ඔහුගේ සිරුර පෙර මෙන් සවිමත් නැත. ආබාධ හේතුවෙන් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි කාලයේ සිරුරට එක්වූ තරබාරු ගතිය තවමත් පහව ගොස් නැත. නමුත් කවදත් සටන අත් හැරීමේ පුරුද්දක්ද නොමැති ලසිත් මාලිංග පාකිස්තානු 8 වන කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට ගත් ප්‍රබල උත්සාහය, තම ශරීරය සීමාන්තය දක්වාම වෙහෙසට පත් කළ ආකාරය අපි දුටිමු.

ඉන්දියාවට එරෙහිව කලකට අමතක නොවන ජයග්‍රහණයක් වෙත පිත්ත මෙහෙය වූ නමුත්, තීරණාත්මක තරගයේ දී පිත්තෙන් බලාපොරොත්තු වූ තරම් දායකත්වයක් ලබා දෙන්නට ඔහුට නොහැකි විය. නමුත් විවේචන මැදින් තම නායකත්ව ගුණාංග මනාව පෙන්නුම් කළ ඇන්ජලෝ මැතිව්ස් අත තබන සියල්ලක්ම රත්තරන් බවට පත් වූ විටෙක තරග ජයග්‍රහණය පෙනෙන මානයට ශ්‍රී ලංකාව ලඟා විය.

මේ ක්‍රීඩකයන්ට මොකද වුණේ ?

වරෙක ක්‍රිකට් කරළියේ නැගී එන තරු ලෙස මෙරට ක්‍රීඩාලෝලීන්ගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වූ නමුත්..

තීරණාත්මක උඩ පන්දු තුනක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අතැඟිලි අතරින් ලිස්සා ගියේ ශූරයින්ගේ කුසලාන බලාපොරොත්තුව ද සමඟින් බව සැබෑව. නමුත් එම පන්දු රකින්නන් තිදෙනාම ශ්‍රී ලංකා ජයග්‍රහණ සඳහා මෙම තරගාවලිය තුල දී මෙන්ම මීට පෙර ද විශාල දායකත්වයන් සැපයු ක්‍රීඩකයන් බව අමතක කළ හැකි ද?

කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය වූයේ කුමක් ද? යලිත් වරක් අත පොවන මානයේ තිබූ ජයග්‍රහණ දෙකක් (දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමඟ) අහිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සිය රට බලා පැමිණීමයි.

1996 ලෝක කුසලාන ජයග්‍රහණය වනතුරුම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයන්ට ක්‍රීඩාවට අමතරව තවත් වෘත්තියක නිරත වීමට සිදුව තිබුණේ එවක වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් යන යෙදුම මෙරටට එතරම් හුරු නොවීම හේතුවෙනුයි. කෙසේ වෙතත් අප දැන් සිටින්නේ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම ම හොඳ මට්ටමේ දිවි පෙව‍ෙතක් ගත කිරීමට හැකි වෘත්තියක් වන අවධියකයි. එබැවින් වෘත්තිකයන් වන ක්‍රීඩකයන් අතින් සිදු වන අතපසුවීම් කෙතරම් දුරට සාධාරණීකරණය කළ හැකි ද? සැබවින්ම මිනිසා යනු යන්ත්‍රයක් නොවන බැවින් අතපසුවීම් විය හැකිය.

වෛද්‍යවරයා වෘත්තිකයෙකි, ඔහුගේ අතපසුවීමකින් රෝගියෙකු මිය ගිය හොත්, එය කෙතරම් දුරට සාධාරණීකරණය කිරීමට අප සූදානම් ද? ගුවන් නියමුවා වෘත්තිකයෙකි, ඔහුට අතපසුවීමක් වුවහොත් සිදුවන්නේ කුමක් ද? ගුවන් නියමුවකු අත ජීවිත සිය ගණනක් රැඳී තිබිය දී අප ආදරණීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත ක්‍රීඩාලෝලී හදවත් ලක්ෂ ගණනක් රැඳී පවතියි. මෙවන් සුළු අතපසුවීම් නිසා සදහටම නැවතුනු හදවත් පිළිබඳව ද අප ඕනෑ තරම් අසා ඇත. දැන් වෘත්තීය ක්‍රීඩකයන්ගේ අතපසුවීම් කෙතරම් දුරට සාධාරණීකරණය කළ හැකි ද?

නවතින්න. ක්‍රීඩකයන් හට දොස් පැවරීමට පෙර ඔබට අමතක වූ තවත් වෘත්තිකයන් කොට්ඨාසයක් සිටියි.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කළ පරිදි නිල වශයෙන් පමණක් පුහුණු සහ සහාය කාර්ය මණ්ඩලය ලෙස 9 දෙනෙකුගෙන් යුතු පිරිසක් බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ. ප්‍රධාන වේගපන්දු උපදේශන පන්දු රැකීමේ ලෙස පුහුණුකරුවන් තිදෙනෙක්, කළමනාකරුවන් දෙදෙනෙක් (ඔවුන් දෙදෙනෙක්!) මෙන්ම දත්ත විශ්ලේෂකවරයෙකු ද ඒ අතර වෙයි.

ශූරයින්ගේ කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් ද?

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (01) එංගලන්තයේ දී සහ වේල්ස් හිදී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා..

ඉතින් මෙම පිරිසට පැවරී තිබුණු වගකීම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මදක් විමසා බලමු. ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලාන තරගාවලිය ජය ගත්තේ කළමනාකරුවන් දෙදෙනෙක් සමඟ නම් නොවේ. එම ජයග්‍රහණයෙන් මේ වන විට දශක දෙකකුත් ගෙවී අවසන් බැවින් සහ මෑත කාලීනව ක්‍රීඩාවේ සිදු වූ වෙනස් කම් හේතුවෙන් එම ජයග්‍රහණය පිළිබඳ නොසලකා හරිමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලද අනෙක් ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ 2014 ලෝක කුසලාන පන්දු වාර 20 ශූරතාවයි. බංග්ලාදේශයේ පැවති එම තරගාවලියේ දී කණ්ඩායම් කළමනාකරු මෙන්ම අනෙක් කණ්ඩායම්වල මාධ්‍ය කළමනාකරු විසින් ඉටු කරන රාජකාරි ඉටු කිරීමට ද සිටියේ තනි පුද්ගලයෙකි.

2014 වසරේ සිට ගෙවුණු වසර 3 තුළ කළමනාකරුවකු සතු රාජකාරි තරමකින් හෝ වර්ධනය වූයේ යැයි සිතමු. එසේ නම් ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා ගත් අසංක ගුරුසිංහ සහ රංජිත් ප්‍රනාන්දු වැනි වසර ගණනාවක අත්දැකීම් සහිත කළමනාකරුවෙකු අතින් එම වගකීම් උවමනාවටත් වඩා වැඩියෙන් සාර්ථක කර ගත හැකිවිය යුතුව තිබුණි.

සිදුවීම් කිහිපයක් පමණක් සලකා බලමු. පාකිස්තානය සමඟ පැවති තීරණාත්මක තරගය සඳහා ආබාධයකට ලක්වූ කුසල් ජනිත් වෙනුවට සංචිතයට කැඳවුයේ යොවුන් පිතිකරු ධනංජය ද සිල්වායි. කොළඹ නගරයේ සෙල්සියස් අංශක 30ක් පමණ දැඩි උණුසුම් කාලගුණයක සිට පැමිණි ඔහුට අංශක 15ක් පමණ වූ සීතල කාඩිෆ් පිටියට පිවිසීම සඳහා සූදානම් වීමට තිබුණේ පැය 48කටත් අඩු කාලයකි. ඔහුගේ සූදානම් නොමැති බව මනාව පෙන්නුම් කරමින් ධනංජය එක ලකුණකට දැවී ගියේ ඔහුව බ්‍රිතාන්‍ය වෙත ගෙන්වා ගැනීමට දැරූ වියදමේ අගය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ද පලුදු කරමිනුයි. වරද වෘත්තීය ක්‍රීඩකයකු වූ ධනංජය අත ද?

මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවකු වන අසංක ගුරුසිංහ මහතා පැවසුවේ මෙවැන්නක්.



‘කුසල් ජනිත් ආබාධයකට ලක් වීමත්, අසේල ගුණරත්න කිරීම අවිනිශ්චිත තත්ත්වයක පැවතීමත් හේතුවෙන් පිතිකරුව‍ෙකු අවශ්‍ය වීම ධනංජය මේ තරගය සඳහා යොදා ගැනීමට හේතුවයි” ගුරුසිංහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කල් තියාම එංගලන්තය බලා පිටත්ව ගියේ එහි දේශගුණයට හැඩගැසීම සඳහා තරමක කාලයක් අවශ්‍ය බව පවසමිනුයි. ඒ නිසාවෙන්ම සංචිතයේ 15 දෙනාට අමතරව ධනුෂ්ක ගුණතිලක සහ දිල්රුවන් පෙරේරා ද අමතර ක්‍රීඩකයන් ලෙස එංගලන්තයට යැවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරන  ලදි. එය ඉතා ඥානාන්විත ක්‍රියාවක් බවට තහවුරු වුණේ චාමර කපුගෙදරගේ ආබාධයත් සමඟ ධනුෂ්ක කණ්ඩායමට කැඳවීමට හැකි වීම හේතුවෙනුයි.

නමුත් මෙතරම් දුර දිග බලා සැලසුම් කර දොවා ගත් කිරි කලයට ගොම බින්දුවක් දැමුවේ කවුද? කණ්ඩායම සමඟ සිටි නිල වශයෙන් 9ක් වූ බලධාරීන්ට අමතක වූ කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැක.

+ කොළඹ සහ කාඩිෆ් අතර උෂ්ණත්වයේ වෙනස සෙල්සියස් අංශක 15 ක් පමණ වේ. එනම් කෙත්තාරාම ක්‍රීඩාංගණයට පය තබද්දීම ක්‍රීඩකයෙකු දහදියෙන් නැහැවී යන අතර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයට පිවිසිය යුත්තේ සීත ඇඳුම් පොරවාගෙනය.

+ කොළඹ සිට බ්‍රිතාන්‍ය බලා පැමිණීමට පැය 10ක් පමණ ගත වන අතර පැය හතර හමාරක වේලා කලාප (Time Zone) පසු කළ යුතු වේ. වේලා කලාප රැසක් පසු කරමින් දීර්ඝ ගුවන් ගමනක යෙදීමෙන් පසු ඇති වන සංකූලතාවයෙන් (Jet Lag) මිදීමට හොඳ විවේකයක් අවශ්‍ය වන අතර එය නොලැබීම නිසා ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වය සහ පාලනය අඩාළ වේ.  

+ නිසි පරිදි ක්‍රියාකාරීත්වයට පත් නොවූ ක්‍රීඩකයෙකු සහ ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෙකු අතර ඇත්තේ ඉතා සුළු වෙනසකි.

ක්‍රීඩාව පිළිබඳ විශේෂඥ දැනුමැති බොහෝ පිරිසක් සිටිය ද අසේල ගුණරත්න හට තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ද ඔවුන් තීරණය කරන්නේ බ්‍රිතාන්‍ය පරිසරයට මුළුමනින්ම හැඩ නොගැසුණු පිතිකරුව‍ෙකු ක්‍රීඩා කරවීමටයි.

