1987 වසරේදී සිව්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව 1991 වසරේදී පස්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත් එය 1992 වසරේ මුල පැවැත්වීමට අවසානයේදී තීරණය කෙරිණි.
අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගත් ක්‍රිකට් විරුවන්
මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ශතවර්ශයකට ……
1992 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය බෙන්සන් සහ හෙජස් සමාගමේ අනුග්‍රහය ඇතිව ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවති අතර තරගාවලිය සඳහා ICC පූර්ණ සාමාජිකයන් ලෙස ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් එක්වන විට, දීර්ඝ කාලයක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටි දකුණු අප්‍රිකාව ද ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලිය සඳහා එකතු විය. එම කණ්ඩායම් 8ට අමතරව පිට පිටම තෙවන වරටත් ICC කුසලානය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ද තරගාවලිය සඳහා එක්විය.
තරගාවලිය පැවති ආකාරය
මීට පෙර පැවති ලෝක කුසලාන තරගාවලි 4ටම වඩා වෙනස් මුහුණුවරක් ගත් මෙම තරගාවලිය සඳහා මුල්ම වරට වර්ණ ඇඳුම් සහ සුදු පන්දුව භාවිතා කළ අතර බොහෝ තරග දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්විය. ඊට අමතරව මෙම තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායම් මූලික වටයේදී අනෙකුත් කණ්ඩායම් 8 සමඟම තරග කර (round-robin) අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.
තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම
මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරගාවලි වලදී නවසීලන්තය හමුවේ 3-0ක් ලෙස සහ පාකිස්තානය හමුවේ 4-1ක් ලෙස පරාජය වී තිබූ අතර එම තරගාවලි 2ම මව්බිමෙන් පිටතදී පැවති තරගාවලි විය. ඊට අමතරව 1991 වසරේ පැවති නවසීලන්ත සංචාරයෙන් පසුව කණ්ඩායම් නායකත්වයෙන් අර්ජුණ රණතුංගව ඉවත් කිරීම නිසා මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරී තිබුණේ අරවින්ද ද සිල්වා හටය. එදා තරුණ ක්‍රීඩකයන් රැසක් සමඟින් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය.
- අරවින්ද ද සිල්වා (නායක)
- අසංක ගුරුසිංහ
- රොෂාන් මහානාම
- අර්ජුණ රණතුංග
- හෂාන් තිලකරත්න
- දොන් අනුරසිරි
- අතුල සමරසේකර
- චන්දික හතුරුසිංහ
- සනත් ජයසූරිය
- ග්‍රැහැම් ලැබ්‍රෝයි
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
- රුවන් කල්පගේ
- චම්පක රාමනායක
- කපිල විජේගුණවර්ධන
ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල
ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක…..
තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දස්කම්
තරගාවලිය ආරම්භයේදීම සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ තැනක වැජඹුණත් අවසන් තරග 4ම පරාජයට පත්වීම නිසා ප්‍රසාද ලකුණු 5ක් ලබාගනිමින් තරගාවලියේ 7වන ස්ථානයට පත්විය. නමුත් මෙම තරගාවලියේදී පෙර තරගාවලි වලට වඩා සැලකිය යුතු දස්කම් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සතුටට කරුණක් විය.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තැබූ ලෝක වාර්තාව
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගය වූ මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 312ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් එල්ල කරමිනි. එහිදී සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ ඇන්ඩි ෆ්ලවර් නොදැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් විය. ඇන්ඩි වොලර් පන්දු 45කින් වේගවත් ලකුණු 83ක් ලබාගත්තේ ෆ්ලවර් සමඟ ලකුණු 145ක නොබිඳුණු සබඳතාවයක් පවත්වමිනි.
ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වූ අතුල සමරසේකර සහ රොෂාන් මහානාම ලකුණු 128ක සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් විය. නමුත් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 61කින් ලකුණු 75ක් ලබා සිටි අතුලගේ දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම 167/4 ලෙස පසුබෑමකට ලක්විය.
නමුත් එම අසීරු අවස්ථාවේදී හිටපු නායක අර්ජුණ රණතුංග එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 61කදී නොදැවී ලකුණු 88ක් ලබාගනිමින් දියත් කළ සටන්කාමී ඉනිම නිසා පන්දුවාර 49.2කදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබාගත්තේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා ගිය මුල්ම අවස්ථාව ලෙසින් ලෝක වාර්තාවක්ද තබමිනි.
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකානුවන් හමුවේ ලද එකම ජයග්‍රහණය
වෙලිංටන් නුවර බේසින් රිසර්ව් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 114ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසු වුවද දොන් අනුරසිරි 41/3ක් ලෙස සහ අර්ජුණ රණතුංග 26/2ක් ලෙස සිදුකළ දක්ෂ පන්දු යැවීම් හමුවේ නියමිත පන්දුවාර 50 තුළදී ඔවුන්ගේ සියලුම පිතිකරුවන් ලකුණු 195කට දැවී ගියේය. එහිදී එකදු අර්ධ ශතකයක්වත් වාර්තා නොවූ දකුණු අප්‍රිකානු ඉනිමේ ඉහළම ලකුණු ප්‍රමාණය වූයේ ජොන්ටි රෝඩ්ස් ලබාගත් ලකුණු 47යි.
ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 35ක් තුළ දවා ගැනීමට ඇලන් ඩොනල්ඩ් සමත් වුවත් ආරම්භක පිතිකරු මහානාම ඉතාමත් ඉවසීමෙන් පිතිකරණයේ නිරත වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 154/4 දක්වා ඔසවා තැබුවේය. නමුත් මහානාම ලකුණු 68කට දැවීයාමෙන් අනතුරුව කඩුලු කිහිපයක් ඉක්මණින්ම බිඳ වැටුණත් අර්ජුණ රණතුංග නොදැවී ලකුණු 64ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට තිබූ අවස්ථාවක් ගිලිහී යයි
මූලික වටයේ තරග වලින් හරි අඩක් අවසානයේදී ප්‍රසාද ලකුණු 5ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවිය. එදා ඔවුන්ට මූලික වටයේ දෙවන භාගයේදී තරග වැදීමට සිදුවූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලම රටවල් 4ක් වූ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ පාකිස්තානය සමඟය. එදා එම රටවල් 4 සමඟ පැවති තරගවලින් තරග 2ක් ජයග්‍රහණය කළේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාවක් තිබුණ ද ඔවුන් එම තරග 4ම පරාජයට පත්විය.
ශ්‍රී ලංකාව සහභාගී වූ තරග වල කෙටි ලකුණු පුවරු
- ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
සිම්බාබ්වේ – 312/4 (50), (ඇන්ඩි ෆ්ලවර් – 115*, වොලර් – 83*)
ශ්‍රී ලංකාව – 313/7 (49.2), (අර්ජුණ – 88*, අතුල – 75, මහානාම – 59)
- ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
දකුණු අප්‍රිකාව – 195 (50), (රෝඩ්ස් – 47, වෙසල්ස් – 40)
ශ්‍රී ලංකාව – 198/7 (49.5), (මහානාම – 68, අර්ජුණ – 64*)
- ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
ඉන්දියාව-1/0 (0.2)
- ශ්‍රී ලංකාව සහ නවසීලන්තය
ශ්‍රී ලංකාව – 206/9 (50), (මහානාම – 80, අරවින්ද – 31)
නවසීලන්තය – 210/4 (48.2), (රදර්ෆර්ඩ් – 65*, රයිට් – 57)
- ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව – 189/9 (50), (අරවින්ද – 62, අතුල – 34)
ඕස්ට්‍රේලියාව – 190/3 (44), (ජෙෆ් මාෂ් – 60, ටොම් මූඩි – 57)
- ශ්‍රී ලංකාව සහ එංගලන්තය
එංගලන්තය – 280/6 (50), (ෆෙයාබ්‍රදර් – 63, ස්ටුවර්ට් – 59)
ශ්‍රී ලංකාව – 174 (44), (අර්ජුණ – 36, අතුල – 23, ක්‍රිස් ලුවිස් – 30/4)
- ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්
බටහිර ඉන්දීය කොදෙව් – 268/8 (50), (ෆිල් සිමන්ස් – 110, කීත් අතර්ටන් – 40, හතුරුසිංහ – 57/4)
ශ්‍රී ලංකාව – 177/9 (50), (අතුල – 40, අර්ජුණ – 24)
- ශ්‍රී ලංකාව සහ පාකිස්තානය
ශ්‍රී ලංකාව – 212/6 (50), (අරවින්ද – 43, අතුල – 38)
පාකිස්තානය – 216/6 (49.1), (ජාවෙඩ් මියැන්ඩාඩ් – 57, සලිම් මලික් – 51)
තරගාවලිය තුළ සාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවන්
තරගාවලිය තුළ පිතිකරණ සාමාන්‍ය 30ට වඩා රඳවා ගැනීමට හැකිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙකුට පමණි. ඔවුන්ගේ දස්කම් පහත දැක්වේ.
- අර්ජුණ රණතුංග
ඉනිම් – 7
ලකුණු – 262
පිතිකරණ සාමාන්‍ය – 52.40
අර්ධ ශතක – 2
හොඳම ඉනිම – 88*
ප්‍රහාරක වේගය – 81.37
- රොෂාන් මහානාම
ඉනිම් – 7
ලකුණු – 246
පිතිකරණ සාමාන්‍ය – 35.14
අර්ධ ශතක – 3
හොඳම ඉනිම – 80
ප්‍රහාරක වේගය – 53.95
- අතුල සමරසේකර
ඉනිම් – 6
ලකුණු – 219
පිතිකරණ සාමාන්‍ය – 36.50
අර්ධ ශතක – 1
හොඳම ඉනිම – 75
ප්‍රහාරක වේගය – 80.22
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<