බලශක්ති අර්බුදය වත්මන් ශ්‍රී ලංකාව පෙළෙන ගැටලුවකි. ශතවර්ෂ 25ක ප්‍රෞඪ ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව විදුලි අර්බුදය විසඳාගත නොහැකිව දශක 7ක් පුරා ඒකාකාරී ගමනක යෙදෙන අතර 1945 දී ඇමරිකානු පරමාණු බෝම්බවලට හසුවී සුනුවිසුනු වූ ජපානය 2020 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වයට සූදානම් වන්නේ බලශක්ති කළමනාකරණයේ මීළඟ පියවර ද ලොව හමුවේ තබමිනි.
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ නුවර දීයි. ලොව කාර්යබහුලම නගරවලින් එකක් සේ සැලකෙන ටෝකියෝව ජපානයේ අගනුවර මෙන්ම වාණිජ නගරයක් ද වේ. ඔලිම්පික් උළෙල පැවැත්වීමට අවශ්‍ය බලශක්තිය නිපදවා ගැනීම වියදම් අධික කාර්යයක් විය හැකිව තිබූ අතරම එය තමන්ගේ රටේ ආර්ථිකයට බරක් නොවන පරිද්දෙන් සිදු කිරීම ජපන් බලධාරීන් හමුවේ තිබූ අභියෝගයයි.
“ජපනා-හපනා” කියන්නා සේම ජපන් තාක්ෂණය නැවතත් කරළියට ගෙන ආ හැකි අවස්ථාවක් ලෙස එළඹෙන ඔලිම්පික් උළෙල භාර ගත් ඔවුන් බලශක්ති උත්පාදනයේ මීළඟ ආදර්ශමත් පියවර තබන්නේ මෙලෙසයි.
100%ක පුනර්ජනනීය බලශක්තිය?
2020 ඔලිම්පික් උළෙලට අවශ්‍ය බලශක්තිය උත්පාදනය කෙරෙන්නේ 100%ක්ම පුනර්ජනනීය බලශක්තිය වශයෙනි. එනම් හිරු එළිය, සුළඟ, වර්ෂාව, මුහුදු රැලි, දිය රැලි සහ භූමි තාපය අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන විදුලිය ජනනය කිරීමයි. ඊට වැය වන මුදල ඉතා අඩුය.
අදාළ තරග දිනවල දී සුළං බලයෙන් සහ සූර්ය ශක්තියෙන් ජපන් ක්‍රීඩාංගණ එළිය වීමට නියමිතයි. එමෙන්ම ඔලිම්පික් ගම්මානයේ නවාතැන් ගෙන සිටීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ අනෙකුත් පුද්ගලයන්ගේ බලශක්ති අවශ්‍යතා සපුරන්නේ ද එය මඟිනි. පුනර්ජනනීය බලශක්තිය නම් මාතෘකාව මෙරට අපට ද වරින් වර ඇසෙන එකක් වූවත්, පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයක් පවා අප සතු වූවත්, අප තවමත් ජීවත් වන්නේ ඩීසල් මිල වැඩි වන විට විදුලි ගාස්තු ඉහළ යන රටක ය. එසේ තිබිය දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් රටට ලැබෙන මුදල ඉතිරි කර ගැනීමට ජපානය වැනි දියුණු රාජ්‍යයක් වෙහෙසෙන්නේ මෙලෙස ය.
ජංගම දුරකථනවලින් පදක්කම්?
ජංගම දුරකථන වල සුළු වශයෙන් රත්‍රන්, රිදී සහ තඹ යන ලෝහ ඇති බව අපි දනිමු. ඔලිම්පික් පදක්කම් 5000ක් නිර්මාණය කිරීම සඳහා භාවිත කෙරෙන්නේ ඉවතලන ජංගම දුරකථනවල ඒ ලෝහයි. මේ සඳහා ජපන් ජනතාව විසින් පරිත්‍යාග කොට ඇති ජංගම දුරකථන ප්‍රමාණය 80,000ක් පමණ වෙතැයි Japan Times සඟරාව විසින් හෙළි කරයි.
රටකට වැදගත් අනාගත ඉලක්කයක් වෙත රට ගමන් කරවීමට ජපන් බලධාරීන් සැලසුම් සකස් කරන්නේ එලෙසය. එසේ නියම වන එක් ඉලක්කයක් වෙනුවෙන් ජපන් මහජනයා එකාබද්ධ වන්නේ ද එලෙසය. එහෙත් මෙරට බලධාරීන් බොහෝ විට එවැනි සැලසුම් ඉදිරිපත් කරන්නේ නැත. කලාතුරකින් හෝ එවැන්නක් ඉදිරිපත් කළවිට ජනතාව ඊට එකඟ වන්නේ නැත. “කැපකිරීම් කළ යුතුයැ”යි සිහි කළ විට මෙරට මහමං පුරා දැකිය හැකි වන්නේ උද්ඝෝෂණ ය.
සියලු දේම පාහේ ප්‍රතිචක්‍රීකරණයට?
www.ft.com – ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවක්
ක්‍රීඩා උළෙල වෙනුවෙන් භාවිතා කෙරෙන සියලු දෑ, එනම් භෞතික දෑ නැවත පාවිච්චියට හෝ ප්‍රතිචක්‍රීකරණයට යොදා ගැනේ. මින් ඔවුන් විසින් කළමනාකරණය කෙරෙන්නේ රට තුළට අධික වශයෙන් එකතු වන කසල ප්‍රමාණය යි. ඔලිම්පික් උළෙල වැනි ලොව දහස් ගණන් ජනයා එක්රොක් වන උළෙලක දී එකතු වන කසල ප්‍රමාණය ගැන ඔබට උදාහරණ පෑමට පෙර, ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන සැදැහැවත් උපාසක උපාසිකාවන්ගේ පුද පූජාවලින් පසුව සෑම වසරකම ශ්‍රී පාද රක්ෂිතයට එකතු වන කසල ප්‍රමාණය සිතෙහි මවාගන්නටැයි මම ඔබට ආරාධනා කරමි.
සෑම වසරකම එය සිදු වන බව දැන දැනත් ඊට නිසි පිළියමක් යොදාගත නොහැකිව කසල පිරිසිදු කරන්නට ශ්‍රී පාදය වෙත ස්වේච්ඡා කණ්ඩායම් හෝ ආරක්ෂක සේවාවල තරුණයන් කැඳවිය යුතු වුවත්, 1964 වර්ෂයෙන් පසුව ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල වෙනුවෙන් මේ වන විටත් ජපාන බලධාරීන් සූදානම් වේ. එනම් වසර 25කට පසුව එරට පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී එකතු වන කසල කළමනාකරණයට පවා මේ වන විටත් පිළියම් යොදා අවසන් ය. එකතු වන කසලවලින් 99%ක්ම නැවත පාවිච්චියට යොදාගැනීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නියමිතයි. මේ අතර “කසල කළමනාකරණය අවශ්‍ය”ය කියන ශ්‍රී ලාංකිකයන්ම “කුණු වෙන්කරන්නටැ”යි කියද්දී මුහුණු පුලුටු කරයි. සමාජ ජාලා තුළ කතා පැවැත්වීමෙන් පමණක් පරිසරය සුරැකිය හැකි ද? ජපානයෙන් විමසමු.
රියදුරන් රහිත වාහන?
cdn.japantimes.2xx.jp – මෙරටට මෙවැනි සැලසුමක් භාවිත කළ හැකිද?
ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය තුළ දී අමුත්තන් ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන්නේ රියදුරන් රහිත ස්වයංක්‍රීය ටැක්සි රථ ය. මගීන්ට තම ස්මාට් ජංගම දුරකථන ඔස්සේ වාහන තෝරාගැනීම, දොරවල් විවෘත කිරීම සහ කුලී ගෙවීම සිදු කළ හැකියි. මෙය ජනප්‍රිය අදහසක් බව ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වී ඇත. මෙම අදහස ප්‍රායෝගිකව පරීක්ෂා කිරීම සඳහා සිදු කළ අත්හදා බැලීමකට අයැදුම් කළ ගණන 1,500ක් පමණ වූ බව Independent සඟරාව කීවේය. මෙරටට මෙවැනි සැලසුමක් භාවිත කළ හැකි ද?
මෙරට තාක්ෂණය එතරම් නොදියුණු වීම එක් ගැටලුවකි. තාක්ෂණය රැගෙන ආවත් එය සංයමයකින් භාවිතා කළ හැකි විනයක් මෙරට ජනතාවට ඇති ද යන්න අනෙක් ගැටලුවයි. බස් රථයකට නැගුණු පසු කොන්දොස්තරවරයා තමන්ගෙන් උස් හඬින් මුදල් ඉල්ලන තෙක් අහක බලා සිටින ජනතාවක් අතරින්, දෙනෝදාහක් බලා සිටිද්දී දුම්රියේ විදුලි පංකා ගලවන, ආසන ඉරන ජනතාවක් අතරින්, පොදු දුරකථන කුටි වලට නූලේ එල්ලූ කාසිය දමා දුර ඇමතුම් ගත් ජනතාවක් අතුරින් මෙවැනි තාක්ෂණයක් සංයමයෙන් භාවිත කළ හැක්කේ කා හට ද?
සූර්ය ශක්ති මහාමාර්ග?
ජපානය විසින් මේ වන විටත් අත්හදා බැලූ සූර්ය ශක්ති මහාමාර්ග වලින් උත්පාදනය කෙරෙන විදුලියෙන් බලශක්ති අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් ආවරණය කෙරෙනු ඇත. මහාමාර්ග මත අතුරන ලද සූර්ය පැනල (Solar panels) මඟින් මේ ශක්තිය උත්පාදනය කෙරෙනු ඇත. ඒවාට උඩින් බිම් දුම්මල (Resin) ඇතිරිල්ලක් යොදා ඇති නිසා ඒ මත වාහන වලට ධාවනය කළ හැක.
අප රටේ මහා මාර්ග මත සූර්ය පැනල අතුරන්නට පෙර අප හරිහැටි මහාමාර්ග පද්ධතියක් නිර්මාණය කරගැනීම හොඳ ය.
රොබෝ භාෂා පරිවර්තකයන්?
ක්‍රීඩා උළෙල අතරතුර විදේශීය අමුත්තන්ට තොරතුරු සැපයීම සහ භාෂා පරිවර්තනය සිදු කරන්නේ රොබෝවරුන් විසිනි. එම රොබෝවරුන්ව තරග පැවැත්වෙන සෑම ක්‍රීඩාංගණයක් අවටම යොදවනු ඇතැයි South China morning සඟරාවෙන් කියැවේ. භාෂා පරිවර්තන පහසුකම්වලට අමතරව වයෝවෘධ සහ ආබාධිත පුද්ගලයන්ගේ භාණ්ඩ තැන තැන ගෙන යාම සඳහා ද මේ රොබෝවරුන්ගේ සහාය ලැබෙනු ඇත.
රොබෝවරුන් ගැන කවර කතා ද? මෙරටට පැමිණෙන සංචාරකයන්ට හරි තොරතුරු ලබා දිය නොහැකිව අප රට ලොව හමුවේ අප්‍රසාදය දිනා ගනිමින් සිටියි. විදේශිකයන්ගෙන් මුදල් ගරන, ඔවුන්ව පරංගියා ගිය පාරෙන් කෝට්ටේ යවන කොතෙකුත් ලාංකික සටකපටයින් මැදට සත්‍ය රොබෝවරයෙකු පැමිණියහොත්? රොබෝවරයා ද ඇතැම් විට මෙරටින් උගනින්නේ වැරදි තොරතුරු ලබා දීමට හෝ අමුත්තන්ව පුරය වටේ යැවීමට විය හැකිය.
මැජික් ද?
තාක්ෂණය මැජික් තරමටම අදහාගත නොහැකි මට්ටමකට පැමිණ ඇත. ලෝකය ද අදහාගත නොහැකි මට්ටමින් අපෙන් ඈතට ගොස් ඇත. දිනෙන් දිනම ඉහළ යන දූෂණ, රිය අනතුරු, රට ඇවිලීම්, දූෂිත පුවත්, අසාර්ථක රාජ්‍ය කළමනාකරණය, අසාර්ථක ක්‍රීඩා කළමනාකරණය, මාධ්‍ය සංදර්ශන සහ සමාජ ජාලා සංදර්ශන වලින් අප අපටම කියාගන්නේ අප තවදුරටත් ළිං මැඩියන් බවය. ඔලිම්පික් ද අපට මැජික් බව ය.
එබැවින් ඉහත අප දකින ක්‍රීඩාව සහ රාජ්‍ය කළමනාකරණයේ මනා එකමුතුව, සහසම්බන්ධය මෙරට තුළ දැකීම තවදුරටත් සිහිනයක් විය හැකිය. එසේ සිදුවුවහොත් එය විජ්ජාවක් නැතිනම් මැජික් එකක් විය හැකිය.
ලොව ආර්ථික අතින් ඉහළින් සිටින ජපානය අඩු වියදම් රාජ්‍ය කළමනාකරණය සහ ක්‍රීඩාව එක ගමනක යවමින් සිටියි. අපේ රට, රාජ්‍ය මුදල් කළමනාකරණය කරගත නොහැකිව රටට අවශ්‍ය විදුලියවත් නිපදවාගත නොහැකිව එකිනෙකාට ඇඟිලි දිගුකරගනිමින් 71 වසරක් ළතවෙයි. අපට ඉතිරිව ඇත්තේ කලකිරීම පමණම ය. මන්ද යත්, ලංකාවේ එහෙමය, ජපානේ මෙහෙමය.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<