  

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 91ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ කඩුලු රකින ක්‍රීඩිකා නයිගර් සුල්තානා ය. ඇය පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තාය. 

ඊට අමතරව සංජිදා ඉස්ලාම් සහ ෆර්ගනා හක් ලකුණු 13 බැගින් ලබා ගත්හ. අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් දෙකේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ තැබුවේ නැත.

කඩුලු ලබා ගැනීමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළාය. මේ දක්ෂතාව හේතුවෙන්ම ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවාය. ශෂිකලාගේ මේ දක්ෂතාව මෙවර ලෝක කුසලානයේ හොඳම පන්දු යැවීම් අතරින් පළමු ස්ථානයට ද පත්විය. 

 ශෂිකලාට අමතරව අචිනි කුලසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තාය. 

ලකුණු 92ක ඉලක්කයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසියේ හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු ය. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් එක් කළේ පන්දු 53ක් පමණක් උපයෝගී කර ගනිමිනි. 

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ චමරි අතපත්තු ය. ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තාය. අනතුරුව පිටියට පිවිසියේ කඩුලු රැකි ක්‍රීඩිකා අනුශ්කා සංජීවනී ය. 

හසිනි සහ අනුශ්කා එක්ව ඉනිමේ තවත් පන්දු 27ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්හ. එහි දී හසිනි පෙරේරා පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද අනුශ්කා සංජීවනී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්තාය. 

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 91 (20) නිගාර් සුල්තානා 39, ශෂිකලා සිරිවර්ධන 4/16, අචිනි කුලසූරිය 2/19

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුල්ලක් දැවී 92 (15.3) හසිනි පෙරේරා නොදැවී 39, චමරි අතපත්තු 30, අනුශ්කා සංජීවනී නොදැවී 16

තරගාවලියේ මේ වන විට අවසන් පූර්ව වටය සඳහා අන්ත දෙකෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබා ඇත. අද (03) පැවැත්වෙන පාකිස්තානය සහ තායිලන්තය අතර තරගයේ සහ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහිකාවන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. එම තරග මේ මස 5 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය මේ මස 8 වැනිදා පැවැත්වීමට නියමිතය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<