“ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම” ශ්‍රී ලාංකික අපගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම නම් නොවේ. වසර 2500ක නොනවතින කරදර අතරේ මෑත කාලීනව ශ්‍රී ලංකාවට වැඩිම ඉන්දියානු කරදර සිදුවූයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළිනි. ඉන්දියාවේ දී ලොවටම කොකා පෙන්වන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සීතල, ඉපිලෙන, දෝලනය වන තණතීරු මත දිගින් දිගටම අසාර්ථක වන්නේ ඇයි?
වසර 2500ක ඉතිහාසයක් තුළ වැඩිවරක් ශ්‍රී ලංකාවට අවහිර බාධා කොට ඇති ඉන්දියාවෙන් බුදු දහම හැර මෙරටට ආ වැදගත් දෙයක් මට සිහි නොවේ. ආ ඔව්! යමෙකුට ඉන්දියානු සංගීතය හෝ නාට්‍ය වැදගත් දේ ලෙස දිස්විය හැක. ශ්‍රී ලාංකික අපට කරදර කරන්නට ආ බොහෝ අවස්ථාවන්වල දී ඔවුන් සාර්ථක ය. ඒ ඊට උඩගෙඩි දෙන්නන් ශ්‍රී ලංකාවේ ඉහළ සහ පහළ සෑම පන්තියකම සාමාජිකයන් වූ බැවින්ය යන වගද සිහි වේ.
තම බිලියනයක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඇපයට තබාගෙන ලෝකයටම උසුළු විසුළු කරමින් ක්‍රිකට් ආධිපත්‍යය තමන් සතුකරගන්නට යන ගමනේ දී ද ඉන්දියාව සාර්ථක වූ අවස්ථා එමටය. එහෙත් ඉන්දියානු ක්‍රීඩාංගණ තුළ උඩු කරණම් – බිම කරණම් පාමින් හරඹ පෙන්වන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් එංගලන්තය, දකුණු අප්‍රිකාව ආදී දෝලනය සහ ඉපිලීම සහිත තණතිලි මත අසාර්ථක වීම අප කලක් පුරාවට දැක ඇත.
දැනට ලොව අංක 1 ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව ඇති (අඩු විදෙස් සංචාර ප්‍රමාණයක් සහිතව) ඉන්දියානුවන් දකුණු අප්‍රිකානු සංචාරයට සූදානම් වූයේ අතිශය ධනාත්මකව ය. ඉන්දියානු රූපවාහිනී නාලිකා තුළ විනාඩියෙන් විනාඩියට ප්‍රදර්ශනය කෙරුණේ කඳුලු පිරි දෙනෙතින් අතීත වාඩුව ගන්නට සූදානම් ඉන්දියානුවන් ය. ඒ අතීත වාඩුව නම් 2013/14 තරගවාරයේ දී තරග දෙකකින් යුත් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජය වීමේ වාඩුවම පමණක් නොව, චිරාත් කාලයක් පුරා දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් සංචාරවල දී දකුණු අප්‍රිකානුවන් විසින් ඉන්දියානුවන් හැඬවූ වාඩුව ය. ඒ, ඉතිහාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලි 4ක් පරාජය වී, දෙකක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබූ පසුබිමකදීයි.
මෙවර තත්වය තිබුණේ වෙනස් මට්ටමක ය. ඉන්දියානු ටෙස්ට් කණ්ඩායම ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ය. ඔවුන්ගේ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙරට දී පහර දුන්නේ දෑස් වසාගෙන ය. ඔවුන් සොයමින් සිටි කපිල් දේව් වැනි තුන් ඉරියව් වේගපන්දු යවන්නෙකු (පාණ්ඩ්යා) ඉන්දියාව වෙනුවෙන් නිර්මාණය වෙමින් සිටියි. ඉන්දියාවට විශාල ප්‍රශ්නයක්ව තිබූ ප්‍රමුඛ වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහිතව ක්‍රීඩා කිරීමේ ප්‍රශ්නය ඔවුන් විසින් විසඳා ගනිමින් සිටියි. ඕනෑම කණ්ඩායමකට අභියෝග කිරීමේ ගෝලීය බලය ද ඔවුන් සතුය. එකී මෙකී නොකී සියලු කරුණු ඉන්දියාව ධනාත්මක කළේය. එබැවින් ඉන්දියානු මාධ්‍ය උඩපැන්නේය.
