හැව්ලොක් දඩබිමේ නිහඬ දඩයක්කරු – රීසා මුබාරක්

985

තරගය අවසානයට ඇත්තේ තවත් තත්පර කිහිපයක් පමණයි. හැව්ලොක් කණ්ඩායම හා ජයග්‍රහණය අතර ඇත්තේ කෙස් ගහක පරතරයක්. ප්‍රවර්තනයක් එසේ නොවේ නම් දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට කෙසඟ පුද්ගලයෙකු පන්දුවත් සමඟ ගෝල කණු අසලට ඇදෙන්නේ නිහඬවමයි. ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩකයින් සියලු දෙනා නිහඬව බලා සිටින මොහොතක්. පාදයේ ගැටුණු පන්දුව ගුවනේ පාවී ගොස් සාර්ථකව ගෝල කණු අතරින් පාවී යන්නේ ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් උද්දාමයට පත් කරමිනි.

කඳුළු පිසදා රග්බි පිටියේ පියාසර කළ සීතාවක “ගුවන්” – අරුණ ශාන්ත

පළමු වතාවට….

කෙසඟ සිරුරැති සුපිරි දක්ෂයා සිනහවක් මුවේ රඳවා ගෙන නැවත සිය සගයින් වෙත යන්නේ නිහඬවමයි. වසර දහයකට අධික කාලයක් නිහඬවම ශ්‍රී ලංකා රග්බි පිටියට ඉමහත් සේවයක් කළ මේ නිහතමානී චරිතය රීසා මුබාරක්. ඉසිපතනයේ පහස ලබා ශ්‍රී ලාංකීය රග්බි පිටියේ පෙරළි කළ මේ තරුව වර්තමානයේ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම තරුවක්.

ThePapare.com මේ සූදානම හැව්ලොක් දඩබිමේ සොඳුරු දඩයක්කරුවා, රීසා මුබාරක්ගේ නෑසුණු කතා සොයා යන්නටයි.

පෙනුමෙන් තවමත් තරුණ වුනත් රීසා රග්බි ක්‍රීඩාව ආරම්භ කර දැන් වසර 15කට ආසන්න කාලයක් ගත වී හමාරයි.

“මම ඉස්සෙල්ලම රගර් ගහන්න පටන් ගන්නේ 2005 අවුරුද්දේ.”

ඔබ පාපන්දු ක්‍රීඩකයෙක්?

“මම පාපන්දු තමයි ක්‍රීඩා කළේ, මම සාමාන්‍ය පෙළ ඉවර වෙලා ඉන්න කොට යාළුවෙක් කිවුවා අපි රගර් ගහන්න යමු කියලා” රීසා ThePapare.com හමුවේ රසවත් මතකයක් අවදි කළා.

“මගේ ඉස්කෝලේ ඉසිපතන විද්‍යාලයේ මට 17න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න නම් හම්බුණේ නැහැ. මම මාස තුනක් පුහුණු වෙලා කෙළින්ම පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කළා” රීසා ඔහු අහම්බයකින් මෙන් රග්බි ක්‍රීඩාවට එක්වුණු අකාරය පිළිබඳ අදටත් පුදුම වෙනවා.

(ඉසිපතනයට ක්‍රීඩා කරන සමයේ)

කවුද ඔබේ පළමු රග්බි පුහුණුකරුවෝ?

“මම කික් කරනවා දැකලා තුෂාර බණ්ඩාර හා හිශාම් අබ්දීන් යන ප්‍රවීණ පුහුණුකරුවන් තමයි මට කණ්ඩායමට එන්න කිව්වේ” ශ්‍රී ලංකා රග්බි පිටියේ අමරණීය චරිතයක් වන හිශාම් අබ්දීන් අතින් රග්බි වරම් දිනා ගැනීමට තරම් රීසා වාසනාවන්ත විය.

“මගේ පළමු තරගය තිබුණේ බෝගම්බර, ධර්මරාජ විද්‍යාලය එක්ක, මට මතකයි අපි තරගය දිනුවා 25–05ක් විදිහට.”

කෙළින්ම පළමුපෙළ කණ්ඩායමට ක්‍රීඩා කළේ?

“මට 17න් පහළ සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ, කෙළින්ම පළමුපෙළ කණ්ඩායමට තමයි ක්‍රීඩා කළේ.”

කුඩා කළ සිටම රග්බි ක්‍රීඩා නොකළත් රීසාගේ දක්ෂතා නිසා ඔහුට නිතරගයෙන්ම පළමුපෙළ ප්‍රධාන අසුනක් හිමි වුනා.

“2005 අවුරුද්දේ අපි රෝයල්ට ගැහුවා, ත්‍රිත්ව විද්‍යාලයට ගැහුවා, ඇන්තනීස් තරගය විතරක් පරාජය වුනා, ඊට පස්සේ මම පළමුපෙළ කණ්ඩායමේ වසර තුනක් ක්‍රීඩා කළා” රීසා සිය පළමු පාසල් රග්බි තරගවාරය පිළිබඳ සිය මතකය අවදි කළා.

පාසල් රග්බි පිටියේ අමතක නොවන අත්දැකීම්?

“2005 ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරගය ලකුණු 6-5ක් විදිහට අපි දින්නා, මම එතකොටත් හරියටම රගර් කියන්නේ මොකද්ද කියල දැනන් හිටියේ නැහැ, හෙමින් හෙමින් මම ඉගෙන ගත්තා කොහොමද ඉසිපතනයේ රග්බි ක්‍රීඩාව කියලා.”

“2005, 2006 අවුරුදුවල රාජකීය විද්‍යාලයට එරෙහිව ක්‍රීඩා කරපු තරග මට අමතක වෙන්නේ නැහැ.”

“පාසලෙන් අයින් වුණු ගමන් මට CR&FC ක්‍රීඩා සමාජයෙන් කතා කළා, මම ඒ අවුරුද්දෙම CR&FC සමඟ එකතු වුනා.” රීසා තමාගේ අන්තර් සමාජ රග්බි පිටියේ පළමු අත්දැකීම විස්තර කළා.

රීසා පාසලෙන් ඉවත් වූ වහාම ජාතික කණ්ඩායමට පිවිසීමට තරම් වාසනාවන්ත වූ බව ඔබ දන්නවා ද?

“මම වාසනාවන්ත වුනා 2008 වසරේ ජාතික කණ්ඩායමට එකතු වෙන්න, දුශාන්ත් ලෙව්කේගේ නායකත්වය හමුවේ.”

“CR&FC කණ්ඩායමේ මම හිටියා 2008 වසරේ සිට 2012 වසර දක්වා”

CR කණ්ඩායමේ අමතක නොවන අත්දැකීම්?

“මට හොඳට මතකයි 2011 වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජය කොළඹ දී පරාජය කළ අවසන් CR කණ්ඩායමට මම ක්‍රීඩා කළා, දුශාන්ත් ලෙව්කේගේ නායකත්වයෙන් තමයි අපි තරග කළේ, විශ්වමිත්‍ර ජයසිංහ අවසන් මොහොතේ උත්සාහක දිනුමක් වාර්තා කරලා අපිට ජයග්‍රහණය ගෙනාවා.”

“ඒ අවුරුද්දේ අපිට ප්‍රසාද ලකුණු 0.5කින් තමයි ලීග් ශූරතාව මග හැරෙන්නේ” රීසා ඒ මතකය නම් අවදි කළේ ඉතා කනගාටුවෙන්.

ඔබේ දෙවන නවාතැන නාවික හමුදා ක්‍රීඩා සමාජය?

“මගේ යහළුවන් ගොඩක් නාවික හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ නිසා මමත් හිතුවා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එකතු වෙන්න” රීසා සිනහවක් සමඟ කතාව ආරම්භ කළා.

ඉන්පසු ඔහුගේ නවාතැන පොලිස් ක්‍රීඩා සමාජයයි. වසර ගණනක අත්දැකීම් සමඟින් ඔහු හැව්ලොක් ක්‍රීඩා සමාජයට එක්වන්නේ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම බලවේගයක් වෙමින්.

“2017 තරගවාරයේ මම හැව්ලොක් ක්‍රීඩා සමාජයට එකතු වුනා, මම CR ක්‍රීඩා සමාජයේ පළවෙනි අවුරුදු තුන ඉද්දී දැකපු දෙයක් තමයි CR ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්ගේ එකමුතුකම, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නවකයින්ට සලකන විදිය, ක්‍රීඩකයෝ පුහුණුවීම් කරන විදිය, මේ දේවල් ඔක්කොම හැව්ලොක් ක්‍රීඩා සමාජයේ තියෙනවා, ඒකයි මම හැව්ලොක් ක්‍රීඩා සමාජයට ආස වුනේ.” රීසා සිය අවංක හැඟීම් අප හා පවසා සිටියා.

