මාතලේ හිස රැවුල් හැඩ කරන කායවර්ධන ශූරයා – නාමල් තුෂාර

649

ඔහුගේ අතෙහි ඇති දැලි පිහිය මගේ මුව මත එහා මෙහා යයි. ඔහු කායවර්ධකයෙකි. ශක්තිමත් දෑත් ඇත්තෙකි. එහෙත් මම කිසිදු සැකයකින් තොරවම මා ඉදිරිපිට ඇති කණ්ණාඩිය දෙස බලා සිටිමි. එය කිසිදු වේදනාවක් නොදේ. සාමාන්‍යයෙන් අතෙහි පයෙහි හයිය වැඩි වන විට මිනිසුන්ගේ දෑතේ කලාත්මක හැකියාවන් දුර්වල වන බව සාමාන්‍ය මතයයි. එහෙත් නාමල්ගේ කලාත්මක කොණ්ඩා සහ රැවුල් සැකසුම් හැකියාවන් දුර්වලව නැත.

එතැනින් නොනැවතී ඔහු තවත් හැකියාවක් වර්ධනය කොටගෙන ඇත. ඒ කායවර්ධන හැකියාවයි. මාතලේ නගරයේ පිහිටි “නාමල් සැලෝන්” හි හිමිකරු නාමල් තුෂාර මල්වත්තගේ නම් මගේ ප්‍රාථමික පාසල් සගයා අද ජාතික කායවර්ධන ශූරයෙකි. වසර කිහිපයකට පසුව රැවුල බා ගැනීමට ඔහු හමු වූ මට ඔහුගෙන් විමසීමට බොහෝ දේ විය. ඔහු ශූරයෙකු වුනේ කෙසේ දැයි විමසමු.

“තියෙන දේ පෙන්නන්න එපැයි නේ?”

නාමල් ඉපදුණේ කොහේ ද? පාසල් කාලේ ගැන මතක් කරොත්?

“මම ඉපදුණේ මාතලේ බණ්ඩරපොල බී ජනපදයේ. මාතලේ විජය විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. අපි දෙන්නා හිටියෙත් එක පන්තියෙනේ (සිනාසෙමින්). ක්‍රීඩාව පැත්තෙන් තමයි ගොඩක් ඉස්සරහට ගියේ. වොලිබෝල් ගැහුවා. දඟ වැඩත් කරා. ඉස්කෝලේ යන කාලේ නම් ඉතින් නාහෙට අහන්නෙ නෑනේ (සිනාසෙමින්). යාළුවෝ ගොඩක් හිටියා. ඉස්කෝලෙන් අයින් වෙලා තමයි සැලෝන් රස්සාවට ආවේ.”

ඔහුත් මමත් මාතලේ විජය විද්‍යාලයේ දී ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ එකට ය. පහේ ශිෂ්‍යත්වයෙන් පසු මා අගනගරයට සංක්‍රමණය වූ පසු අප නැවත හමුවූයේ කිහිපවිටක් පමණ ය. එතැන් සිට වසර 20ක් ගතවී ඇත. නාමල් ඒ වසර 20 අපතේ හැර නැත. ඔහුගේ ක්‍රීඩා දිවිය ගැන විමසන්නට පෙර මම ඔහුගේ වෘත්තීය දිවිය ගැන විමසුවෙමි.

කොණ්ඩා කැපීමේ වෘත්තිය පටන් අරන් තමන්ගේම ව්‍යාපාරයක් දක්වා ආපු ගමන කොහොමද?

“අපි ඉස්කෝලේ යන කාලේ 9 වසරේ ඉඳන් වගේ කොණ්ඩේ කැපුවේ කෝලිත කියලා අයියා කෙනෙකුගෙන්. ඉස්කෝලේ ඇරිලත්, ක්ලාස් ගිහිල්ලත් එතෙන්ට තමයි යන්නේ. එහෙම ඉඳලා ඉතින් ගමේ සැලෝන් එකට ගියා. නිකන්ම වැඩ පුරුදු වුනා. කවුරුත් කියලා දීලා එහෙම නෑ. හිතුණා, වැඩ කරන්න ගත්තා. ඒකටම හුරු වුනා. මුලින්ම මම වැඩ කරන්න කියලා ගියෙත් කෝලිත අයියා ළඟට. පස්සේ අපි දෙන්නා තව තැනක අවුරුදු 6 හමාරක් විතර වැඩ කරා. හිතුවා තනියම එකක් පටන් ගන්න ඕන කියලා. එහෙම තමයි පටන් ගත්තේ.”