එහෙත් ඉන්දියානුවන් සඟවමින් සිටින සැබෑ ගැටලුව වූයේ පැතලි තණතීරු මත දක්වන විස්කම්, ඉපිලීම සහ දෝලනය සහිත තණතීරු මත කිරීමට ඉන්දියානු පිතිකරුවන් දක්වන අදක්ෂතාවය යි. ඒ පමණක් නොවේ. ඔවුනට මුහුණ දෙන්නට සිදුව තිබුණේ ඩේල් ස්ටෙයින්, වර්නන් ෆිලැන්ඩර්, මෝනේ මෝකල්, කගීසෝ රාබාඩා වැනි ලොව ඉහළ පෙළේ වේගපන්දු යවන්නන්ට යි. ඊට අමතරව 21 හැවිරිදි ලුන්ගි න්ගිඩිද ඉන්දියානු පිතිකරුවන් අසරණ කරමින් සිටියි.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතීතයේ සිටම පිතිකරුවන් මත පදනම් වූ කණ්ඩායමකි. “ඉන්දියානු ක්‍රිකට්” කියු සැණින් අපට සිහිවන නාමයන් ඊට සාක්ෂි ය. සචින් ටෙන්ඩුල්කාර්, සුනිල් ගවස්කාර්, රාහුල් ද්‍රාවිඩ්, විරාත් කෝලි… මේ ලැයිස්තුව නිම නොවන්නකි. මන්ද යත් ඉන්දියානු දේශීය තණතීරු අතිශයින්ම පැතලි, මේසපන්දු ක්‍රීඩාවට වුවද සුදුසු ඒවා වීමයි. එම තණතීරු මත බිහිවන්නේ පිතිකරණ දැවැන්තයන් හෝ තරගයක අවසන් දින කිහිපයේ දඟ දමන දඟපන්දු අයියලා පමණි. මෙය අප ශ්‍රී ලංකාවට ආදේශ කරගතහොත්, මෙරට දේශීය තණතීරු ගැන කතා කිරීම හෝ ක්‍රිකට් දන්නා අයට විහිළුවක් සේ පෙනිය හැක.
ගුණාත්මක නොවන දේශීය තණතීරු මත එක්දින ක්‍රිකට් ක්‍රීඩා කොට ඇඟ බේරාගතහැකි නමුත්, පූජනීය ක්‍රිකට් ක්‍රීඩා රටාව වන ටෙස්ට් මට්ටමේ දී නම් ඔබේ දස්කම් පහළට බෑවුම් විය හැක. මෙරට දේශීය තරගවල දී කඩුලු 500ද පසුකරන ඇතැම් දඟපන්දු යවන්නන් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන්ට පන්දු යැවීමේ දී අසරණ වන්නේ එහෙයිනි.
රංගන හේරත් ගැන සිහි කරමු. එංගලන්තයට ගොස් එහි ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කොට ලබාගත් අත්දැකීම් නොවන්නට, ඔහු ද සාමාන්‍ය පන්දු යවන්නෙකු වන්නට ඉඩ තිබිණි. එහෙත් එංගලන්තයට යෑමේ වාසනාව සහ තම අත්දැකීම් නිසි පරිදි යොදාගැනීමට අවශ්‍ය බුද්ධිය ද ඔහු සතුවීම නිසා ඔහු ලොව හොඳම ටෙස්ට් වමත් දඟපන්දු යවන්නා බවට පත්ව සිටියි.