“ඒ වගේම මම අශේන් කර්තෙලිස්, ෂමිල් මොහොමඩ්, දුශාන්ත් ලෙව්කේ වගේ නායකයොන්ට ස්තූතිවන්ත වෙන්න ඕන ඒ වගේ සංස්කෘතියක් ඇති කරපු එක ගැන. ඒවගේම දැන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක නිරෝෂන් ප්‍රනාන්දුත් ඒ වගේමයි”

“2017/18 වසරේ අපිට ගොඩක් අමාරු වුනා, අපි අමාරුවෙන් තමයි තුන්වැනි ස්ථානයට ආවේ, නමුත් මේ වසරේ 2018/19 තරග වාරයේ අපි ඉතා හොඳ තත්වයට ආවා, ඒකට බලධාරීන්, ක්‍රීඩකයින්, තේරීම් කමිටුව සියලු දෙනාම එකතු වුනා ”

කවුරුත් හිතුවේ නැහැ හැව්ලොක් ක්‍රීඩා සමාජයට මෙවර තරගවාරයේ මෙතරම් දක්ෂතා දක්වන්නට පුළුවන් වෙයි කියලා?

“අවංකවම කියනවා නම් මේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව අපේ පුහුණුකරු, සනත් මාටිස් මහතා තමයි කුසලාන දිනන්න ලංකාවේ අංක එකේ පුහුණුකරු, ඒ වගේම පරිපාලනය හා පුහුණුකරු කරපු පළමුවැනි දේ තමයි නායකත්වයට සුදුසුම කෙනා නායකයා බවට පත් කිරීම” අත්දැකීම් බහුල රීසා ජයග්‍රහණයේ රහස් එකින් එක එලි කළා.

“ඒ වගේම ඊට පස්සේ සෑම තරගයක දී ම තේරීම් කමිටුව ඉතා හොඳ කාර්ය භාරයක් සිදු කළා, ඇලෙක්ස් මහතාගේ ප්‍රමුඛත්වයෙන් රැස් වුණු තේරීම් කමිටුව සෑම ක්‍රීඩකයෙකුගේම වගකීම පෞද්ගලිකව භාර ගත්තා”

“අපේ සහය පුහුණුකරු ළකල පෙරේරා, නිමල් සර් ඔවුන් දෙදෙනා සහ අනෙක් නිලධාරීන් සියලු දෙනා අපිට බොහොම උදව් කළා.”

පුහුණුකරු සනත් මාටිස් කණ්ඩායම සම්පූර්ණයෙන්ම වෙනස් කළා?

“වසර තිහකට වැඩි අත්දැකීම් තියන සනත් මාටිස්, සෑම ක්‍රීඩකයෙකුම කොහොමද භාවිතා කරන්නේ කියලා හොඳට දන්නවා.” රීසාට ඇත්තේ පුහුණුකරු මාටීස් ගැන නිමක් නැති ගෞරවයක්.

“ඔහු දන්නවා කාට කොහොම මොනවා මොන වේලාවේද කියන්නේ කියලා, ඒ ඔහුගේ අත්දැකීම් නිසා.”

“මමත් පුහුණුකරුවෙක්, මමත් ඔහුගෙන් තවම ඉගෙන ගන්නවා”

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ක්‍රීඩක ගැලපීම කොහොමද?

“අනෙක් කණ්ඩායම්වල වගේ නෙවේ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ලොකු පොඩි භේදයක් තිබුණේ නැහැ.”

“හැමෝම උත්සහ කළේ අනෙක් ක්‍රීඩකයාව උඩට ගෙන්න, කනිෂ්ඨ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා, ඔවුන් ගොඩක් මහන්සි වෙනවා, අපි කනිෂ්ඨ ක්‍රීඩකයින් වෙලා ඉන්නකොට ලෙව්කේ, කර්තේලිස්, පවිත්‍ර වගේ ක්‍රීඩකයින් අපිට සලකපු විදියටම අපි මේ නවක ක්‍රීඩකයින්ට උදව් කරනවා.” රීසා රග්බි පිටියේ අපි නොදකින පැත්තක් පිළිබඳව අදහස් දක්වා සිටියා.

(Sport Asia)

වසර දහයක් ක්‍රීඩා සමාජ රග්බි පිටියේ?

“මගේ තාත්තා මට කිව්වා ඔයාට පුළුවන් හැම වේලාවේම ක්‍රීඩා කරන්න, පස්සේ පසුතැවෙන්න එපා කියලා.”

“එයාට ගොඩක් දේවල් කැපකරන්න සිදු වුනා, මාව මෙතනට ගේන්න, ඒ වගේම මගේ අම්මාත් ගොඩක් මහන්සි වුනා, මගේ බිරිඳත් එහෙමයි, මේ දේවල් තමයි මේ වසර දහයේ දී ම මගේ සවිය වුනේ, එයාලා වෙනුවෙන් තමයි මම හැමදාම ක්‍රීඩා කළේ.”

“මම විශ්වාස කරනවා මම එයාලා වෙනුවෙන් මම උපරිමය කරනවා කියලා” රීසා මදකට සංවේදී වුනේ සිය ළබැඳියන්ට ඇති ආදරය නිසාමයි.

මගේ තාත්තා ජාතික පාපන්දු ක්‍රීඩකයෙක්, එයාට ඕන වුනේ මාවත් ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් කරන්න, මගේ අම්මා නම් මුලින් කැමති වුනේ නැහැ, මම කිව්වා මම පාපන්දුවලට කැමති නෑ මම රග්බි ක්‍රීඩා කරන්න ඕන කියලා, මගේ තාත්තා කිව්වා හරි ඔයා ආසා දෙයක් කරන්න කියලා.”  රීසා ඔහුගේ දෙමව්පියන් ලබා දුන් සහයෝගය මතක් කළා.

(පිලිපීනයට එරෙහිව පැවති තරගයේ මොහොතක් – Emirates 24/7)

ඔබේ පියා ගැන සඳහනක් කළොත්?

“මගේ පියා මුබාරක් ජෙනුයිඩින්, ඔහු ජාවා ලේන් ක්‍රීඩා සමාජයට වගේම 1976 කාලයේ රිනවුන් ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළා.”

“ඔහු ජාතික පාසල් කණ්ඩායමට මෙන්ම ජාතික කණ්ඩායමටත් ක්‍රීඩා කළා, ඔහු ඉතා දක්ෂයි කියලා මම අහලා තියෙනවා.” රීසා සිනහවකින් මුව සරසාගෙන පැවසුවේ ඉතා ආඩම්බරයෙන්.

ඔබ ජාතික කණ්ඩායමට පිවිසුණේ කොයි වසරේ දී ද?

“2007 වසරේ දී මම ඉස්කෝලෙට ක්‍රීඩා කරද්දී මම ජාතික සංචිතයේ සිටියා, මාත් එක්ක නිරෝෂන්, සජිත් සාරංග, හිල්මි වගේ ක්‍රීඩකයිනුත් හිටියා.”

“මම කණ්ඩායමට එකතු වෙන්නේ 2008 වසරේ දී, දුශාන්ත්ගේ නායකත්වයට යටතේ මම පළමු වරට ජාතික වර්ණ දරනවා.”

2013 ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට සුපිරි වසරක් වුනා?

“අපිට කොළඹ ක්‍රීඩා කරන්න ලැබුණා 2013 වසරේ දී, අවංකවම ඒ කණ්ඩායම තමයි මම ක්‍රීඩා කරපු හොඳම කණ්ඩායම, රේවන් ඩු ප්ලේසිස් තමයි කණ්ඩායමේ පුහුණුකරු.”

“ඒ කණ්ඩායම හොඳටම පුහුණු වුනා, රොෂාන්, ගයාන්, ෆාසිල්, ප්‍රදීප් ලියනගේ, සඳුන්, දාබරේ, ෂෙරිෆ් මොහොමඩ් වගේ සුපිරි ක්‍රීඩකයින් හිටියා.”

“අපි හොඳින් ක්‍රීඩා කළා තරග තුනකට පසුව අපි තරගාවලිය දිනුවා” රීසා 2013 ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව පිළිබඳ සිය මතකය අවදි කළා.

(පිලිපීනයට එරෙහිව පැවති තරගයේ මොහොතක් – Emirates 24/7)

“නැෂනල් ජර්සිය ඇඳලා කොළඹ ක්‍රීඩා කිරීම පුදුම අත්දැකීමක්, ඒ අත්දැකීම වචනවලට හරවන්න බැහැ.”

“එකට හිටපු ක්‍රීඩකයෝ, ගුරුවරු, පුහුණුකරුවෝ ඉදිරියේ හොඳට ක්‍රීඩා කරන්න ලැබීම සතුටක්, ඒක මට ලැබුණු හොඳම අවස්ථාව.”

අමතක නොවන තරගය

“සෙරන්ඩිබ් කුසලානයේ අපි පෝලන්තයත් එක්ක තරගයක් ක්‍රීඩා කළා, ඒ අපි යුරෝපීය කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරපු පළමු තරගය, ඒ තරගය අපි එක ලකුණකින් දින්නා, ලකුණු 26-25ක් විදියට, මම ඒ තරගයේ ලකුණු 16ක් වාර්තා කළා.”

“මට මතකයි 2015 අපි පිලිපීනයේ තරගාවලියකට සහභාගී වුනා, අපි අවසන් තරගයේ දී පිලිපීනය පිලිපීනයේ දී පරාජය කළා, එක ලේසී වැඩක් නෙවෙයි, නමුත් අපි ඒ අභියෝගය ජය ගත්තා.”

ඔබ ශ්‍රී ලංකාව ලබා ගත විශාලතම ජයග්‍රහණ වල කොටස්කරුවෙක්?

“ඒක ආශීර්වාදයක්, කණ්ඩායමේ මහන්සිය නිසා තමයි ඒ වුනේ”

අවසන් වශයෙන් ඔබ සතුටු වෙනවා ද පාපන්දු වෙනුවට රග්බි තෝරාගැනීම පිළිබඳව?

සිනහමුසු මුහුණින්, “ඔව් ඇත්තෙන්ම, නමුත් මගේ පියා ටිකක් දුකින් ඉන්නේ, නමුත් මම මගේ උපරිමය කළා, මම හිතනවා ඔහු මගේ ගැන ආඩම්බර ඇති.”

15 දෙනාගේ ආකෘතිය ගැන අදහස් දැක්වුවොත්?

“සත් සාමාජික ආකෘතිය වැදගත් ඒ වගේම 15 දෙනාගේ ආකෘතිය ඉතාම වැදගත්, 15 ගහනවා වගේ හැඟීමක් නැහැ, අපි ලෝක කුසලානයට සෙල්ලම් කරන්න සැලසුමක් හැදුවා, නමුත් එය අසාර්ථක වුනා, මම තවමත් හිතනවා අපි සත් සාමාජික රග්බිවලට වගේම 15 දෙනාගේ රග්බි වලටත් අවස්ථාවක් ලබා දෙන්න ඕන.”

අනාගත බලාපොරොත්තු

“රග්බි ක්‍රීඩා කරලා ඉවර වුනාට පස්සේ, මම ලංකාවේ රග්බි ක්‍රීඩාවට උදව් කරන්නට කැමතියි, මම මේ වන විට රාජකීය විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.”

යොවුන් ක්‍රීඩකයින්ට උපදෙසක්

“ඔබ ඔබේ 100% ක්‍රීඩාවට ලබා දෙන්න, එහෙම දෙන්න බැරි නම් ඒ දේ කරන්න එපා, මම රග්බි පටන් ගද්දී මම ගොඩක් දැනන් හිටියේ නැහැ, මට ඕන වුනේ ඉස්කෝලෙට යම් දෙයක් කරන්න, කොළ ජර්සියට සාධාරණයක් කරන්න, මම ඉල්ලා සිටින්නේ ඔබ ක්‍රීඩාවට 100% දෙන්න.”

සැඟවුණු රග්බි තරු සොයා යන ThePapare.com මීළඟ නවාතැන යුධ හමුදා ක්‍රීඩා සමාජයයි. යුද හමුදාව වෙනුවෙන් සිය දිවියම කැප කළ සුපිරි තරුවක් අපි ඔබ හමුවට ගෙන ඒම සූදානම්. රැඳී සිටින්න එතෙක් ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<