එසේ තම වෘත්තිය ආරම්භ කළ ඔහු ඔහුගේ කොණ්ඩා කැපීමේ වෘත්තියේ 13 වැනි වසර පසුකරමින් සිටියි. එවන් කාලයක අත්දැකීම් ඇති කොණ්ඩා කපන්නෙකුට තවත් අමුතුවෙන් උගත යුතු යමක් ඇතැයි මම නොසිතමි. වසර 13ක් යනු ඉතාම ප්‍රමාණවත් අත්දැකීම් සම්භාරයකි. ඒ කාලය ඇතුළත ඔහු ඔහුගේම නමින් ව්‍යාපාරයක් ඇරඹීමට තරම් දක්ෂ වූ තරුණයෙකි. එතැනින් නොනැවතී ඔහු අලුත් වැඩකට අත ගැසුවේය. ඒ කායවර්ධනයයි.

වෘත්තියක යෙදෙමින් ඉඳලා එක පාරටම කායවර්ධන ක්‍රීඩාවට යොමුවුනේ ඇයි?

“හරියට ට්‍රේන් කරොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්”

“ආසාවක් එහෙම තිබුනෙත් නෑ. ඒත් මං එක්ක ජිම් ගිය යාළුවෝ දෙන්නෙක් මීට් එකකට නැග්ගා. ඒ වෙලාවේ මටත් හිතුණා මීට් එකක් කරන්න ඕන කියලා. එතකොටත් අවුරුදු 13ක් ජිම් ගිහින් තිබුණා. ඊට පස්සේ තමයි බොඩි බිල්ඩින් වලට ආවේ. නිකමට හිතුණා අපි ඇඟක් හදාගෙන කාටවත් පෙන්නන්නෙත් නැත්නම් මොකටද කියලා. තියෙන දේ පෙන්නන්න එපැයි නේ? (සිනාසෙමින්).”

එසේ ආරම්භ කළ කායවර්ධන ක්‍රීඩා ජීවිතයෙහි දෙවසරක් ගතවීමටත් ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ ශූරයෙකු වීමට සමත්ව ඇත. දැනට ජාතික ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 70 බරපන්තියේ රන් පදක්කම හිමි කායවර්ධන ශූරයා ඔහුයි.

කායවර්ධන ක්‍රීඩාවෙන් ජාතික මට්ටම දක්වා ආපු ගමන කොහොමද?

“පළවෙනි තරගය වුනේ 2017 මධ්‍යම පළාත් කායවර්ධන තරගය. එතකොට නම් අත්දැකීමක් නෑ ඇත්තටම. මොකක්ද කරන්නේ කියලාවත් දන්නේ නෑ එතකොට. කොහොමහරි පළවෙනි තරගයෙන්ම ලෝකඩ පදක්කමක් හම්බවුනා. ගොඩක් සතුටු වුනා පළවෙනි තරගෙන්ම එහෙම ලැබුනහම.”

“ඊට මාස එක හමාරකට විතර පස්සේ මධ්‍යම පළාත වෙනුවෙන් ජාතික මහා ක්‍රීඩා උළෙලට තේරීමේ තරගයට සහභාගී වුනා. ඒකෙදි රිදී පදක්කමක් හම්බවුනා. පස්සේ තිබුණා ශ්‍රී ලංකා ආධුනික තරගය. ඒකෙ අන්තිම දහදෙනාට ඇවිත් ඉවතට ගියා. ඊට පස්සේ මං කරන්න ඕන මොනවද කියලා හිතලා බැලුවා. තේරුණා මෙහෙම ගිහින් හරියන්නේ නෑ කියලා. නිකන් හිටපු විදිහට ගිහින් මෙඩ්ල් දෙකක් ගෙනාව නම් හරියට ට්‍රේන් කරොත් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා හිතලා කැපවෙලා ට්‍රේනින් කරනවා කියලා හිතුවා.”

ඕනෑම ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩා දිවිය තුළ දී හමුවන හැරවුම් ලක්ෂ්‍යයක් ඇත. නාමල්ගේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහු විසින් ගත් මෙම තීරණයයි. එනම් ක්‍රීඩාවට 100%ක් කැපවීමයි.   

“මම රන් පදක්කම දිනාගත්තා”

“එතනින් මාස 6ක් විතර යනකම් මීට් එකකටවත් නැග්ගේ නෑ. මම කැපවුනා. 2018 පළවෙනි තරගය වුනේ ගාල්ලේ තිබුණු ශ්‍රී ලංකා ආධුනික තරගය. මාතලේ දිස්ත්‍රික්කයෙන් සහභාගී වුණු 13 දෙනාගෙන් මම විතරයි සිල්වර් මෙඩ්ල් එකක් දිනුවේ. ඊටපස්සේ තිබුණු මධ්‍යම පළාත් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තා. 2018 ජාතික මහා ක්‍රීඩා උළෙලට තොරාගැනීමේ තරගයේ දී රන් පදක්කම දිනුවා.”

ඊට සතියකට පස්සේ තමයි Mr. Matale තරගය තිබුණේ. 2018 මිස්ටර් මාතලේ වුනේ මමයි. ඒකෙදි මම සමස්ත ශූරයා වුනා. ඊට පස්සේ තිබුණා ජාතික මහා ක්‍රීඩා උළෙල. ඒක තිබුණේ පොළොන්නරුවේ. එතන දී මම රිදී පදක්කමක් දිනුවා. ඒ කියන්නේ 2017 දී ෆේල් වුනු තරග දෙකම මම 2018 දී දිනුවා.

එතකොට මට ගොඩක් අය කිව්වා Mr. Sri Lanka එකට යන්න කියලා. ඒත් මම කිව්වා දැන්ම බෑ කියලා. ඊට පස්සේ 2019 ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගයේ දී දෙවැනි ස්ථානය අරගෙන සුදුසුකම් සම්පූර්ණ කරා. බදුල්ලේ දී තිබුණු 2019 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මම රන් පදක්කම දිනා ගත්තා.”

කායවර්ධකයෙකුට අත්‍යාවශ්‍ය වන්නේ ඉවසීමයි. තරගයෙන් තවත් තරගයකට යන උනන්දුව ඇතිවා සේම ඒ අතරතුර ශරීරයට අවශ්‍ය විවේකය ලබා දෙමින් මාංශ පේශී වර්ධනය සඳහා කැපවීම එහි මූලිකාංගයකි. එසේ සිදු කළ කැපවීම් වල ප්‍රතිඵලය ලෙස මේ මොහොතේ ඔහුගේ බරපන්තිය තුළ ශ්‍රී ලංකාවේ සිටින හොඳම කායවර්ධකයා වීමට නාමල් සමත්ව ඇත.

කායවර්ධනය කියන්නේ තහනම් උත්තේජක එක්ක කරන සෙල්ලමක් ද?

එකේක විදිහට ඇඟ හදන්න පුළුවන්. තහනම් උත්තේජක සම්බන්ධ කතාත් අපි අහනවනේ. එහෙම දේවල් පාවිච්චි කරොත් ඉක්මනට ඉස්සරහට එන්න පුළුවන් ඒත් අතුරු ආබාධ එහෙමත් ලැබෙනවා. අහවලා මේ වැරැද්ද කරනවා කියලා එහෙම නාමික වශයෙන් කියන්න බෑ. ඒත් ඇඟක් දැක්කහම කියන්න පුළුවන් මෙයා නම් උත්තේජක අරන් ඉන්නේකියලා. එහෙම අයවත් මම තරගවල දී පරාද කරලා තියෙනවා. මට ලැබුණු ඇඟ උපතින්ම ලැබුණු ඇඟක්. ඉතින් මම එහෙම කරා නම්  මට කොච්චර දේවල් කරන්න පුළුවන් වෙයි ද?”

ඕස්ට්‍රේලියාව දිග්විජය කළ ශ්‍රී ලාංකික තරුණයා – තිලිණ සසංක

තිලිණ සසංක, ශ්‍රී ලංකාවෙන් බිහිවූ නවතම කායවර්ධන ……

මට ප්‍රවීණ ක්‍රීඩකයෝ පවා කියලා තියෙනවා ඒවා පාවිච්චි කරලා ඇඟ ලොකු කරගන්න කියලා. එහෙම නැතුව ඉතින් කෑම බීම අරගෙන හරි පැත්තෙන් යන්නත් පුළුවන්. බොඩි බිල්ඩින්වල දී අඩුම වශයෙන් දවසකට කෑම වේල් 10ක් වත් ගන්න ඕන. දැන් මම වැඩ කරද්දී නම් එහෙම කැවෙන්නේ නෑ. උපරිම 5ක් හෝ 6ක් තමයි වැටෙන්නේ. රස්සාව කරන ගමන් නිසා.”

ඒත් මම වැඩ කරද්දී එක වැඩක් ඉවර කරලා ලැබෙන විනාඩි 10ක දී මොනවහරි බඩට දාගෙන එනවා. ගොඩක් නෙමෙයි. ග්‍රෑම් 150ක් 200ක් විතර. කෑම ටික ලෝඩ් කරලා තියාගන්න ඕන. Mr. Sri Lanka වගේ යන්න නම් ලොකු බොඩි එකක් තියාගෙන හොඳට කට් කරගෙන යන්න ඕන.” 

එහෙම බැලුවහම කායවර්ධන ක්‍රීඩාවට ගොඩක් වියදම් කරන්නත් වෙනවා නේද?

මේකෙන් (නාමල් සැලෝන්) හම්බ කරන එකෙන් තමයි හැමදේම කරන්නේ. ප්‍රෝටීන් එකක් ගත්තත් ඒක දවස් 20න් ඉවරයි. දවස් 20ට රුපියල් 12,500ක් යනවා. එහෙම බැලුවොත් මීට් එකක එක මෙඩ්ල් එකක් ගහනකොට රුපියල් 50,00060,000ක ප්‍රෝටීන් විතරක් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් බොඩි බිල්ඩර් කෙනෙක් මස් කිලෝ එක හමාරක්වත් කන්න ඕන දවසට. එහෙම කැවෙන්නේ නෑ ඇත්තටම. එච්චර දේවල් කරලත් සමහර වෙලාවට මෙඩ්ල් එකක් ගෙනාව කියලා කවුරුත් දන්නෙත් නෑ.”

කායවර්ධන ක්‍රීඩාව සඳහා ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත් ද?

මම තරග 12කට සහභාගී වෙලා 10කම මෙඩ්ල් අරන් තියෙනවා. දෙකයි ෆේල් වෙලා තියෙන්නේ. මං පටන්ගෙනත් අවුරුදු 2යි. එහෙම බැලුවහම ඇයි මේ ගැන හොයන්නැත්තේ? තව දක්ෂ ක්‍රීඩකයෝ මාතලේ ඉන්නවා. ඒත් කවුරුවත් දන්නෙ නෑ. මටත් අභියෝගයක් තියෙන්න ඕනනේ. එතකොටයි මගේ අඩුපාඩු මට හොයාගන්න පුළුවන් වෙන්නේ.”

ඔහු මේ පවසන්නේ කායවර්ධකයෙකු වශයෙන් ඔවුන්ට ලැබෙන මාධ්‍ය ආවරණය සහ ප්‍රචාරය ප්‍රමාණවත් නොවන බවය. මෙම ක්‍රීඩාව මෙරට ජනප්‍රිය වන්නේ නම් තවත් තරගකරුවන් ඊට එක්වී ක්‍රීඩාව තරගකාරී වනු ඇත.

නවකයින් කායවර්ධන ක්‍රීඩාව තුළින් ඉදිරියට එන්නට මොනවද කරන්න ඕන?

මාතලේ ක්ලබ්ස් 4ක් 5ක් තියෙනවා. කෙනෙකුට එක සැරේම ඇවිත් ජාතික තරගවලට යන්න බෑනේ. ඉතින් බලධාරියෝ අපට තරග පැවැත්වෙන්න මාස එක හමාරකටවත් කලින් කියන්න ඕන. මුලින් එනකොට කිසිම දෙයක් දන්නෙ නෑනේ. එහෙනම් මාතලේ දිස්ත්‍රික්කය ඇතුළේ තරග කරලා අත්දැකීම් ගන්න ඕන. සාමාන්‍යයෙන් ස්ටේජ් එකක් හුරුවෙන්න මීට් 4ක් 5ක්වත් කරන්න ඕන.”

අපිත් දැනගන්න ඕන ක්‍රීඩකයින්ව ඉස්සරහට තල්ලු කරන්න. සමහරුන්ගේ ටෙක්නික්ස් වැරදියි. විනිසුරුවෝ අපිව බලන්නේ කොහොමද කියලත් අපි දැනගන්න ඕනනේ. එහෙනම් එක පාරට යන්න හදන්නේ නැතුව මාතලේ දිනලා, ආධුනික තරගය දිනලා, මධ්‍යම පළාත් ආධුනික තරගය දිනලා ඒ අවුරුද්දේ එතනින් නැවතිලා තමන්ගේ තැන හදාගන්න ඕන. මේකට ලෑස්ති වෙන්නත් කාලයක් තියෙන්න ඕන. එතකොට අපි දන්නවා එයා ඉන්න තැන. ඊටපස්සේ පුළුවන් මධ්‍යම පළාත් තරගයට යන්න.”

කායවර්ධන මධ්‍යස්ථානයේ ඔහුගේ මිතුරන්

මගේ ක්ලබ් එකේ නම් කෙනෙක් වැරද්දක් කරනවා දැක්කොත් මම කියලා දෙනවා. මස්ල් එකෙන් මස්ල් එකට කරන ඕන විදිහ. එතකොට එයා තව කෙනෙක් වැරැද්දක් කරනවා දැක්කොත් එයාට කියලා දෙන්න ඕන. අපි දන්නා තරමින් අපෙන් වැඩක් ගන්නෙත් නෑනේ කවුරුත්. සල්ලි වලට නෙමෙයි. කෙනෙකුට ඉලක්කයක් තියෙනවා නම් බර පන්තියක් බලන්නෙත් නැතුව ඉස්සර වෙලා බොඩිය හදලා පස්සේ ෂේප් එකට හදාගන්න පුළුවන්. මීට් එක කෝල් කරන මාස එක හමාර ඇතුළත අපි වෙයිට් එක හදාගෙන ඉන්න ඕන. ඊට පස්සේ බලන්න පුළුවන් ඒක අඩු කරගෙන එන හැටි. අන්තිම දවස් ටිකේ නොකා නොබීනේ ඉන්නේ ඇත්තටම. කිලෝ ග්‍රෑම් 70 නම් 70න් හරි 65ක් තිබ්බොත් 65න් හරි තියෙන වෙයිට් එකෙන් මීට් එකට නගින්න පුළුවන්.”

ලංකාවේ තාක්ෂණික කායවර්ධන උපදේශකයන් අඩුයි. එහෙම තියෙද්දී ඔබ කොහොමද කෙටි කාලෙකින් මේ දැනුම ලබාගත්තේ?

මුල අමතක කරන්න බෑ කොහොමත්. මම 2004 ඉඳන් 2018 වෙනකම් හිටියේ Muscle & Fitness ජිම් එකේ. මම මීට් ගහලා එනකොට එම්.බී. විජේරත්න මාව භාරගත්තා. මට මධ්‍යම පළාතේ මෙඩ්ල් එකක් තියෙන බව මම දැනගෙන හිටියා. එතකොට මම හැමදාම රන් පදක්කම දින දිනා මාතලේම ඉඳලා වැඩක් නෑනේ. මම නැෂනල් ටයිට්ල් එක ගහන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මට වැඩිපුර දැනුමක් ඕන වුනා.”

පුහුණුකරුගෙන් ගන්න තියෙන දේ අරගෙන එතනින් එහාට අපිම හිතන්න ඕන. ඊට පස්සේ මම Golden Power ජිම් එකට ඇතුළත් වුනා. ගෝල්ඩන් පවර් ජිම් එකේ සභාපති ජයවික්‍රම රාජපක්ෂ අයියා කතා කරලා මට පුහුණුකරුවෙක්ව හොයලා දුන්නා. ඔහු දුලංජන් ඒකනායක කියලා සර් කෙනෙක්. මටත් වඩා බාලයි, ඒත් මං කියන්නේ සර්. එයා මගේ ඇඟ බලලා වර්ක් අවුට් එකක් දුන්නා. මම ජීවිතේට ගහලා තිබුණේ නෑ එහෙම එකක්. ඒකට පැය 4ක් යනවා මට. නමුත් මට පැය එක හමාරෙන් ගහන්න කිව්වා. ඊට පස්සේ මම පොතෙනුත් බලලා, අන්තර්ජාලෙනුත් හොයාගෙන ඒක හදාගත්තා. පළවෙනි සතියේ පැය 4ක් ගියා. ඊළඟ සතිය වෙද්දී පැය එක හමාරෙන් ගැහුවා.”

