මැතිව් අබේසිංහගෙන් රන් පදක්කම් තුනක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - පිහිනුම්

230

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග ඉසව් අද (5) ආරම්භ වූ අතර එහි දී පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්ව තිබේ.

අරුණ, ඩිල්ෂි, සුගන්ධි සහ හෂිනි බරටම රන් දිනයි

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2019 දකුණු….

අද ආරම්භ වූ පිහිනුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පළමු රන් පදක්කම ජයග්‍රහණය කළ මැතිව් අබේසිංහ පිරිමි මීටර 200 නිදහස් ආර (මිනිත්තු 1:48.92ක) ඉසව්වට සහභාගී වෙමින් එම පදක්කම ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. ඊට අමතරව මීටර 100 සමනල ආර ඉසව්ව තත්පර 53.65කින් අවසන් කරමින් සිය දෙවන රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 

ඊට අමතරව 100×4 පිරිමි නිදහස් ආර තරග ඉසව්ව මිනිත්තු 3:19.07කින් අවසන් කළ ශ්‍රී ලංකා පිරිමි සහය පිහිනුම් කණ්ඩායම ද ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කමක් එකතු කළේය. එම කණ්ඩායමට මැතිව් අබේසිංහ, අකලංක පීරිස්, ස්ටෙෆාන් පෙරේරා සහ කවින්ද්‍ර නුගවෙල යන ක්‍රීඩකයින් ඇතුළත් විය.

භක්ති කරුණාසේන, සන්දු සවින්දි, ගංගා සෙනෙවිරත්න සහ හිරුකි ද සිල්වා යන ක්‍රීඩිකාවන් 100×4 කාන්තා නිදහස් ආර තරග ඉසව්ව මිනිත්තු 4:00.18කින් අවසන් කරමින් ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රිදී පදක්කමක් එකතු කරන ලදි. 

ඊට අමතරව අද පැවති පිහිනුම් තරග ඉසව්වල දී තවත් ලෝකඩ පදක්කම් තුනක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර මීටර 200 පිරිමි ළය ආර ඉසව්ව නියෝජනය කළ කිරන් ජාසිංහ, එහි කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ රමුදි සමරකෝන් එම පදක්කම් තුනෙන් දෙකක් ජයග්‍රහණය කළේය. මීටර 100 කාන්තා සමනල ආර ඉසව්ව නියෝජනය කළ අනීකා ගෆූර් මිනිත්තු 1:04.85කින් ඇයගේ ඉසව්ව අවසන් කරමින් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නාය. 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තවත් පිහිනුම් ඉසව් කිහිපයක් හෙට (6) දිනයේ දීත් පැවැත්වෙන නිසා හෙට දිනයේ දීත් ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් තවත් පදක්කම් කිහිපයක් අපේක්ෂා කිරීමට හැකිය.

 >> අද දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න << 

2016 දී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම් දක්වන්නට සමත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පිහිනුම් කණ්ඩායමයි. ඔවුන් එහි දී රන් පදක්කම් 12ක්, ලෝකඩ පදක්කම් 11ක්, රිදී පදක්කම් 16ක් ඇතුළු සමස්ත පදක්කම් 39ක් දිනා ගන්නා ලදි. 

මැතිව් අබේසිංහ 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පදක්කම් ගණනක් දිනා ගත් ක්‍රීඩකයා බවට පත් වූයේ රන් පදක්කම් හතක්, රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමිනි.

අභියෝගතා රැසක් මැද පැවති මේ පිහිනුම් තරගාවලිය සංවිධානය කිරීමේ දී ගැටලු රාශියක් පැන නැගී තිබුණු නමුත් අවසන් මොහොතේ මෙම තරග ආරම්භ කිරීමට අවස්ථාව උදා විය. 

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 31ක් සහ ලෝකඩ පදක්කම් 51ක් සමඟින් සමස්ත පදක්කම් 99ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<