බොක්සිං ක්‍රීඩාවටත් වීඩියෝ සහායක විනිසුරුවරයෙක්?

184
©mirror.co.uk

බොක්සිං ක්‍රීඩාවේ තීරණ ලබාදීම සඳහා මෙතෙක් භාවිතා කෙරෙන්නේ ඇසින් දකින සාක්ෂි පමණයි. එනිසා බොක්සිං විනිසුරුවරුන් සහ ජූරිය හැඳින්වෙන්නේ මහා බලවතුන් ලෙසයි. එහෙත් පසුගියදා සිදුවූ සිදුවීමක් නිසා, ‘බොක්සිං ක්‍රීඩාව සඳහාද වීඩියෝ තාක්ෂණය (VAR) යොදාගත යුතුය’ යන තර්කය නැවත ගොඩනැගෙමින් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ චාලි එඩ්වඩ්ස් සහ මෙක්සිකෝවේ හූලියෝ මාටිනෙස් අතර WBC (ලෝක බොක්සිං සම්මේලනය) ෆ්ලයි වෙයිට් ශූරතාවය සඳහා වූ තරගයක් පැවැත්වුනා. එහිදී චාලි එඩ්වඩ්ස්ට පරාජය හිමිවූ බව පෙනෙන්නට තිබුනා. එහෙත් තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගනය තුළ තිබූ සුවිශාල තිරය මත තරගයේ පුනරූපන ප්‍රදර්ශනය වීමත් සමඟ විශේෂ යමක් සියලු දෙනාගේ නෙත ගැටුනා.

එඩ්වඩ්ස් හට පහරක් වැදී ඔහු දණහිසක් සහ අත් ආවරණයක් කැන්වසය මත තබාගෙන සිටියදී මාටිනෙස් විසින් ඔහුගේ ඉල ඇට කූඩුව වෙත තවත් පහරක් එල්ල කරනු එහිදී දක්නට ලැබුනා. එය බොක්සිං ක්‍රීඩාවේදී කළ නොහැකියි. ඉන් පසුව තීරණය කෙරුනේ තරගය අත්හැර දැමීමටයි.

© independent.co.uk – “එය 100%ක්ම නිර්වද්‍යයි.” – එඩී හර්න්.

පසුව BBC වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් බොක්සිං ප්‍රවර්ධකයෙකු වන එඩී හර්න් පවසා තිබුනේ එය ඉතා හොඳ පියවරක් බවයි.

ඒක අතිශයින්ම බොක්සිං සඳහා VAR යොදාගැනීමක් සහ එය 100%ක්ම නිර්වද්‍යයි.” හර්න් එසේ කියනවා.

ප්‍රීමියර් ලීග් පාපන්දු තරග වලදී ගෝල නිර්ණය කිරීම සඳහා සහ රතු කාඩ්පත් ලබාදීමේදී මෙම තාක්ෂණය යොදාගත් අතර 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ද VAR තාක්ෂණය යොදාගැනුනා. ක්‍රිකට් ක්‍රීඩාවේ, රග්බි ක්‍රීඩාවේ සහ ටෙනිස් ක්‍රීඩාවේදී ද මෙවැනිම තාක්ෂණයක් යොදා ගැනෙනවා.

එඩ්වඩ්ස් – මාටිනෙස්තරගයේදී එඩ්වඩ්ස් දණ තැබූ අවස්ථාවේදීම මාටිනෙස් විසින් පහර දීම නවතාගත යුතුවූ අතර ඔහු එක් කෝණයකට යා යුතුව තිබුනා. එහෙත් ඉල ඇට කූඩුවට එල්ල වූ පහර නිසා එඩ්වඩ්ස් බිම වැතිරෙමින් වේදනාව ප්‍රදර්ශනය කළා. එය නුදුටු ජූරිය විසින් ජයග්‍රහණය මාටිනෙස් වෙත ලබා දුන්නත්, පුනරූපන දැකීමෙන් පසුව ප්‍රේක්ෂකයන්ගෙන් සහ විචාරකයන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වුනා.

තරගය නැවත නැරඹීමෙන් පසුව ලෝක බොක්සිං සම්මේලනයේ සභාපති මොරිසියෝ සුලෙයිමාන් විසින් එය අත් හැර දැමුණු තරගයක් ලෙස නම් කෙරුනා. වීඩියෝ දර්ශන සැලකිල්ලට නොගත්තේ නම් එය එසේ සිදු නොවන්නට තිබුනා.

©Mauricio Sulaiman – worldboxingnews.net

බොක්සිං ඉතිහාසය පුරාම එවැනි අසාධාරණ තීන්දු දැකගත හැකිවනවා. ඉන් ක්‍රීඩාශීලීත්වය වියැකී යාම සහ ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව හීන වීම මෙන්ම විනිසුරුවන් මිලට ගැනීම පවා සිදුවිය හැකියි. එහෙත් වීඩියෝ සහායක විනිසුරු තාක්ෂණය යොදාගන්නේ නම් සෑම අංශයකටම සාධාරණය ඉටුවිය හැකි බව බොහෝ දෙනාගේ මතයයි.

“WBC එකට වීඩියෝ තාක්ෂණය ගැන නීතියක් තියෙනවා. ඔවුන් ඒක යොදාගන්න කැමතියි, නමුත් බ්‍රිතාන්‍ය බොක්සිං පාලක මණ්ඩලය සහ සමහර සම්මේලන ඊට කැමති නැහැ.” හර්න් තවදුරටත් පැවසුවා.