ලොව ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නම් ක්‍රීඩකයන්ට සම තණතිලි, සම අභියෝග ලැබිය යුතුය. ඉන්දියාව යම් ආකාරයකට මෙය සකසා ගැනීමට උත්සාහ ගනිමින් සිටියත්, ඔවුන්ගේ “සැණකෙළි ක්‍රිකට්” (IPL) නිසා එය සිදුකර ගැනීම පමා වෙමින් පවතියි. එහෙත් අපට ඇති සැණකෙළියක් නොමැති බැවින් අපට හොඳ තණතීරු නිර්මාණය කිරීම සිදු කළ හැකිය. 2000 සිට ලොව වැඩිම ලකුණු වාර්තා වූ ක්‍රීඩාංගණ අතුරින් 3ක් ඉන්දියානු ක්‍රීඩාංගණ ය. ඊට සාපේක්ෂව ලොව වේගපන්දු යවන්නන්ට උචිත ක්‍රීඩාංගණ දහයෙන් එකක් හෝ ඉන්දියාව අසල හෝ නැත.
ඉන්දියානුවන් ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍යය වූවත් ලොව අප්‍රසන්නම ටෙස්ට් ක්‍රීඩාංගණය ද ඔවුන් සතු එකකි. ඒ ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණය යි. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට මුව ආවරණ සහිතව ක්‍රිකට් ක්‍රීඩා කරන්නට වූ ක්‍රීඩාංගණය ඔබට මතක ද? “ටෙස්ට් ක්‍රිකට්” නම් “මහා සංස්කෘතික උළෙල” දින පහක් පුරා විඳින්නට නම් ප්‍රේක්ෂකයන්ට හොඳින් හුස්ම ගත හැකි සහ සැප පහසුවෙන් තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණ තිබීම වැදගත් වේ. ලොව අලංකාරම ක්‍රීඩාංගණ කිහිපයකම හිමිකරුවන් වන ශ්‍රී ලංකාව, ඒවායේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම පසෙකලා ඒ වටා වෙනත් කොන්ක්‍රීට් කණු ඉදිකරමින් සිටියි. සුවපහසු ආසන පැනවීම ආදියෙහි මම වරදක් නොදකිමි. එහෙත් අප තව බොහෝ දෑ කළ යුතු ය, නොකළ යුතුය.
මේ සියල්ල සිදු කළ යුතුව තිබිය දී ඉන්දියානුවන් මුදල් පසුපස පැන්නීම නිසා ඔවුන්ගේ ක්‍රිකට්වල ගුණාත්මකභාවය පහළ බැස ඇත. මේ වන විටත් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඉන්දියා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම ඉන්දියාව පරාජය වූයේ කිසිදු නිනව්වක් නොමැතිව ය. තෙවැනි තරගය මේ වන විට පැවැත්වෙන අතර එහි පළමු ඉනිමේ දී ද ඉන්දියානුවන් ලකුණු 187කට දැවී ගියේය.
අපි එය දැක සතුටු වන්නෙමු. සියල්ලටම වඩා දකුණු අප්‍රිකානුවන්ගේ ටෙස්ට් ක්‍රිකට් දක්ෂතා දෙස බලමින් සතුටු වන්නෙමු. වේගපන්දු යැවීම, පන්දු රැකීම, අවස්ථාවට අනුව පන්දුවට පහර දීම යන ටෙස්ට් ක්‍රිකට් දක්ෂතා, “ක්‍රිකට් සැණකෙළි” වලින් උගත නොහැකිය. එය මහා සංස්කෘතියක කොටසකි.
ඉදින්, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අනුව ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම වීම කරා යන ගමනේ දී අප සිදු කළ යුතු වන්නේ කුමක්ද? ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාවේ අසාර්ථකත්වය අපේ සාර්ථකත්වය කර ගැනීම නොවේ ද?
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<