ශ්‍රී ලංකා ක්‍රිකට් කරළිය බොහෝ අවස්ථාවල දී වේග පන්දු යවන්නන්ගේ හිඟතාවන් අත්දැක තිබේ. කෙසේ වෙතත් ජාතික කණ්ඩායම තුල දිගු ගමනක් යන්නට නොහැකි වූ නමුත් දක්ෂතා වලින් පිරිපුන් වේග පන්දු යවන්නන් රැසක් ද පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. ආබාධ සහ වෙනත් හේතු නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම ඇඟ ලන්නට වැඩි ආයුෂ නොතිබූ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් පිළිබඳ ආවර්ජනයක් මේ.
ලෝකයේ දක්ෂතම ක්‍රිකට් නායකයෝ – 01
සමහර ක්‍රීඩාවලට නායකත්වය වැදගත් වන්නේ මාධ්‍ය හමුවල දී හෝ ප්‍රිය සම්භාෂණයන්හිදී කණ්ඩායම..
තිලාන් තුෂාර
බලපිටිය ප්‍රදේශයෙන් ක්‍රිකට් කරළියට දායාද වූ තිලාන් තුෂාර මිරැන්ඩෝ සිය ස්ථාවර දක්ෂතා මතින් ජාත්‍යන්තර මට්ටමේ අවධානය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයන් අතර ප්‍රධාන තැනක් ගනී. එවක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL) විසින් පාලනය කෙරුණු වේග පන්දු පුහුණු අංශයට අතුළත්ව, ලද පුහුණුවෙන් පසු තේරීම් කමිටුවේ අවධානය තමන් වෙත යොමු කර ගත් තුෂාර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේ 2003 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.
මංගල ටෙස්ට් තරගයේ දී සිය දස්කම් නිසි අයුරින් ප්‍රදර්ශනය කර ගත නොහැකි වීම හේතුවෙන් නැවත වරක් දේශීය ක්‍රිකට් පිටියට සීමා වන්නට තුෂාරට සිදු විය. වසර ගණනක් දේශීය පිටියේ සටන් වැදුණු ඔහු නැවත වරක් ජාතික කණ්ඩායමට පිවිසීමේ වරම් හිමිකර ගත්තේ 2008 වසරේ දී කඳුරට කණ්ඩායම වෙනුවෙන් ප්‍රකට කළ ඉහල දක්ෂතා හේතු කරගෙනයි. තුෂාර නැවත ජාත්‍යන්තර කරළියට පැමිණීමත් සමඟ එතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වමත් වේගපන්දු තුරුම්පුව වූ චමින්ද වාස් ගේ ක්‍රීඩා දිවිය හමාර කරන්නට ද එවක තේරීම් කමිටුව පියවර ගත් අතර ටෙස්ට් සහ එක්දින තරග දෙඅංශයෙන්ම නව පන්දුවේ අයිතිය තහවුරු කර ගන්නට නුවන් කුලසේකර සමඟ එක්වූ තිලාන් තුෂාර සමත් විය.
තුෂාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 38ක දී කඩුලු 50ක් දවාගෙන ඇති අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 47කට කඩුලු 5ක් දවා ගැනීමයි. ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර ඇති ඔහු එහි දී කඩුලු 28ක් බිඳ හෙලා තිබේ. පසු පෙළ පිතිකරුවෙකු ලෙස වේගයෙන් පන්දුවට පහර දීමේ හැකියාව හේතුවෙන් 2009 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ තුෂාරව පසුව එම සංචිතයෙන් නිදහස් කරන ලදි.
දණහිසේ ආබාධයක් හේතුවෙන් සහ දිගින් දිගටම මුහුණ දීමට සිදු වූ මානසික ඇද වැටීම් හේතුවෙන් ක්‍රිකට් දිවියේ පසු බැසීම්වලට ලක්වූ ඔහුගේ අවසන් ටෙස්ට් කඩුල්ල ගාල්ලේ දී කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයක දී වාර්තා වී ඇත. කෙසේ වෙතත් අදටත් බලාපොරොත්තු අත්හැර නොමැති තිලාන් තුෂාර මිරැන්ඩෝ දේශීය තරග සඳහා දැඩි කැපවීමෙන් ක්‍රීඩා කරන්නේ යලිත් වරක් ජාතික කණ්ඩායමට පිවිසීමේ සිහිනය ද සමඟයි.
ප්‍රභාත් නිස්සංක
ඉන්දියාවේ MRF වේග පන්දු ඇකඩමියේ සාර්ථක නිමවුමක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කරළියට පිවිසි ප්‍රභාත් නිස්සංක, ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ වේගපන්දු යවන්නෙකු ලෙස සුදුසුකම් ලැබුවේ පැයට කිලෝමීටර් 140ක වේගයක් මෙන්ම පිතිකරුවන්ට හිසරදයක් විය හැකි ඉපිලීමකින් යුතුව පන්දු යැවීමේ හැකියාවක් ද හිමි ක්‍රීඩකයෙකු වීම හේතුවෙනුයි. 2001/02 තරග වාරයේ දී පළමු වරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැඳවුම් ලැබූ නිස්සංක තම මංගල තරගයේ දී ම සිය හැකියාව ප්‍රදර්ශනය කළේ සාජා ක්‍රීඩාංගණයේ දී පකිස්තානයට එරෙහිව පන්දු වාර 8ක් තුල ලකුණු 24ක් පමණක් ලබා දී කඩුලු 2ක් ද දවා ගනිමිනුයි.
කෙසේ වෙතත් තම කාය ශක්තිය නිසි එල්ලය වෙත පරිවර්තනය කර ගැනීමේ දී ඔහු දැක්වූ දුර්වලතා හේතුවෙන් ඔහු දිගින් දිගටම අසාර්ථක වනන්ට විය. එමෙන්ම වරින් වර මතු වූ ආබාධ මගින් ද ප්‍රභාත්ගේ ක්‍රීඩා දිවියට එල්ල වුනේ සුභවාදී බලපෑමක් නොවේ. අවසානයේ ආබාධ ගොන්නක් හේතුවෙන් ටෙස්ට් තරග 4ක සහ එක්දින ජාත්‍යන්තර තරග 23ක් සමඟින් නොමේරූ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට නැවතීමේ තිත තබන්නට ඔහුට සිදු විය.
අනතුරුව තම හැකියාවෙන් වෙනත් මගකට යොමු වූ ප්‍රභාත් ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වන තෙවන මට්ටමේ පාඨමාලාව හදාරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වුනේ සහාය වේගපන්දු පුහුණුකරුවකු ලෙසිනුයි. මේ වන විට ඔහු ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස සේවය කරමින් සිටියි.
කෞශල්‍ය වීරරත්න
දකුණතින් මද වේග පන්දු යැවීමට සහ වමතින් පන්දුවට පහර දීමට සමත්කම් දක්වන කෞශල්‍ය වීරරත්න වේගයෙන් පන්දුවට පහර දීමට සහ තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයකට හිමිකම් කියන මහනුවර ත්‍රිත්ව විදුහලෙන් ක්‍රීඩාවට අත් පොත් තැබූ ඔහු, ජාතික තේරීම් කමිටුවේ අවධානය දිනා ගත්තේ 2000 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කඩුල්ලකට ලකුණු 13ක සාමාන්‍යයක් සහිතව කඩුලු 12ක් දවා ගනිමිනුයි. එම විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් 2000 වසරේ දී ම බංග්ලාදේශයට එරෙහිව පැවති ආසියානු කුසලාන තරගයක් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම කෞශල්‍ය හට හිමි විය.
ආබාධ සහ සැලකිය යුතු මට්ටමේ දස්කම් නොමැති වීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වූ කෞශල්‍ය හට, තරග 11කින් පසු සිදුවුනේ නැවත දේශීය තරග බිමට පිවිසෙන්නටයි. කෙසේ වෙතත් වසර 5ක් පුරා අන්තර් සමාජ තරගවල දී ඉහළ දස්කම් අතර සිටි ඔහු එම කාල සීමාව තුල පළමු පෙළ ක්‍රිකට් තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව බිඳ හෙලන්නට ද සමත් විය. පන්දු 12කින් කෞශල්‍ය රැස් කළ අර්ධ ශතකයෙන් බිඳ වැටුණේ එංගලන්තයේ ඇඩම් හොලියොක් පිහිටුවා තිබූ වාර්තාවයි.
අඩ දශකයකට පසු යළිත් කණ්ඩායමට සුදුසුකම් ලැබූ කෞශල්‍ය වීරරත්න හට එහි දී සහභාගී වූ තරග 4දී එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වූ අතර විශාල ලකුණු සංඛ්‍යාවක් ප්‍රතිවාදීන් හට ලබා දීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා වෙනත් ආදේශකයක් සොයා ගන්නට තේරීම් කමිටුවට සිදු විය.
එම තීරණයත් සමඟින් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානය සනිටුහන් කරන්නට ද කෞශල්‍යට සිදු වූ අතර, මෙරට ක්‍රිකට් පිටිය අත්හැර ඕස්ට්‍රේලියානු දේශීය තරග සඳහා යොමු වූ ක්‍රීඩකයන් අතරට එක්වන්නට ඔහු කටයුතු කරන ලදි.
සුරේෂ් පෙරේරා
නව සහශ්‍රයේ ආරම්භක සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගෙන සිටි සුරේෂ් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් කරළියෙන් වැඩි කල් ගත වීමට පෙර සමුගත්ත ද, සිය නව වාසස්ථානය වන ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දේශීය තරග බිමේ වැරෙන් පන්දුවට පහර දෙයි.
1996 ලෝක කුසලාන ජයග්රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණමය සමයේ දී නැගී නැගී එන ක්‍රීඩකයෙකු ලෙස විශාල අවධානයක් දිනා ගෙන සිටි සුරේෂ් පිළිබඳ බොහෝ දෙනා අනාවැකි පළ කළේ අර්ජුන, අරවින්ද යුගයෙන් පසු එම අඩිපාරේම ගමන් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙසයි.
සුරේෂ් පෙරේරා පිළිබඳ ඉතා ඉහළ බලාපොරොත්තු තබා සිටි පුද්ගලයෙකු ලෙස එවක පුහුණුකරු ඩේව් වට්මෝර් හැඳින්විය හැකි අතර වට්මෝර් විශ්වාස කළේ සුරේෂ් ස්ථීර වශයෙන්ම කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් වෙන් කර ගනු බවයි. 1998 වසරේ දී එංගලන්තයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ඔහු පැහැබර අනාගතයක පෙර නිමිති පහළ කරන්නට සමත් වුවද ඔහුගේ ජාත්‍යන්තර තරග දිවිය ටෙස්ට් තරග 3කට සහ තරග 20කට සීමා විය. එසේ නොවන්නට ඔහු ද ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවට පත් වන්නට බොහෝ ඉඩකඩ තිබුණි.
නුවන් සොයිසා
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා බවට පත් වීමේ විභවයකින් සමන්විත ක්‍රීඩකයෙකු වූ නුවන් සොයිසා හට ද ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය නොසිතු තරම් කෙටි කර ගැනීමට සිදු වුනේ ආබාධ සහ ස්ථාවර නොවූ දස්කම් හේතුවෙනුයි.
අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ 1997 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කරළියට පිවිසි ඔහු, නවසීලන්තයට එරෙහිව ඩනේඩින් හීදී ටෙස්ට් වරම් දිනා ගත්ත ද එහි දී එතරම් ඉහළ දස්කම් දක්වන්නට අසමත් විය.
