සන්දේශ්ගේ උත්සාහය අවසන් මොහොතේ වතුරේ යයි

789

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ නව වැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (06) පැවැත්විය. ඒ අතරින්  CR & FC කණ්ඩායමත්, පොලිස්  ක්‍රීඩා සමාජයත් පොලිස්  පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 33-31ක් වශයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට CR & FC ක්‍රීඩකයින් සමත් විය.

මහනුවර ප්‍රහාරයෙන් පොලිසියට දැඩි අලාභ හානි

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ අවසන් තරගය අද (30) මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල දී පැවති අතර…

පසුගිය සතියේ ලද ජයග්‍රහණයත් සමඟින් CR කණ්ඩායමත්, දරුණු පරාජයකින් පසුව ජයග්‍රහණයක පිපාසය සහිතව පොලිස් කණ්ඩායමත් පිටියට පිවිසියේය. ඒ නිසාමදෝ තරගයේ තීව්‍ර බව ආරම්භයේ සිටම පෙනෙන්නට තිබුණි.

තරග ආරම්භයෙන් මිනිත්තු කිහිපයක් ගතවත්ම පොලිස් ඉදිරි පෙළේ ආරක්ෂණය බිඳ වැටුණේ CR ඉදිරි පෙළ ඉක්මන් තීරණ කිහිපයක් ගනිමින් අනර්ඝ පන්දු හුවමාරුවක් කවිඳු පෙරේරාගේ විසින් කෙළවර කරමිනි. ඒ අවසරයෙන් CR කණ්ඩායම තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නේ ලකුණු  05-00ක ඉදිරියක් රඳවා ගනිමිනි (05-00).

CR ඉදිරි ආරක්ෂක වළල්ලේ ක්‍රීඩකයෙකු වන උදාර ගයාන් CR කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම දිනා ගන්නේ පොලිස් කණ්ඩායමේ අනිසි බලපෑමකින් ලද වාසිය ඉක්මන් දිවීමක් හරහා උත්සාහක දිනුමකට පරිවර්තනය කරමිනි. එහි ප්‍රවර්තනය තරින්ද රත්වත්තේ විසින් සාර්ථක කර ගත්තේය (12-00).

ඉන්පසු පොලිස් ක්‍රීඩකයන් තරගයට අවතීර්ණ වන බවක් දක්නට ලැබුණේ පන්දුවේ වාසිය සෑම විටම පාහේ පොලිස් අන්තයේ දෝලනය වීම නිසාවෙනි. එය බිඳ දැමීමේ දී CR දෙසින් වූ අනිසි බලපෑමෙන් ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් සන්දේශ් ජයවික්‍රම විසින් පොලිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදි (12-03).

ඔමල්ක ගුණරත්න දිගින් දිගටම පොලිස් ක්‍රීඩකයන්ට හිසරදයක් වෙද්දී, පොලිස් කණ්ඩායමේ එකා පසුපස එකා පෙළ ගැසෙමින් CR කණ්ඩායමෙන් තරගය උදුරා ගන්නට මාන බැලුව ද, ඔමල්ක ධවල රේඛාව පසු කරන්නේ සාර්ථකව තවත් උත්සාහක දිනුමක් CR වෙත උරුම කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි (19-03).

ඉන්පසු නැවතත් පොලිස් ක්‍රීඩකයන් දිගින් දිගටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර එය ව්‍යර්ථ කිරීමේ අදිටනින් කරන ලද අනිසි බලපෑමක් නිසා රීසා රෆයිඩීන් වෙත කහ කාඩ්පතක් නිකුත් වෙන්නේ පොලිස් කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ප්‍රදානය කරමිනි (19 -10).

