Lanka Da Silva

මේ අපි ක්‍රම ක්‍රමයෙන් ළඟා වන්නේ පාසල් මහා ක්‍රිකට් තරග සමය වෙතටයි. දිවයින පුරා විසිරුණු පාසල් රැසක් සිය මිතුදම, සහෝදරත්වය තවතවත් වර්ධනය කර ගැනීමටත් සිය පාසල් මාතාවට ජයග්‍රහණය රැගෙන ඒමේ ආශාව, අධිෂ්ඨානය පෙරදැරි කර ගෙනත් පාසල් මහා ක්‍රිකට් තරග බිමට අවතීර්ණ වනු ඇත.

ඒ අතරින් ඇතුගල්පුර පුරවරයේ සුප්‍රසිද්ධ පාසල් දෙකක් වන මලියදේව විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය අතර පැවැත්වෙන “ඇතුගල්පුර සංග්‍රාමය” ක්‍රිකට් මහා වසන්තයේ තවත් සුවිශේෂී තරගයකි. එම සංග්‍රාමය පිළිබඳව කතා කිරීමට පසුගිය දා අප හා එක්වූ සාන්ත ආනා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන ලංකා ද සිල්වා මහතා සිය සොඳුරු පාසල් ක්‍රිකට් මතක මෙසේ ThePapare.com සමඟින් හුවමාරු කරගත්තේය.

පාසල් ක්‍රිකට් උන්මාදයේ සොඳුරුතම පෙළහැර දැක්ම

ශ්‍රී ලාංකිකයින් වඩාත්ම උද්යෝගයෙන් සමරන ක්‍රීඩාව වන්නේ අවිවාදයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව යි….

1975 වසරේ ජූලි මස 29 වැනි දා කුරුණෑගල දී උපත ලද සංජීව කුමාර ලංකා ද සිල්වා නම් උස අඩි 5යි අඟල් 4ක් වන ක්‍රීඩකයා 1997 කාලයේ ක්‍රිකට් නැරඹූ ප්‍රේක්ෂක ඔබට නම් හොඳින්ම මතකයට නැගෙන ක්‍රීඩකයෙකු විය යුතුයි. ඔහු සාන්ත ආනා විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනයට වරම් දිනාගත් ක්‍රීඩකයෙකි.

“1992 පළමු වරට පැවැත්වූ එක්දින තරගය ජය ගැනීමට අපිට පුළුවන් වුනා. දෙදින තරගය නම් ජය පරාජයෙන් තොරව තමයි අවසන් වුනේ. වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ කණ්ඩායම නියෝජනය කළාට පස්සේ පාසල් මහා ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම තමයි ඕනෑම පාසල් ක්‍රීඩකයෙක්ගේ හීනය.”

1950 වර්ෂයේ සිට “ඇතුගල්පුර සංග්‍රාමයයන නමින් පැවත එන මේ පාසල් මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 35 වන වරටයි.

අපි සාමාන්‍ය තරගාවලියක් සෙල්ලම් කරන කොට නම් ලොකු පීඩනයක් නෑ. නමුත් එකම නගරයක පාසල් දෙකක්, පාසල් දෙකේම ආදී සිසුන් සහ නගරයේ ජනතාව තරගය බලන්න එනකොට ලොකු පීඩනයක් දැනෙනවා, ඒක ඕනෑම පාසල් ක්‍රීඩකයෙක්ට සාමාන්‍ය දෙයක්. ඒ පීඩනය කණ්ඩායමක් ලෙස හොඳින් කළමනාකරණය කර ගන්න පුළුවන් නම් තරගයේ වැඩි වාසිය ඒ කණ්ඩායමට ගන්න පුළුවන්.”

පළමු පෙළ ක්‍රිකට් තරග 185කට සිය දායකත්වය දක්වා ඇති ලංකා ද සිල්වා ලකුණු 10904ක් ලබාගෙන ඇත්තේ 40.99කට ආසන්න ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. ඒ අතරට ශතක 25ක් හා අර්ධ ශතක 61ක් ඇතුලත්ව ඇත. ඒ දස්කම් නිසා ඔහු ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම හා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේය.

වර්ෂ 1997 අග භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරය ඔහුගේ පළමු මංගල ටෙස්ට් තරගාවලියයි. එසේම එක්දින ජාත්‍යන්තර තරග 11කට ක්‍රීඩා කර අර්ධ ශතක දෙකක් ලබාගෙන ඇත්තේ ලකුණු 54කට ආසන්න දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. ඕනෑම අයෙක්ට ක්‍රීඩකයෙක් ලෙස ජාත්‍යන්තරය තලයට යන්න පාසලෙන් ලැබෙන සහය අතිමහත්ය.

ඒ කාලයේ ඉඳන්ම සාන්ත ආනා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු සහයක් ලැබුණා. දැනටත් ඒක එහෙමයි. මමත් පෞද්ගලිකව හැකි හැම විටකම පාසලට උදව් කරනවා. පාසල් ක්‍රිකට් මහා තරගයක දී පමණක් නොව පළමු පෙළ වේවා, ජාත්‍යන්තරය වේවා තරගයේ දී එන පීඩනය මනාව කළමනාකරණය කිරීමට යම් අයෙක් සමත් වෙනවා නම් ඔහුට දස්කම් දක්වන්න එතරම් අපහසු නෑ.”

ඒවගේම තව දෙයක් කියන්න කැමතියි. වෙලගෙදර ක්‍රීඩා පිටියේ දී පාසල් කාලයේ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන්න ලැබෙන එක මාරම වාසනාවක්. මට මතකයි වර්ෂ 1992 දී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම මේ ක්‍රීඩා පිටියේ දී තරගයකට ආපු වෙලාවේ දී ඉම්රාන් කාන් කිව්වා මේ වගේ ලස්සන ක්‍රීඩා පිටියක්  මගේ ජීවිතේටම දැකලා නෑ කියලා.”

අවසානයේ සාන්ත ආනා විද්‍යාලයට මෙවර පාසල් මහා ක්‍රිකට් තරගය ජය ගැනීමට හැකි වේවායි මා සුබ පතනවා. එසේම මලියදේව විද්‍යාලයටත් මා සුබ පතනවා!.”

මලියදේව විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය අතර පැවැත්වෙන දෙදින මහා ක්‍රිකට් තරගය මාර්තු මස 9 සහ 10 දිනවල දී පැවැත්වෙන අතර සීමිත පන්දුවාර තරගය මාර්තු 11 වැනිදා කුරුණෑගල වෙලගෙදර පිටියේ දී පැවැත්වේ. මෙහි තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<