තරගාවලිය සඳහා කණ්ඩායම නම් කිරීමෙන් අනතුරුව සංචිතයේ සිටින තුරුම්පු ආසියා ලෙස හඳුන්වනු ලැබූ ලක්ෂාන් සඳකැන් තරග තුනම බංකුවට වී සිටි නමුත් කළමනාකරු පැවසුවේ බ්‍රිතාන්‍ය තණතීරු දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය නොවූ නිසා ඔහු භාවිතා නොකළ බවයි.

ඉම්රාන් තහීර්, රවීන්ද්‍ර ජඩේජා, කේදාර් ජාදෙව්, ශාදබ් ඛාන් ඇතුළු දඟ පන්දු යවන්නන් කඩුලු අතර හෝ සාර්ථක ලකුණු ලබා දීමේ වේගයක් රඳවා ගන්නට සමත්ව සිටින නමුත් පළමු තරග දෙක සඳහා මෙම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට තීරණය කළ ද, තුන් වන තරගයේ දී සූදානම් නැති පිතිකරුවෙකු වෙනුවට අපට ඉතිරි වී තිබෙන ශක්තිය යොදා නොගැනීම හාස්‍යජනකය. පාකිස්තානය එම තරගයේ දී යොදා ගත් දඟ පන්දු යවන්නන් වූ ඉමාඩ් වසීම් සහ මොහොමඩ් හෆීස් හමුවේ ලකුණු රැස් කිරීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉතා අසීරු විය.



තවද ගුරුසිංහ පවසන පරිදි තණතීරු දඟ පන්දුවට යෝග්‍ය නොවී නම් පළමු ආබාධයෙන් සහ තරංගට පැනවුණු තහනමින් පසු තවත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිතිකරුවෙකු ගෙන්වා ගැනීමට ඔහුට හැකි නොවුනේ මන්ද? ඉතිරිව සිටි අනෙක් අතිරේක ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ද පිත්තෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති ක්‍රීඩකයෙකු බවද අමතක නොකළ යුතුය.

මේ සියල්ල තරගය පැරදුණු පසු ඕනෑම කෙනෙකුට කිව හැකි දේවල් හෝ අනාවැකි ලෙස සලකා ඉවත දමමු. ක්‍රීඩකයින්  දෙදෙනෙකු ආබාධයට ලක්වූ පමණින්ම කණ්ඩායමක් මෙතරම් අසරණ වීමට හැකි ද? දෙදෙනෙකු පමණක් නොවේ තුන්වන ක්‍රීඩකයෙකු ද නරඹන්නෙකු පමණක් බවට පත්ව සිටින ලදි. පළමු තරගයේ නායක උපුල් තරංග. ඔහුට වුනේ කුමක් ද?



පළමු තරගයේ දී අතිශයින් අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් ඔහුට තරග දෙකක තහනමක් පැනවී තිබුණි.

”විනිසුරුවන් 7 පාරක් තරංගට අනතුරු ඇඟවීම් කළා. අපි දිගින් දිගටම පණිවිඩ යැවුවා. නමුත් අවාසනාවකට එය නිවැරදි කර ගන්නට හැකිවුණේ නැහැ”  කළමනාකරු (ව‍ෙකු වන) අසංක ගුරුසිංහ එම සිදුවීම පිළිබඳ මතක් කරන්නේ එලෙසින්.

විශිෂ්ටයි. ගුරුසිංහ කියන පරිද්දෙන්ම නායකයෙකුට පිටිය මැද දී කරන්නට, සිතන්නට බොහෝ දේ තිබේ. නමුත් මෙම පන්දු වාර වේගය රඳවා නොගතහොත් ඉදිරි තරග සඳහා තරංගගේ සේවය අහිමි වන බව දැන දැනම කළමනාකරුවන්ට එය නිවැරදි කිරීමට මාර්ගයක් සොයා ගැනීමට හැකි වූයේ නැති ද? ඔවුන් ලක්ෂ ගණනින් වැටුප් ලබන්නේ මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ සිදු කිරීමට ද?

ආබාධ වළක්වා ගැනීමට නොහැකි වුවත්, තරංග කණ්ඩායමේ සිටියා නම් ඉන් ඇති වන බලපෑම අතිශයින් අවම කර ගැනීමේ හැකියාවක් තිබුණි. කලබල විය යුතු නැත කළමනාකරුවන් දෙදෙනාටම අනෙකාට ඇඟිල්ල දිගු කර අත පිහදා ගැනීමේ හැකියාව පවතී.

සිංහ කඳවුරේ දකුණත් පා-දඟයෝ

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ ක්‍රමවේදයන් අතුරින් වඩාත්ම දුර්ලභ රටාවක් ලෙස සැලකෙන්නේ දකුණත් පා දඟ පන්දුවයි…

2012 වසරේ ශ්‍රී ලංකාව අනුශූරයන් වූ ලෝක කුසලාන පන්දු වාර 20 තරගාවලිය කළමනාකරුවකුගේ වගකීම පිළිබඳ උදාහරණයක් සැපයීම සඳහා භාවිත කළ හැකිය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ අවසන් තරගය පැවැත්වුනේ එංගලන්තය සමඟයි. කණ්ඩායමේ නායකයා මහේල ජයවර්ධන වූ අතර උප නායකත්වය පැවරී තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් හටයි. සියල්ලන් විමතියට පත් කරමින් මේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සඳහා ශ්‍රී ලංකා නායකයා ලෙස කුමාර් සංගක්කාර පිටියට පිවිසුණි. මහේල සහ මැතිව්ස් දෙදෙනාම ආබාධයන්ට ලක්වීද? නැත ඔවුන් දෙදෙනාටම පසුගිය වසරක කාලය තුල අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් අවවාද ලැබී තිබුණි. එබැවින් තීරණාත්මක තරගාවලියක් තුල තරග තහනමකින් ගැලවීම සඳහා යොදා ගත් උපක්‍රමය වූයේ නාමික නායකත්වයක් කුමාර් සංගක්කාරට පැවරීමයි. එම තීරණය ගැනීමට, එවක කණ්ඩායම් කළමනාකරු ICC නීති රීති සහ චර්යා ධර්ම පද්ධති අධ්‍යනය කරමින් මූලිකත්වය ගත් බව පසුව මහේල හෙළිදරව් කරන ලදි.

ඒ සියල්ල අතීතයට එක්වී හමාරය. කළමනාකරුවන් දෙදෙනෙකු සහිත ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණ සිටියි. මාලිංග හෙටත් සිය තරබාරු ශරීරය සීමාන්තය දක්වාම වෙහෙසමින් තවත් වේගවත් පන්දුවක් යවන්නට උත්සාහ දරනු ඇත. පාදයේ ආබාධය සමඟින් මෙන්ම ප්‍රතිවාදීන් සමඟ ද මැතිව්ස් තවදුරටත් සටන් වදිනු ඇත. ක්‍රීඩාලෝලීන් සියලු දෙනා දුක් වූවාට වැඩියෙන් තමන් අතින් ගිලිහී ගිය උඩපන්දු පිළිබඳ සිත් තැවුල් ඇති කර ගත් තිසර, සීක්කු සහ ධනුෂ්ක තම අඩුපාඩු මඟ හරවා ගැනීමට හෙට දිනයේ දී තවත් වෙහෙස වනු ඇත, කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ වෘත්තිකත්වයට එහා ගිය දහදිය කඳුළු ක්‍රීඩකයන්ගේ ම වෙහෙස මත වැටුප් ලබන තවත් වෘත්තිකයන් පිරිසකගේ නිස්සාරභාවය මත තවදුරටත් වියළී යන්නේ නම් මෙරට ක්‍රිකට්ලෝලීන්ගේ බලාපොරොත්තු ද තවදුරටත් වියළී සුළඟේ පාවී යනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<