දිගු නිහැඬියාවකින් පසු නැවතත් CR කණ්ඩායමේ ආක්‍රමණය තරමක් දැඩි වන්නේ ලකුණු වෙනස ක්‍රම ක්‍රමයෙන් අඩුවන බවක් පෙන්නුම් කරමිනි. CR ඉදිරි පෙළ ක්‍රීඩක හෆීස් ධවල රේඛාව අසල දී පොලිස් දැලට අසුවුව ද, ඔමල්ක වෙත ලැබුණු වාසියෙන් පන්දුව නැවතත් ධවල රේඛාවෙන් එපිටට යන්නේ CR ලකුණු පුවරුව 24ක් දක්වා ඔසවා තබමිනි. තරින්ද ද තම යුතුකම් මැනවින් ඉටු කරන්නේ ප්‍රවර්තනය ද සාර්ථක කරමිනි (26-10).

පළමු අර්ධය: CR & FC 26 – 10  පොලිස්  ක්‍රීඩා සමාජය

දිගින් දිගටම පොලිස් කණ්ඩායම තම ක්‍රීඩා විලාසය වෙනස් කරමින් CR කණ්ඩායමේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරනු දක්නට ලැබුණි. ඒ අවසරයෙන් පැති රේඛාවෙන් පිටත දී ලැබූ වාසියත්, ඉක්මන් තීරණත් නිසාවෙන් නිරෝෂන් සිල්වා පොලිස් කණ්ඩායමේ ලකුණු වෙනස තවත් අඩු කරන්නේ අවශ්‍යම මොහොතේ පොලිසියට තවත් උත්සාහක දිනුමක් දිනා දෙමිනි. එහි ප්‍රවර්තනය සන්දේශ් සාර්ථක කර ගන්නා ලදි (26-17).

ඉන්පසු නැවතත් CR ධවල රේඛාව ආක්‍රමණය කළ පොලිස් ක්‍රීඩකයන් උදාර ගයාන්  පිටියෙන් එපිට තබමින් තවත් උත්සාහක දිනුමකට සන්දේශ් පාර කපා ගන්නේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමිනි (26-24).

අළු මතින් නැඟිටීමට වෙර දරන කන්නංගරයට පිහිටක් වන්න

කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ පුහුණු සහ ක්‍රීඩා උපකරණ කුටිය ගින්නකින් විනාශ වී යාම නිසා එහි තිබූ ක්‍රීඩා උපකරණ…

ප්‍රේක්ෂක ඔල්වරසන් මැද පිටිය ගිඟුම් දෙමින් අවසන් කණිසම පෙනෙන මානයේ දී CR ක්‍රීඩක රෙහාන් සිල්වා තවත් උත්සාහක දිනුමකට හිමිකම් කියූ අතර තරින්දගේ ලකුණු ද්විත්වයත් CR කණ්ඩායමට එක් විය (33-24).

අවසන් මොහොත දක්වාම සටන අත් නොහැරී පොලිස් ක්‍රීඩකයින් විසින් තවත් හඹා යෑමක නිරත වන අතර සන්දේශ් ජයවික්‍රම තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ එහි ප්‍රවර්තනය ද පොලිස් කණ්ඩායම ඉදිරියේ සටහන් කර ගනිමිනි. ඒත් සමඟින් විනිසුරුතුමා නලාව නාද කරන්නේ තියුණු තරගයකින් ලකුණු දෙකක වෙනසක් සහිතව CR වෙත ජයග්‍රහණය හිමි කර දෙමිනි (33-31).

අවසන් ලකුණු තත්වය: CR & FC 33 (5T, 4C) – 31 (4T, 3C, 1P) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සන්දේශ් ජයවික්‍රම (පොලිස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CR & FC – ඔමල්ක ගුණරත්න 2T, කවිඳු පෙරේරා 1, උදාර ගයාන් 1, රීසා රෆයිඩීන් 1T, තරින්ද රත්වත්තේ 4C
  • පොලිස් ක්‍රීඩා සමාජය – නිරෝෂන් සිල්වා 1T, සන්දේශ් ජයවික්‍රම 2T, 3C, 1P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට