ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දිනෙන් දිනම උණුසුම් වෙමින් පවතියි. දැවැන්තයන්ගේ ගැටුම්, ඒක පාර්ශවීය පාලනයෙන් යුතු තරග මෙන්ම ඉතිහාසය නැවත මතක් කළ වැසි බාධාවලින් ද පිරුණු ගෙවුණු සති අන්තයේ බ්‍රිතාන්‍ය ක්‍රිකට් වසන්තය වර්ණවත් කළ සිදුවීම් කිහිපයක මතක ආවර්ජනයක් මේ.
සිංහයින්ගේ බංගලි මෙහෙයුම කොහොම අවසන් වෙයි ද?
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ……
ශ්‍රී ලංකාව තාවකාලිකව තෙවන තැනට
සතියක වැඩ නිමා කර සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය නරඹන්නට නිවසේ රූපවාහිනිය ඉදිරියේ හරි බරි ගැසෙන්නට හෝ මල් පැන් පොදක් සමඟ තරගය නරඹන්නට මිතුරන් සමඟ එකතු වන්නට බලා සිටි බොහෝ දෙනෙකුට සිදු වුනේ බ්‍රිස්ටල් නගරයට ඇද හැලෙන වර්ෂාව දෙස බලා කොළඹ නගරයට ඇදහැළුණු පොද වැස්සේම බලාපොරොත්තු දිය කර හරින්නටයි.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානය සමඟ තරගය ජය ගෙන පකිස්ථානයට වඩා වැඩි දල ලකුණු වේගයක් රඳවා ගන්නට සමත් වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණුනේ ප්‍රසාද ලකුණු 3කට හිමිකම් කියමින්.
මෙවර තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ විශ්වාසයකටත් වඩා බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩාලෝලීන්ට පැය 24කට හෝ සතුටු වන්නට ලැබුණු අවස්ථාව කෙතරම් ආශ්වාදජනක වූවාද යන්න එදින සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට දැක ගන්නට හැකියාව තිබුණි.
වැස්සට සේදුණු තරගය සහ පාකිස්තානය
පසුගිය වසර කිහිපය පුරාවටම ස්ථාවරත්වය සොයමින් සිටියත් තවමත් සැලකිය යුතු දස්කම් අතරට පැමිණෙන්නට නොහැකි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ප්‍රසාද ලකුණු දෙකක් තමන් සතු කර ගන්නට පාකිස්තානය දැඩි බලාපොරොත්තුවකින් පසු වන්නට ඇත.
කෙසේ වෙතත් ඔවුන්ට එක් ප්‍රසාද ලකුණකින් පමණක් සෑහීමකට පත් වන්නට සිදු වුවත් 1992 ලෝක කුසලාන ජයග්‍රහණයේ අතීතය නැවත ක්‍රියාත්මක වේ යැයි යටි සිතින් බලාපොරොත්තු වන පාකිස්තානුවන් වෙත සැනසෙන්නට තවත් කාරණාවක් එම තරගය හරහා ගොඩ නැගුණි.
1992 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ දැවැන්ත පරාජයක් ලබමින් තරගාවලිය ආරම්භ කළ පාකිස්තානුවන්ට මේ වසරේ දී ද තරගාවලිය ආරම්භ කිරීමට සිදු වුනේ කොදෙව්වන් හමුවේ ලද දැවැන්ත පරාජයකින් බව ඔබට මතක ඇත.
එමෙන්ම 1992 වසරේ පාකිස්තානයේ දෙවන අභියෝගය වූ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 52කින් පරාජය කළ පාකිස්තානුවන් මේ වසරේ දී සිය දෙවන අභියෝගය ජය ගත්තේ වඩාත් ප්‍රබල කණ්ඩායමක් වූ එංගලන්තය පරාජය කරමිනුයි. මේ තරග දෙකෙන් අනතුරුව පාකිස්තානය වෙනුවෙන් ඉතිහාසය නැවත ලියවෙමින් තිබෙන බව මෙවැනිම ලිපියක් හරහා අප පෙන්වා දුන්නේ මීට දින කිහිපයකට පෙරයි.
එම ඉතිහාස සාක්ෂි සමඟ ඉදිරියට යාමේ දී 1992 වසරේ පාකිස්තානයට නියමිතව තිබූ තෙවැනි තරගයට සිදු වූයේ කුමක්ද යන්න අනුමාන කිරීම එතරම් අපහසු කාරණයක් විය නොහැක.
ඔව්. ඇත්තෙන්ම එම තරගය අවසන් වුනේ වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරවයි. අවසන් වරට මෙවැනි ලීග් වටයකින් සමන්විත වූ ලෝක කුසලාන තරගාවලියක් තුළ ශූරතාව වෙත පියමං කළ පාකිස්තාන කණ්ඩායමට අතීතය කෙතෙක් දුරට උපකාර කරනු ඇති ද යන්න අපට නුදුරේ දී ම දැක ගත හැකි වනු ඇති.
ඒක පාර්ශවීය සෙනසුරාදා
සාමාන්‍යයෙන් ක්‍රීඩා තරගයක් සඳහා වැඩිම අවධානයක් යොමු වන සෙනසුරාදා දිනය මෙම සති අන්තයේ දී ලෝක කුසලාන තරග දෙකක් සඳහා ඉඩ කඩ වෙන් කර තිබුණි. කෙසේ වෙතත් මෙම තරග දෙකම අඩු වැඩි වශයෙන් එක් කණ්ඩායමක ග්‍රහණයට නතු වූ තරග ලෙස හඳුන්වා දෙන්නට හැකිය.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
සත්කාරක එංගලන්තය කාඩිෆ් හීදී බංග්ලාදේශය හමුවෙද්දී නවසීලන්තය දිවා රාත්‍රි තරගයක් සඳහා ඇෆ්ගනිස්ථානය මුණ ගැසුණේ ටවුන්ටන් හිදී. බංග්ලාදේශය මෙන්ම ඇෆ්ගනිස්ථානය ද මෙවර තරගාවලිය තුළ පෙරළියක් කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පල කළ කණ්ඩායම් වූ අතර දකුණු අප්‍රිකාව පරාජය කළ බංග්ලාදේශය එම විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නට ද සමත් විය.
කෙසේ වෙතත් සෙනසුරාදා දිනය පුරා කිසිදු අවස්ථාවක ඔවුන් තරගයක් පාලනය කරන බවක් දැක ගන්නට නොහැකි වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තයත් පළමුවෙන් පන්දු යැවූ නවසීලන්තයත් පළමු ඉනිම අවසන් වන විටම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් වෙත නතු කර ගැනීමට සමත් විය.
ඇෆ්ගනිස්ථානය ලකුණු 172කට සීමා වූ අතර එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්. බංග්ලාදේශය පිළිතුරු ලෙස ලකුණු 280ක් රැස් කරන්නට සමත් වුවත් ඔවුන් එංගලන්තයට තර්ජනයක් වන බවක් එම ඉනිම පුරාවටම දක්නට ලැබුණේ නැත. නවසීලන්තය පහසුවෙන් ඇෆ්ගන් ඉලක්කය කරා ළඟා වුනේ කඩුලු 7ක් සහ පන්දු 107ක් ඉතිරි කර ගනිමිනුයි.
දැවැන්තයන්ගේ ඉරු දින ගැටුම
සති අන්තයට ජවය සපිරි අවසානයක් ලබා දෙමින් ඉරිදා දිනයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගය ලෝක කුසලාන 7ක ගැටුමක් ලෙස හඳුන්වා දිය හැකිය. ලෝක කුසලාන 5කට හිමිකම් කියන ඕස්ට්‍රේලියාව සහ ලෝක කුසලාන දෙකක ශූරයන් වන ඉන්දියාව මෙවර තරගාවලියට පිවිස සිටින්නේ ද ලෝක කුසලානයට අත පෙවිය හැකි මට්ටමේ සිටින තරගකරුවන් ලෙස ලැබුණු නම්බු නාමයන් ද සමඟයි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දියානුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු බල ඇණිය සමත් වුවත් ආරක්ෂාකාරී තරග රටාවක් පෙන්නුම් කළ ඉන්දීය ආරම්භක පිතිකරුවන් පන්දු යවන්නන් වෙහෙසට පත් කිරීමෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් ප්‍රහාරය ආරම්භ කළේ රැජිනගේ දේශයේ සටන් කළ යුතු ආකාරය පිළිබඳ හොඳ ආදර්ශයක් ලබා දෙමින්.
ඉන්දියාවේ පළමු තරගය තුළ ශතකයක් ලබා ගත් රෝහිත් ශර්මා අර්ධ ශතකයකට සීමා වෙද්දී ”ඔබට හැකි නම් මට ද හැකිය” කියා සිතූ අනෙක් ආරම්භක පිතිකරු ශිඛර් ධවාන් මෙවර ශතකයක හිමි කරු විය.
ධවාන් සහ ලකුණු 80ක් රැස් කළ නායක විරාත් කෝලි වටා ඉන්දීය ඉනිම ගොඩනැගෙන අතර ලකුණු ලබා ගැනීමටත් පෙර හාර්දික් පාන්ඩ්‍ය ලබා දුන් උඩ පන්දුව ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා අතින් ගිලිහී යාම ඔවුන්ගෙන් තරගය ගිලිහී යාමේ ද ආරම්භය විය.
ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් හාර්දික් පන්දු 27කින් රස කළ ලකුණු 48 නොවන්නට ඉන්දීය කණ්ඩායමට ලකුණු 350 සීමාව ඉක්මවීම මෙතරම් පහසු නොවන්නට ඉඩ තිබුණි. සුපුරුදු පිතිකරණ රටාවට පිවිසෙන්නට බොහෝ ඕස්ට්‍රේලියානුවන් අසමත් වුවත් ලකුණු 316ක් ලබා ගෙන මිස ඔවුන් පස්ස බැලුවේ නැත. එබැවින් තරගයේ හැරවුම් ලක්ෂය හර්දික් පාන්ඩ්‍යාට ලබා දුන් අවස්ථාව ලෙස සඳහන් කිරීම එතරම් වරදක් නැත.
බිඳී නොයන කඩුල්ල
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තුළ තාමත් පවත්වා තිබෙන්නේ තරග 14ක් පමණකි. කෙසේ වෙතත් ඒ තරග අතරතුර කිහිප වරක්ම පන්දුව කඩුල්ලේ වැදුනත් බේල්ස් ඉවත් නොවුණු සිදුවීම් වාර්තා වීම මෙවර තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබේ. සංඛ්‍යාත්මක ලෙස ගතහොත් එසේ වාර්තා වූ සිදුවීම් සංඛ්‍යාව 5කි. තවත් සරල ආකාරයෙන් කිවහොත් සෑම තරග තුනකට වතාවක් පන්දුව කඩුල්ලේ වැදීමෙන් පසුවත් පිටියේ රැඳී සිටීමට වාසනාව ඇති පිතිකරුවෙක් බිහිවෙයි.
මෙම සිදුවීම් වල ආරම්භය ලෝක කුසලානයේ ආරම්භක තරගය දක්වාම දිව යයි. එම තරගයේ දී එංගලන්ත ක්‍රීඩක අදීල් රෂීඩ් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් වෙත එවූ පන්දුවක් ඔහුගේ කඩුල්ලේ වැදුණා පමණක් නොව පන්දුව එම පන්දුව හතරේ සීමාව කරා ද ඇදී ගියත් කඩුල්ලෙන් බේල්ස් ඉවත් වුනේ නැත.
මෙම තරගාවලිය සඳහා යොදා ගන්නා විදුලි ආලෝක සංඥා සහිත බේල්ස් වල ආලෝකය දැල්වුනත් ක්‍රිකට් නීති අනුව බේල්ස් කඩුල්ලෙන් ඉවත් නොවන තාක් කල් පිතිකරුවෙකු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස සලකන්නේ නැත.
විදුලි ආලෝකයෙන් දිස්නය දෙන බේල්ස් දෙවන වතාවේ දී වාසනාව ගෙනාවේ ශ්‍රී ලංකාවටයි. පළමු තරගයේ දී පන්දු යැවූ රෂීඩ් දඟපන්දු යවන්නෙක් නිසා බේල්ස් ඉවත් නොවුනැයි ඔබ සිතුවා නම් මේ වතාවේ දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගැනීමේ අවස්ථාව අහිමි වුනේ ලොව වේගවත්ම පන්දු යවන්නෙක් වන ට්‍රෙන්ට් බෝල්ට් හට බව කියතොත් ඔබ පුදුමයට පත් වනු ඇත. එමෙන්ම එලෙස දිමුත් වාසනාව නොලැබුවේ නම් ශ්‍රී ලංකා ඉනිමට කුමක් සිදුවේ ද යන්න ද සිතා ගන්නට අපහසුය.
ඉන් අනතුරුව ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දී මිචෙල් ස්ටාක් එවූ පන්දුවක් කඩුල්ලේ වැදී බේල්ස් ඉවත් නොවීමෙන් ජීවය ලැබුණේ ක්‍රිස් ගේල් හටයි. එමෙන්ම එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ බංග්ලාදේශයේ මොහොමඩ් සයිෆුදීන් වාසනාව ලැබූ අතර අවසන් වශයෙන් ඊයේ (09) පැවති තරගයේ දී ජස්ප්‍රීත් බුම්රා එවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පසුවත් ඩේවිඩ් වෝනර්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටින්නට අවස්ථාව හිමි වුනේ කඩුල්ලෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන බේල්ස් යුගලයට පින් සිදු වන්නටයි.
කොළ ක්‍රිකට් කරළිය බේල්ස් පිළිබඳ සංවාදයකට එක් රැස් කරන්නට සමත් වූ මේ සිදුවීම් වල කැපී පෙනෙන ම කරුණ වන්නේ අවස්ථා පහේ දී ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් පසුව පිටියේ රැඳී සිටින්නට පිතිකරුවන් වාසනාව ලැබුවත් ඔවුන් අයත් වූ කණ්ඩායම් සියල්ලම අදාළ තරගයේ ජයග්‍රහණයක් වෙත යන්නට අසමත් වීමයි. එබැවින් පන්දුව කඩුල්ලේ වැදීමේ පසු බේල්ස් ඉවත් නොවීම වාසනාවක් ලෙසින් පැමිණෙන අවාසනාවක් ලෙස ද හඳුන්වා දීමට හැකිය.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<