නාමල් සිය පුහුණුකරු දුලංජන් සමඟ

සර් ලොකු කැපකිරීමක් කරා. සත 5ක් වත් මගෙන් ගන්නැතුව කොළඹ ඉඳන් ඇවිල්ලා, දවසට පැය එක හමාරක් විතර කෝල් කරලා, මීට් එකකට යන්න ඕන කොහොමද, අන්තිම සතියේ, අන්තිම පැයේ කරන්න ඕන මොනවද කියලා කවදාවත් හම්බවුනේ නැති දැනුමක් දුන්නා. ඒක නොවුනා නම් මට 2019 ජාතික ශූරයා වෙන්න ලැබෙන්නේ නෑ.”

මෙතනින් ඉස්සරහට මොනවද තියෙන බලාපොරොත්තු?

අපේ දිස්ත්‍රික්කයෙන් කවුරුත් ශ්‍රී ලංකා තරගාවලිය දිනලා නෑ. බොඩි බිල්ඩින් කියන දේ ප්‍රසිද්ධ වුනේ ලූෂන් අයියා (ලූෂන් පුෂ්පරාජ්) නිසානේ. ඉතින් අපි මාතලෙන් වෙයිට් ක්ලාස් බෙදාගන්න ඕන. එකම දිස්ත්‍රික්කයෙන් එකම වෙයිට් එකට තරග කරලා වැඩක් නෑ.

ටාගට් එක තමයි ශ්‍රී ලංකා තරගයට නගින එක. 2020 වෙනකොට කොහොම හරි මෙඩ්ල් එකක් ගේනවා. ඒක දිනලා ආයේ පොඩි පොඩි තරග ක්‍රීඩා කරන්නැතුව ආසියානු තරගාවලියක් වගේ ජාත්‍යන්තර තරගාවලියකට යන්න ඕන. ශ්‍රී ලංකා මෙඩ්ල් එක ගත්තොත් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒකට බලධාරීන්ගෙන් තල්ලුවකුත් ඕනේ.”

පෞද්ගලික ජීවිතය පැත්තෙන් විශේෂ බලාපොරොත්තු තියෙනවද?

“දැන්ම බඳින්න අදහසකුත් නෑ”

ලොකු වෙනසක් නෑ. දැන්ම බඳින්න අදහසකුත් නෑ. කොණ්ඩා සැකසුම් පැත්තෙන් ඉස්සරහට යන්න කැමැත්තක් තියෙනවා. අපි නමක් හදාගත්තහම වෘත්තීය ගෞරවයක් තියාගන්න ඕන. ඒ නිසා මම කැමති නෑ කාගෙන්වත් ඉල්ලගෙන යන්න. ඉතින් මම මේ වෘත්තියෙන් ඉස්සරහට ගියොත් මට පුළුවන් කොණ්ඩා සැකසුම් වෘත්තියයි, කායවර්ධනයයි දෙකම එකට කරන්න.”

ඇඟවල් දැකලා ආසාවට මේ ක්‍රීඩාවට එන්න හදන යොවුන් ක්‍රීඩකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

මම දැන් ජිම් යන්න පටන් අරන් අවුරුදු 14ක් විතර ඇති. මාස දෙකක් ජිම් ඇවිත් ප්‍රෝටීන් ගහලා මස්ල් එක හදන එක නෙමෙයි වැඩේ. විනිසුරුවන් බලන විදිහ හරි වෙනස්. පොඩි පොඩි දේවල් තමයි බලන්නේ. පැරදෙන කෙනා පරදෙන්නේ පොඩි පොයින්ට් එකකින් වෙන්න පුළුවන්. අපි ඒවා හදාගන්න නම් අවුරුදු ගානක් පරණ වෙන්න ඕන.”

අවුරුදු 10ක් විතර සෙල්ලම් කරහම බොඩි එකේ අවශ්‍ය මස්ල්ස් හැදෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 40ට විතර එද්දී තමයි බොඩි එක හරි බැලන්ස් එකට එන්නේ. එතෙන්ට යන්න නම් වයස බලන්න ඕන.

වයස අවුරුදු 18යි නම්, ඒ මස්ල්ස් හැදෙන කාලේ. ඒවට හැදෙන්න දෙන්න ඕන. පිටි ගහලා නිකන් පුම්බගන්නවට වඩා බොඩි එකේ ඕන කොටස් නැත්නම් වැඩක් නෑ. ඒකයි මම කිව්වේ පොඩි පොඩි මීට් කරන්න ඕන කියලා. එතකොට අඩුපාඩු පේනවා. ඒක හදාගෙන තමයි ජාතික මට්ටමට යන්න ඕන.”

අනිත් එක පළවෙනි මීට් එක නැගලා පැරදුණා කියලා අතාරින්න හොඳ නෑ. එතකොට බලන්න ඕන ෆේල් වුනේ ඇයි කියලා. විනිසුරුවන්ටයි, සභාපතිටයි බැනලා වැඩක් නෑ. අපි කරන දේවල් වීඩියෝ කරලා බලන්න ඕන. හදාගන්න ඕන.”

අවසන් වශයෙන් මේ ගමන එන්න උදව් කරපු අයව මතක් කළොත්?

නිමා නොවන කැපවීමක්

විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන අවුරුදු 13ක් හිටපු ජිම් එකෙන් මාව ඉස්සරහට ගත්තු නිශාන්ත සමරනායක අයියට. එයා තමයි ඉස්සරවෙලාම මට මීට් එකක් කරමු කියලා කිව්වේ. ඊට පස්සේ විජේරත්න මහත්මයා උදව් කළා. රාජපක්ෂ අයියා සහ එයා මට කතා කරලා දුන්නු මගේ වත්මන් පුහුණුකරු දුලංජන්ටත් ස්තුති කරනවා. අනිත් කෙනා තමයි ලක්මාල් සහෝදරයා. මම මීට් එකකට නගින්නේ කොහෙද, එයා එතනට අනිවාර්යෙන් එනවා. මාව කලර් කරන්නේ (තරග සඳහා) එයා. එයා වෙන කාටවත් මාව කලර් කරන්න දෙන්නේ නෑ. කවුරු ගියත් නැතත් අද වෙනකම් මාත් එක්ක ඉන්නවා.”

මේ වනවිට ජාතික මට්ටමේ ඔහුගේ නම ලියැවී අවසන් ය. දැන් නාමල්ට ඇත්තේ කායවර්ධනයෙන් ජාත්‍යන්තරයට යෑමේ අවශ්‍යතාවයයි. වියදම් අධික මෙම ක්‍රීඩාව සඳහා ඔහු විසින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියි. ශ්‍රී ලංකාව වැනි රටවල් වල මෙවන් ක්‍රීඩකයින්ට ඇති විශාල අඩුපාඩුවක් වන්නේ අනුග්‍රාහකයින්ගේ අඩුවයි. යුරෝපය හෝ ඉන්දියාව වැනි රටවල් අනුග්‍රාහකත්වයෙන් ඉදිරියට පැමිණෙමින් ඇත. දක්ෂතා අතින් ඒ මට්ටමට ලඟා වන්නට නම් ජනාදරයට පත්විය හැකි හැඩරුව ඇති මොවුන්ට අනුග්‍රාහකත්වය සැපයීම වැදගත් කරුණකි. එවැනි ශක්‍යතාවයක් සහිත ඕනෑම කෙනෙකුට නාමල්ගේ පෞද්ගලික දුරකථනය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත හැකිය.

නාමල් තුෂාර මල්වත්තගේ – 0719-503492

වයස අවුරුදු 56ක කුඩා දරුවන් වශයෙන් එකම පන්තියක ඉගෙනුම ලැබූ ඔහුත් මමත් නගර දෙකක වාසයට ගොස් දිගු කාලයක් ගතවී ඇත. බොහෝ දේවල් වෙනස්ව තිබේ. මට ඔහු ගැන ලියන්නට ද, ඔහුට මේ ලිපියේ කතා නායක වන්නට ද හැකිව ඇත. එහෙත් නාමල්ගේ කෙළින් කතාව සහ දඩබ්බර ස්වභාවය මෙන්ම උත්සාහවන්තභාවය වෙනස් වී නැත. එබැවින් ඔහුගේ කායවර්ධන දිවියේ අනාගතය සුබ බව පෙනෙන්නට තිබේ. ස්වෝත්සාහයෙන් දියුණු වී රටට සේවය කරන්නට බලා සිටින නාමල්, ඔබට සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<