“පදක්කම් 5ක් බලාපොරොත්තු වෙනවා” – මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති

230
Mr Samankumara Gunawardhane

22 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය කෙමෙන් ළංවෙද්දී ඊට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා වන මූලික තරග, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (01) ඇරඹිණි.

ඒ සම්බන්ධව සහ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය ගැන අදහස් විමසීමට, මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති සමන්කුමාර ගුණවර්ධන මහතා ThePapare.com හා සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15-20ක් අතර ප්‍රමාණයක් සම්බන්ධ කරවීම මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිවරයාගේ අරමුණ යි.

“වර්ෂාවෙන් අපට පොඩි බාධාවක් තියෙනවා. ඒත් තරග කල් දමන්නත් බැහැ, තරගාවලියට අයදුම්පත් යොමු කළ යුතු නිසා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15ක් 20ක් වගේ ඉදිරිපත් කරන්න.”

පසුගිය තරගාවලියේ දී එක් ලෝකඩ පදක්කමකින් පමණක් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර මෙවර ඒ තත්වය වෙනස් කර ගැනීම ද තේරීම් කමිටුවේ අරමුණකි.

“මේපාර පදක්කම් 5ක් වත් අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරිපෙළ ඉන්න ක්‍රීඩකයන් අතරින් හිමාෂ (හිමාෂ ඒෂාන්) සහ උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර මෙම තරගවලට සහභාගී වෙන්නේ නෑ.”

හිමාෂ ඒෂාන් පුහුණුවීමක් සඳහා ඉතාලිය බලා පිටත්වන අතර මංජුල කුමාර අසනීප තත්වයෙන් පසුවන බවද අපට දැන ගන්නට ලැබුණි. කෙසේ වෙතත් මේ මස අග දී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වෙමින් තම දක්ෂතා තහවුරු කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ.

“මෙවර තරගාවලියේ විශේෂත්වයක් තිබෙනවා. මොකද, මෙය පැවැත්වෙන්නේ ඉන්දියාවේ. දේශගුණය, කාලගුණය වගේ දේවල් අපට හුරුයි. ඒ නිසා අපි අපේ ක්‍රීඩකයන්ගෙන් විශේෂ දක්ෂතා බලාපොරොත්තු වෙනවා.” ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

මීටර 800 ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දෙකවන නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේසිංහ ගැන මෙවර විශේෂ බව තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේය. මින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් නිමාලි විශේෂ වේ.

“මීටර 800 ඉසව්වෙන් අපට නිමාලි සහ ගයන්තිකා ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඔවුන් දෙදෙනාම හොඳින් තරග කරලා පදක්කම් ගෙනේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා “ ගුණවර්ධන මහතා කීවේය.

හොඳින් තරග කොට තම ස්ථානයන් අත්පත් කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී වැඩි දස්කම් පාන්නට හැකි වේවායි ThePapare.com අපි ප්‍රාර්ථනා කරමු.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට