දකුණුලක ප්රමුඛ වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 114 වැනි වරටත් පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන මේ මස 15 සහ 16 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.
රිච්මන්ඩ් විද්‍යාලය සිව්වැනි වසරේ වර්ණලාභී තවීෂ අභිශේක් විසින් මෙහෙයවනු ලබන අතර මහින්ද විද්‍යාලය ද සිව්වැනි වසරේ වර්ණලාභී විනුර දුල්සර මෙහෙයවනු ලැබේ.
13 වැනි රන් මහා සටනේ නායකයින් අදහස් දක්වයි
කොළඹ මහානාම විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික….
මෙවර ආදරවන්තයන්ගේ සටනේ දී විද්‍යාල දෙකේ ම පරිණත ක්‍රීඩකයන් වැඩි ප්රමාණයකගේ සහභාගීත්වය හේතුවෙන් තරගය වඩාත් උණුසුම් වෙනු ඇතැයි බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුවයි. එමෙන්ම කණ්ඩායම දෙකේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කර ඇති බැවින් ද ඔවුන්ගේ දක්ෂතා ද මේ තරගයේ දී කලඑළි වීම තරගයට තවත් ආලෝකයක් වනු ඇත.
ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසය
1905 වසරේ දී ආරම්භ වූ ආදරවන්තයන්ගේ තරග ඉතිහාසයේ මේ දක්වා පැවැත්වූ තරග 113 අතරින් දෙවිදුහල් තරග 23 බැගින් ජයග්‍රහණය කර ඇත. සෙසු තරග සියල්ලම ලැයිස්තු ගතව ඇත්තේ විසඳුමක් නොමැති තරග ලෙසිනි.
රිච්මන්ඩ් විද්‍යාලය ආසන්නතම ජයග්‍රාහකයන් ලෙසින් තරග ඉතිහාසයේ ලියැවී ඇත්තේ 2015 වසරේ දී සිතාර ගිම්හාන්ගේ නායකත්වයෙන් ලත් ජයග්‍රහණයයි. මහින්ද විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ 2008 වසරේ දී රජිත් ප්‍රියාන්ගේ නායකත්වය යටතේ ය.
ආදරවන්තයෙන්ගේ සංග්රාමයන් 1910, 1911 සහ 1942 වසරවල තරග පවත්වා නැත. තරග ඉතිහාසය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ විනිසුරුවන් වී ඇත්තේ විද්‍යාල දෙකේ විදුහල්පතීන් වූ ජේ. එච්. ඩැරල් පියතුමා (රිච්මන්ඩ්) සහ එෆ්. එල්. වුව්ඩර්ඩ් මහතා (මහින්ද) ය. පළමු තරග ත්‍රිත්වයේ ජයග්‍රහණය රිච්මන්ඩ් විද්‍යාලය සතුවී ඇති අතර මහින්ද විද්‍යාලයට තරගයක් ජය ගැනීමට හැකිව ඇත්තේ 1908 වසරේ දී ය.
යුද්ධය, භීතිය සහ ක්‍රිකට්
යුද්ධය කියන්නේ අපි බොහෝමයක් දෙනාට ඉතා අමිහිරි අත්දැකීමක්. යුද්ධයක් ඇතිවුණාම සමාජයේ ….
තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව 1972 වසරේ දී මහින්ද විද්‍යාලයේ පී. එච්. කේ. එච්. රණසිංහ ලබා ගත් ලකුණු 162 දැක්වේ. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් එම වාර්තාවේ හිමිකාරිත්වය 1972 වසරේ දී ප්‍රසාද් කාරියවසම් විසින් නොදැවී ලබා ගත් ලකුණු 156 දැක්විය හැකිය. ඉනිමක දක්ෂතම පන්දු යැවීමේ වාර්තාව ද මහින්ද ක්‍රීඩකයන් සතු වන්නේ සෝමසිරි අඹවත්ත 1953 වසරේ දී ලකුණු 44කට ලබා ගත් කඩුලු 10 යයි. එතැනින් නතර නොවුණ ඔහු අනෙක් ඉනිමේ දී ලකුණු 61කට කඩුලු 5ක් දවා ගනිමින් ද පිතිකරුවෙක් ලෙස නොදැවී ලකුණු 103ක් ද වාර්තා කරන්නේ ය. එය ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ තුන් ඉරියව් දක්ෂතා ගොන්නේ ඉහළින්ම සටහන්ව තිබෙන වාර්තාවයි. තරගයක හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආර්. එම්. එම්. ද සිල්වා විසින් 1922 දී ලකුණු 25කට ලබා ගත් කඩුලු 15යි.
මීට අමතරව ආදරවන්තයෙන්ගේ සටන් ඉතිහාසය නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාවන්ත වූහ. ඒ අතුරින් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් ද මහින්ද විද්‍යාලය වෙනුවෙන් ජයනන්ද වර්ණවිර, අතුල සමරසේකර, උපුල් චන්දන, මාවන් අතපත්තු, ලසිත් මාලිංග සහ තික්ෂිල ද සිල්වා ද වෙති.
රිච්මන්ඩ් විද්‍යාලය
රිච්මන්ඩ්වරුන්ගේ මෙවර නායකයා වන්නේ සිව්වැනි වසරේ වර්ණලාභී, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජික තවීෂ අභිෂේක් ය. පිතිකරුවෙක් ලෙසින් නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ලකුණු 689ක් ලබා ඇති තවීෂ කණ්ඩායමේ විශ්වාසය දිනා සිටින දක්ෂ පන්දු රකින්නෙක් ද වේ.
කණ්ඩායමේ උපනායකයා වන්නේ ආදිත්‍ය සිරිවර්ධන ය. සිව්වැනි වසරේ වර්ණලාභී ආදිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමේ වගකීම් දරයි. මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ලකුණු 619ක් ලබා සිටී.
මේ වන විට රිච්මන්ඩ් කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයා වී සිටින්නේ දිලුම් සුධීර ය. පසුගිය ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබූ දිලුම් මේ වන විට කඩුලු 70ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් ඉහළින් සිටී. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ද සාමාජිකත්වය හිමි දිලුම් පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් මේ වන විට ලකුණු 400 සීමාවට ආසන්න වී සිටී.
කණ්ඩායමේ අනෙක් විශ්වාසවන්ත පන්දු යවන්නා වී ඇත්තේ සඳුන් මෙන්ඩිස් ය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ද සාමාජිකත්වය ලබා සිටින දකුණතින් පිට දඟපන්දු යවන ඔහු මේ වන විට කඩුලු 33ක් ලබා සිටී.
මීට අමතරව රිච්මන්ඩ් කණ්ඩායම වෙනුවෙන්, කණ්ඩායමේ කඩුලු රකින්නා වන විමුද් සප්නක, ආරම්භක වේග පන්දු යවන අම්ෂි ද සිල්වා, වමත් පිතිකරු විනුජ කිරිඇල්ල, චමත් දිල්සර සහ නිම්නද කිරින්දගේ ආදරවන්තයන්ගේ සටනේ දී දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටී.
>> කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ධම්මික සුදර්ශන මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙසින් ලක්මාල් ද සිල්වා මහතා කටයුතු කරයි. විද්‍යාලයීය ක්‍රීඩා භාර ආචාර්ය එස්. ආර්. නානායක්කාර මහතා කණ්ඩායම් භාර නිලධාරි ලෙසින් ද කටයුතු කරයි.
මේ සියලු දෙනා සමඟින් නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී රිච්ම්න්ඩ් ක්‍රීඩකයෝ තරග 13කට සහභාගී වෙමින් අපරාජිතව ආදරවන්තයනගේ සටනට සහභාගී වීමට සූදානමින් සිටී. ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ මාතර සාන්ත තෝමස් සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයන් ය.
රිච්ම්න්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම;
තවීෂ අභිෂේක් (නායක), ආදිත්‍ය සිරිවර්ධන (උප නායක), සඳුන් මෙන්ඩිස්, දිලුම් සුධීර, නිම්නද කිරින්දගේ, දිමුත් සඳරුවන්, අම්ෂි ද සිල්වා, කවිඳු නිර්මාණ, සනුල් සංදේශ්, කල්ප නෙත්සර, විනුජ කිරිඇල්ල, අචින්ත ඉෂිවර, සම්මු විමුත්, භානුක මනෝහර, චමත් දිල්සර
මහින්ද විද්‍යාලය
සිව්වැනි වසරේ වර්ණලාභී විනුර දුල්සරට මෙවර මහින්ද කණ්ඩායම මෙහෙයවීමේ වරම් හිමිව තිබේ. කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන විනුර නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ශතකලාභියෙක් ලෙසින් ලත් පන්නරයත් සමඟින් මෙවර තරගයේ විශේෂ යමක් කරනු ලබන ක්‍රීඩකයෙක් ලෙස විශ්වාසය දිනා සිටී. අවශ්‍ය අවස්ථාවක අතිරේක පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කිරීමේ දක්ෂතාවෙන්හෙබි ඔහු නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ලකුණු 800 සීමාවේ සිටී.
කණ්ඩායමේ උපනායකයා වන්නේ අශේන් කණ්ඩම්බි ය. සිව්වැනි වසරේ වර්ණලාභී අශේන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටින ඔහු මේ වන විට ලකුණු 400 පසුකර ඇත. කණ්ඩායමේ වඩාත් පරිණත ක්‍රීඩකයා වන්නේ 112 වැනි ආදරවන්තයන්ගේ සටනේ මහින්ද කණ්ඩායමේ නායක හංසික වැළිහිඳ ය. මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ලකුණු 900 සීමාව පසුකර ඇති හංසික මහින්දයන් වෙනුවෙන් වැඩිම දක්ෂතා දැක්වූ පිතිකරු ලෙසින් වඩාත් විශ්වාසය දිනා ඇත.
>> කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ නවෝද් පරණවිතාන වමත් පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායම වෙනුවෙන් මේ වන විට ලකුණු 500 සීමාවේ සිටිමින් ආදරවන්තයන්ගේ සටනේ දී දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටී. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ දකුණතින් වේගපන්දු යවන නිපුන් මාලිංග ද මහින්දීයයන් සතු ප්‍රබල ක්‍රීඩකයෙකි. ඔහු නිමා වූ පාසල් තරගවාරයේ දී ලකුණු 400ක් සහ කඩුලු 25ක් ලබා සිටී.
පන්දු යවන්නන් අතුරින් මහින්දීයයන් වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින්නේ තුන් වැනි වසරේ පා දඟපන්දු යවන පසන් පෙතන්ගොඩ ය. ඔහු කඩුලු 45ක් ලබා සිටී. මීට අමතරව සුබානු රාජපක්ෂ සහ කුෂාන් මධූෂ ද මහින්දීයයන් බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයෝ ය.
කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් අනිල් රිදීගම්මනගෙදර මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙසින් සුනෙත් කුඩාහෙට්ටි මහතා කටයුතු කරයි. කණ්ඩායම් භාර නිලධාරි ලෙසින් කටයුතු කරනුයේ වයි. නිශාන්ත කුමාර මහතා ය.
මහින්ද විද්‍යාලය නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී තරග 17කට සහභාගී වෙමින් තරග 4ක් ජයග්‍රහණය කරමින් තරගයක් පරාජය වෙමින් මෙවර ආදරවන්තයන්ගේ සටනට සහභාගී වෙති. ඔවුන් කොළඹ ඉසිපතන, මීගමුව මාරිස් ස්ටෙල්ලා, කෝට්ටේ ජනාධිපති සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලවලට එරෙහිව ජයග්‍රහණ ලබා ඇත. පරාජය වූයේ කොටහේන සානත් බෙනඩික්ට් විද්‍යාලයට ය.
මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම;
විනුර දුල්සර (නායක), අශේන් කණ්ඩම්බි (උප නායක), නිපුන් මාලිංග, නවෝද් පරණවිතාන, හංසික වැළිහිඳ, රන්මිණ හෙට්ටිආරච්චි, ධනුජ ඉඳුවර, අශේන් ශාමික, කුෂාන් මධූශ, පසන් පෙතන්ගොඩ, ඔසිඳු කුලරත්න, සුභානු රාජපක්ෂ, සංදේව් ඉඳුවර, කවීෂ මල්ලියාවඩු, කෞෂිත කොඩිතුවක්කු, ලහිරු භාෂණ
කඳු අතර ඇවිලෙන ආදර ගින්න
ගාල්ල රිච්මන්ඩ් කඳු මුදුනතේ 1876 වසරේ දී ආරම්භ වී “දෙවියන් වහන්සේ නොමැති සියල්ල නිෂ්ඵල වේ” යන්න පෙරදැරිව පෙරට යන රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට, 1882 වසරේ සිට දෙවටගහවත්ත කඳු මුදුන අරා වැජඹෙන මෙරට ආරම්භක බෞද්ධ පාසල් සංකල්පයෙන් බිහි වූ මහින්ද විද්‍යාලය “ඛිප්පං වායාම පණ්ඩිතෝ භව“ යන පාලි භාෂාවෙන් සිංහලයට හැරෙන “වහා උත්සාහ වී ප්‍රඥාවන්තයෙක් වෙන්නෙ“ යන්න පෙර දැරිව මෙවර ද ආදරවන්තයන්ගේ සටනට පිටියට පිවිසෙනු ඇත. ආගම් දෙකක අරමුණු දෙකක් දෙවිදුහල් හී ක්‍රීඩකයන්ගේ ගමන සැලසුම් කළ ද ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ තම විදුහල් මාතාව ගෞරවනීයත්වයෙන් පිදීම ය.
ඒ වෙනුවෙන් ඔවුන් මෙන්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ප්‍රජාව ද, දකුණු ලක ක්‍රිකට් ප්‍රේමීන් ද පෙළ ගැසෙන්නේ කිසිදු භේදයකින් තොරව ය. ඒ ආදරවන්තයන්ගේ සටන ඇත්තටම ඔවුන්ගේ හදවතින් වැළඳ ගන්නා ආදරණීය මතකයක් බවට වාර්ෂිකව පත්කර ගැනීමට ඔවුන් දක්වන උනන්දුව නිසා ය.
ඒ ගමන යන ආදරණීය රිච්මන්ඩ්වරුන්ටත් – මහින්දීයයන්ටත් ThePapare.com හී සුබ පැතුම් එක් කරමු.
114 වැනි ආදරවන්තයින්ගේ සටනේ සජීව දසුන් මෙන්ම තරග වාර්තා, ඡායාරූප ඇතුළු තවත් බොහෝ දේ ThePapare.com තුලින් ඔබ වෙත ගෙන ඒමට නියමිතයි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<