ඉතා උස සිරුරකින් සහ මනා ශක්තියකින් හෙබි නුවන් තම එක්දින දිවියේ නොමැකෙන මතක සටහනක් තැබුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ හීදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමිනුයි. එක්දින තරග සඳහා වඩාත් උචිත යැයි ඇතැමෙක් විශ්වාස කළ නුවන්ගේ විශිෂ්ටතම දස්කමක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගයක දී ලකුණු 26කට කඩුලු 5ක් දවා ගැනීම සටහන් කළ හැක.
දණහිසේ මතු වූ දරුණු ආබාධයක් හේතුවෙන් ඔහුගේ තරග දිවියේ ඉදිරි ගමනට බාධා එල්ල වූ අතර 2006 වසරේ එංගලන්ත තරග සංචාරය සඳහා සංචිතයට කැඳවුම් ලැබූ නුවන් හට එකදු තරගයක් හෝ නොලැබුණි. 2010 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කෙරුණු මූලික සංචිතයට ඇතුළත් වීමත්, 2008 IPL තරගාවලියේ දී ඩෙකන් චාජර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තරග කිහිපයත් හැරුණු විට ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ගමනේ වෙනත් සන්ධිස්ථානයක් පසු කාලීනව දක්නට නොලැබුනි.
නුවන් සොයිසා මේ වන විට වේග පන්දු පුහුණුකරුවකු ලෙස තම සේවය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙයි.
චානක වෙලගෙදර
සිය පරමාදර්ශී චරිතය වූ චමින්ද වාස් අනුව යමින් පිට ඉන්න කෙලින් සාර්ථක එල්ලයකට පන්දු යැවීමටත් දකුණත් පිතිකරුවන් තුලට පන්දුව දෝලනය කිරීමටත් සමත්කම් දක්වන චානක වෙලගෙදර මනා සිරුරකින් සහ වේග පන්දුවට උචිත උසකින් සමන්විත කඩිසර පන්දු යවන්නෙකි. වයස අවුරුදු 17ක් වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් නොදැක්වූ ඔහු පමා වී ආරම්භ කළ තම ක්‍රිකට් දිවිය තුල ඉක්මන් ප්‍රතිඵල අත් විඳින්නට සමත් විය.
2002 වසරේ මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් පළමු පෙළ තරග සඳහා පිවිසි ඔහු 2002 – 2003 තරග සමයේ 24.14ක සාමාන්‍යයක් සමඟ කඩුලු 34ක් දවා ගන්නට චානක සමත් වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් වැඩි කල් ගත වීමට මත්තෙන් ශ්‍රී ලංකා ‘ඒ” කණ්ඩායමේ ස්ථානයක් ද වෙන් කර ගන්නා ලදි. කෙසේ වෙතත් පාදයේ වළලු කර ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දී ශල්‍යකර්මයකට පවා මුහුණ දුන් ඔහුට 2003/04 තරග සමයේ වැඩි කොටසක් අහිමි විය. පසුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දස්කම් පදනම් කර ගනිමින් 2008 වසරේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා නම් කරනු ලදුව 2009 අවසන් භාගයේ දී ඉන්දීය සංචාරය තුල දී කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට චානකට වරම් ලැබුණි.
චානක වෙලගෙදර ටෙස්ට් ක්‍රිකට් තරග 21ක දී කඩුලු 55ක් දවා ගෙන ඇති අතර එක්දින තරග 10ක දී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 15ක්. 2009 වසරේ ඉන්දියාවට එරෙහිව රාජ්කොට් හීදී එක්දින වරම් ලැබීමෙන් පසු චානක හට වරින් වර එක්දින කණ්ඩායම තුළටත් ඉන් පිටතටත් විසිවීමට සිදු වීම හේතුවෙන් කිසි දිනෙක එක්දින පිටියේ ස්ථාවර වන්නට ඉඩක් ලැබුණේ නැත.
චානක වෙලගෙදර මේ වන විට ඕස්ට්‍රේලියානු දේශීය තරග වලට සහභාගී වීම සඳහා එරට පදිංචියට ගොස් සිටියි.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න