ලෝක ශූර දකුණු අප්‍රිකාවට බරටම සම්මාන

300

මාස්ටර්කාඩ් හා ලෝක රග්බි සම්මේලනයේ රග්බි සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ පීටර්- ස්ටීප් ඩූ ටොයිට් සමත් විය. වසරේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය එංගලන්තයේ එමිලි ස්කාරට් විසින් දිනා ගත්තාය. මෙම සම්මාන උළෙල ජපානයේ ටෝකියෝ නගරයේ දී ඊයේ (03) පැවැත්විය. 

ජපානය ලෝක කුසලානයෙන් ඔලිම්පික්වලට පාඩම් ඉගෙන ගනී.

2019 රග්බි ලෝක කුසලානය නිමා වූයේ දකුණු අප්‍රිකාවට තුන්වැනි ලෝක ශූරතාව….

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කර පැය 24ක් ගතවීමටත් පෙර පැවති මෙම සම්මාන උළෙල සැබැවින්ම දකුණු අප්‍රිකාවට ලෝක කුසලානය සැමරීමට උත්තේජනයක් ලබා දුන් බව නිසැකය. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙබ් එලීස් කුසලානය දිනා ගත් තුන්වැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් අවසන් තරගයේ දී එංගලන්තය පරාජය කලේ ලකුණු 32-12ක් ලෙසිනි. ඔවුන් ලබා ගත් මෙම ජයග්‍රහණයට තවත් සම්මාන කීපයක් පසුගිය දා එක්විය. 

දකුණු අප්‍රිකානු ක්‍රීඩක පීටර් – ස්ටීප් ඩූ ටොයිට් වසරේ ක්‍රීඩකයා සම්මානයට අමතරව වසරේ විශිෂ්ටතම පුහුණුකරු සම්මානය ද දකුණු අප්‍රිකානු පුහුණුකරු රසී ඉරාස්මස්ට හිමි වූ අතර වසරේ රග්බි කණ්ඩායම සම්මානය ද දකුණු අප්‍රිකාව සතුවිය. දකුණු අප්‍රිකාව වසරේ කණ්ඩායම බවට පත්වූයේ 2009 වසරෙන් පසුවය. 

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු වසරේ ක්‍රීඩකයා සම්මානය ලබා ගත්තේ 2007 වසරෙන් පසුවය. 2007 වසරේ දී වසරේ ක්‍රීඩකයා සම්මානය දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රයන් හබානා හට හිමි විය. රග්බි සම්මාන ඉතිහාසයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු තුන් වරක් මෙම සම්මානය දිනාගෙන ඇත. 

මෙවර වසරේ ක්‍රීඩකයා සම්මානය සඳහා 5 දෙනෙකුගේ නම් යෝජනා වී තිබූ අතර එයට වේල්ස් කණ්ඩායමේ නායක අලුන් වෑන් ජෝන්ස්, එංගලන්ත ෆ්ලෑන්කර් ක්‍රීඩක ටොම් කරි, නවසීලන්ත ෆ්ලෑන්කර් ක්‍රීඩක ඇන්ඩි සැවීය, දකුණු අප්‍රිකානු ක්‍රීඩක චෙස්ලින් කොල්බේ ජා ඇමරිකානු හුකර් ක්‍රීඩක ජෝ ටවුෆේට් යෝජනා වී තිබුණි. 

මෙම සම්මානය ලබාගැනීමෙන් අනතුරුව ඩූ ටොයිට් මාධ්‍ය අමතා සිටියා. 

“මගේ කණ්ඩායමේ සගයන් හා අපේ පුහුණුකාර මණ්ඩලය, අපි හැමෝම දන්නවා මේක තනි කෙනෙක්ගේ ක්‍රීඩාවන් නෙමෙයි කියලා. මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. මගේ කණ්ඩායම් සගයන්ට, අපි මේ කාලය තුල ගොඩනගාගත් සියලු මිත්‍රත්වයන් විශ්වාස කළ නොහැකි තරම්. පෞද්ගලිකව මේ සම්මානය ලබා ගැනීමට හැකි වීම ගොඩක් ලොකු ගෞරවයක්. ඔබ වටේ සිටින ක්‍රීඩකයන් ක්‍රීඩා කරන රග්බි අනුව හා ඔබේ පුහුණුකාර නිලධාරීන් අනුව ඔබේ රග්බි ක්‍රීඩාව යම් ඉහල මට්ටමකට ළඟා වෙනවා. ඒක හරියට අපේ ජීවිතය වගේ. මේක විශ්වාස කල නොහැකි හැඟීමක්. ඒක අපේ කණ්ඩායමටම එහෙමයි. මට ඒක විස්තර කරන්න අමාරුයි.”

එංගලන්ත ක්‍රීඩිකා ස්කාරට් 2019 වසරේ දී එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වූ අතර 2016 වසරේ දී වසරේ ක්‍රීඩිකාව වූ එංගලන්තය නායිකා සාරා හන්‍ටර් ගෙන් පසුව එංගලන්ත ක්‍රීඩිකාවක මෙම සම්මානය දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. 

වසරේ ක්‍රීඩිකාව සම්මානය සඳහා ස්කාරට් සමඟින් තවත් ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු යෝජනා වී තිබුණි. ඒ සඳහා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වූ සාරා බර්න්, කේටිව් ඩාලි මැක්ලීන්, ප්‍රංශ කණ්ඩායමේ පවුලීන් බර්ඩන් හා නවසීලන්ත කණ්ඩායමේ කෙන්ඩ්‍රා කොක්සෙජ් යෝජනා වී තිබුණි. 

ජපානය ලෝක කුසලානයෙන් ඔලිම්පික්වලට පාඩම් ඉගෙන ගනී.

2019 රග්බි ලෝක කුසලානය නිමා වූයේ දකුණු අප්‍රිකාවට තුන්වැනි ලෝක ශූරතාව….

තම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ස්කාරට් පවසා සිටියේ මෙම සම්මානය ඇයට ගෞරවයක් බවයි. 

“අපි කණ්ඩායමක් විදිහට පෞද්ගලික දක්ෂතා ගැන නෙමෙයි බලන්නේ. කණ්ඩායමක් විදිහට සාර්ථක වෙන්නේ කොහොමද කියලා. මම ගොඩක් වාසනාවන්තයි මේ කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට ලැබීම හා ගොඩක් විශිෂ්ට ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රීඩා කරන්න ලැබීම ගැන. රග්බි ක්‍රීඩාවේ ගුණාත්මකභාවය දැන් වැඩි වෙලා තියෙනවා. එංගලන්තයේ වගේම ලෝකයෙත් ක්‍රීඩාව දියුණුයි. කාන්තා ‍රග්බි ක්‍රීඩාවත් දැන් ගොඩක් ප්‍රචලිත වෙලා තියනවා. පසුගිය වසර කීපය තුල දී අපි රග්බි ක්‍රීඩාවට එකතු කළ ගුණාත්මකභාවය නිසා ප්‍රේක්ෂකයන් ප්‍රමාණයත් වැඩි වෙලා තියනවා. අපි බලාපොරොත්තු වෙනවා 2021 ලෝක කුසලානය ගොඩක් තරගකාරී එකක් වේවි කියලා.”

මෙම සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව ලෝක රග්බි සම්මේලනයේ සභාපති සර් බිල් බවුමොන්ට් අදහස් දක්වා සිටියා. 

“මේක විශිෂ්ට වසරක් වුනා ලෝක රග්බි ක්‍රීඩාවට. ඒ වගේම මේ රග්බි ලෝක කුසලානය හොඳම රග්බි තරගාවලියක් වුනා. මේ නම් යෝජනා වූ සියලුම ක්‍රීඩකයන් ගොඩක් සතුටු විය යුතුයි. ඔවුන්ගේ දක්ෂතා නිසා තමයි ඔවුන්ව නිර්දේශ වුනේ. ඒ අතරින් පීටර් හා ස්කාරට් අති විශේෂ දස්කම් දැක්වූවා. ඔවුන් ක්‍රීඩා පිටියේ දී වගේම ඉන් පිටතදීත් විශිෂ්ට ලෙස ක්‍රියා කළා. ඔවුන් නව පරපුරේ ක්‍රීඩකයන්ට ලොකු ආදර්ශයක් වුනා. ඔවුන් මේ සම්මානය ගන්න සුදුසුම ක්‍රීඩකයන්. “

මෙම සම්මාන ලබා ගත් ක්‍රීඩකයන් තෝරාගනු ලැබූවේ ස්වාධීන කමිටුවක් විසිනි. පසුගිය වසරේ 6 Nations රග්බි තරගාවලියේ සිට එම ස්වාධීන කමිටුව විසින් ක්‍රීඩකයන්ට ලකුණු ලබා දී ඇත. 

ලෝක රග්බි සම්මේලනයේ වසරේ ක්‍රීඩකයා – පිටර් සීටීප් ඩූ ටොයිට් (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකානු scrum ක්‍රීඩකයෙකු ලෙස ප්‍රබල කාර්‍යභාරයක් ඉටු කරන පීටර් 2019 වසරේ දකුණු අප්‍රිකාව සහභාගි වූ තරග 11න් 9කටම ක්‍රීඩා කළේය. විසි හත් හැවිරිදි මේ ෆ්ලෑන්කර් ක්‍රීඩකයා පසුගිය වසර දෙක පුරාවටම අංක 7 ජර්සිය පැළද ක්‍රීඩා කළේය. ඔහුගේ කාර්‍යක්ෂමතාව හා ක්‍රීඩා රටාව ඉරාස්මස්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියටම ගෙන ඒමට සමත් විය. 

නිර්දේශිත නාම – ටොම් කරි (එංගලන්තය), අලුන් වෑන් ජෝන්ස් (වේල්සය), චෙස්ලින් කොල්බේ (දකුණු අප්‍රිකාව), ආර්ඩි සැවීයා (නවසීලන්තය), ජෝ ටවුෆේටේ (ඇමරිකාව)

ලෝක රග්බි සම්මේලනයේ වසරේ ක්‍රීඩිකාව – එමිලි ස්කාරට් (එංගලන්තය)

එංගලන්ත කාන්තා කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩිකාව ලෙස 2017 වසරේ සිට ක්‍රීඩා කරන ස්කාරට් පසුගිය 6 Nations තරගාවලියේ තරග හතරකට ක්‍රීඩා කල අතර ස්කොට්ලන්ත තරගයේ උත්සාහක දිනුමක් ද වාර්තා කිරීමට සමත් විය. ‍

විසි නම හැවිරිදි ස්කාරට් කණ්ඩායම තුල ප්‍රබල භූමිකාවක් සිදු කරන අතර පසුගිය කාන්තා ‍රග්බි තරගාවලියේ දී උත්සාහක දිනුම් 4ක් සමඟින් ලකුණු 43 ක් වාර්තා කිරීමට සමත් විය. 

නිර්දේශිත නාම – සාරා බර්න් (එංගලන්තය), පෝලීන් බෝර්ඩන් (ප්‍රංශය), කෙන්ඩ්‍රා කොක්සෙජ් (නවසීලන්තය), කේටි ඩාලි මැක්ලීන් (එංගලන්තය)

ලෝක රග්බි සම්මේලනයේ වසරේ රග්බි කණ්ඩායම – දකුණු අප්‍රිකාව 

2019 ලෝක කුසලාන තරගාවලිය පරාජයකින් ආරම්භ කල දකුණු අප්‍රිකාව අවසානයේ දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. එලෙස මූලික වටයේ තරගයක් පරාජය වී ලෝක කුසලානය ජයග්‍රහණය කල එකම කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකාව සමත් විය. 

දකුණු අප්‍රිකාව අවසන් වරට ක්‍රීඩා කළ තරග 12 දී පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණක් පමණි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය. 

මෙම ලෝක ශූරතාව හා මෙම වසරේ රග්බි ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. දකුණු අප්‍රිකාව මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 හි පසුවන අතර ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පැමිණියේ 2009 වසරෙන් පසුවය. 

වසරේ රග්බි පුහුණුකරු – රසී ඉරාස්මස් (දකුණු අප්‍රිකාව)

රසී ඉරාස්මස් දකුණු අප්‍රිකාව වෙත පැමිණෙන විට දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට කිසිදු බලාපොරොත්තුවක් නොතිබෙන්නට ඇත. නමුත් ඔහු ජාතික කණ්ඩායමේ පුහුණුකරු බවට පත්විය. 

පසුව එම කණ්ඩායම ලෝක ශූරතාව දිනා ගත්තේය. එය ඉරාස්මස්ගේ දෛවයයි. ඉරාස්මස් කණ්ඩායමේ සමගිය ගොඩනැගීය. එහි ප්‍රතිඵල වැඩි කල් නොගොස් අත්විදීමට ඔහුට හැකි විය. 

නිර්දේශිත නාම: වැරන් ගාට්ලෑන්ඩ් (වේල්සය), ස්ටීව් හැන්සන් (නවසීලන්තය), එඩී ජෝන්ස් (එංගලන්තය), ජේමි ජෝසප් (ජපානය)

දකුණු අප්‍රිකානු රග්බි විරුවන් වංශකථා පොත් අලුත් කරයි

මසකට අධික කාලයක් පුරාවට මුළු මහත් ලෝකයම රග්බි උන්මාදනයෙන් වසඟ කර….

වසරේ නැඟී එන ක්‍රීඩකයා – රෝමේන් න්ටමැක් (ප්‍රංශය)

නිර්දේශිත නාම: ජෝ කොකනසිගා (එංගලන්තය), හර්ශල් ජැන්ට්ජියස් (දකුණු අප්‍රිකාව)

වසරේ සත් සාමාජික රග්බි ක්‍රීඩකයා – ජෙරී ට්වායි (ෆීජි)

නිර්දේශිත නාම – ෆෝලාවු නිඋවා (ඇමරිකාව), ස්ටීවන් ටොමාසින් (ඇමරිකාව) 

වසරේ සත් සාමාජික රග්බි ක්‍රීඩිකාව – රූබි ටුයි (නවසීලන්තය)

නිර්දේශිත නාම – සාරා හිරිනි (නවසීලන්තය), ටයිලා නේතන් වොන්ග් (නවසීලන්තය)

ලෝක රග්බි සම්මේලනයේ වසරේ විනිසුරුවරයා – වේන් බාර්න්ස් (එංගලන්තය)

නිර්දේශිත නාම – ජෙරමි ග්‍රාසස් (ප්‍රංශය), නයිජල් ඕවන්ස් (වේල්සය), ජැකෝ පයිපර් (දකුණු අප්‍රිකාව)

රග්බි සම්මේලන වසරේ උත්සාහක දිනුම – ටී. ජේ. පෙරනාරා ( නවසීලන්තය හා නැමීබියාව අතර තරගය)

නිර්දේශිත නාම – චාර්ල්ස් ඔලිවාන් (ප්‍රංශය හා වේල්සය), සර්ජියෝ පැරිස් (ඉතාලිය හා රුසියාව), කෝබස් රෙයිනාච් (දකුණු අප්‍රිකාව හා කැනඩාව)

විශේෂ කුසලතා සම්මානය – ජේමි හීස්ලිප් (අයර්ලන්තය)

ලෝක රග්බි සම්මාන උළෙලේ වැඩි විස්තර සඳහා පිවිසෙන්න – www.world.rugby/awards.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<