19න් පහළ කණ්ඩායමේ සුක්කානම අවිශ්ක ප්‍රනාන්දුට

3544
Avishka Fernando

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දකුණත් පිතිකරු‍වෙකු වන අවිශ්ක ප්‍රනාන්දුට එළබෙන දකුණු අප්‍රිකානු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය ලිපි: දකුණු අප්‍රිකානුවන් තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගනියි

අවිශ්ක ප්‍රනාන්දු තම පළමු අන්තර්ජාතික තරඟය පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එදිරිව රංගිරි දඹුලු පිටියේදී මුහුණදුන් අතර, ඔහු A කණ්ඩායමේ මංගල තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එදිරිව තරඟ වදින ලදි. අවිශ්ක එංගලන්ත තරගාවලිය තුල ශතක දෙකක් ලබාගෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය ලබාදීමට විශාල දායකත්වයක් ලබාදීම නිසාවෙන් ශ්‍රී ලංකා ජාතික සංචිතය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදී.

16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් සඳහා මේ මස 8 වැනිදා (ඉරිදා) දිවයිනෙන් පිටත්ව යන අතර, එහි පළමු තරගාවලිය තුන්කොන් තරගාවලියක් ලෙස දකුණු අප්‍රිකානු හා සිම්බාබ්වේ කණ්ඩායම් සමඟින් පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට පසුව තවත් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා තරුණයෝ සිම්බාබ්වේ දේශයට යෑමට නියමිතව ඇත.

පසුගිය දා නිමාවූ තරුණ ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වූ සංචිතයම සුළු වෙනස්කම් ඇතිව මීට නම්කර ඇති අතර, එහි නායකත්වය දැරූ රිච්මන්ඩ් විද්‍යාලයේ කමිදු මෙන්ඩිස් එළබෙන තරගාවලියේ දී උපනායකයා ලෙස පත්කර ඇත්තේ ක්‍රිකට් ඉතිහාසයේ නායකත්වය දැරූ අයෙකු උපනායකයෙකු වූ පළමු අවස්ථාව මෙය බවට පත් කරමිනි. මෙම තරගාවලිය 2018 වර්ෂයේදී පැවැත්වෙන ලෝක කුසලාන යොවුන් තරගාවලිය සඳහා විශාල පිටුවහලක් වනු ඇත.

ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු වන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායක මිශේන් සිල්වා ද මෙම සංචිතය සදහා නම්කර ඇති අතර, ඔහු පානදුර ක්‍රීඩා සමාජයේ ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහුට අමතරව ඉසිපතන විද්‍යාලයේ හා කළුතර භෞතික සංස්කෘතික සමාජයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද මෙම 16 දෙනාට ඇතුළත්ය. මිශේන් මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ වැඩිම ලකුණු ලාභින්ගේ දෙවන ස්ථානයේ රැදෙමින් ලකුණු 382ක් ලබාගෙන ඇති අතර, එයට අර්ධ ශතක 3ක් හා එක් ශතකයක් අන්තර්ගතව ඇත. පැතුම් තෙවන ස්ථානයේ සිටිමින් තරඟ 4 කදී ලකුණු 337ක් ලබාගෙන සිටියි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් අතුරෙන් ඉදිරියෙන්ම සිටින සම්මු අශාන් පසුගිය දා එස්.එස්.සී සමාජය වෙනුවෙන් තම මංගල තරඟයට සහභාගි වූ අතර ඔහු ද මෙම සංචිතයේ ඉඩකඩ වෙන්කර ගැනීමට සමත්ව ඇති අතර, සාන්ත පීතර විද්‍යාලයේ වේග පන්දු යවන ක්‍රීඩක මනෙල්කාර් ද සිල්වා ද පළමු වරට යොවුන් සංචිතය සඳහා නම්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් සංචිතය නම්කර ඇතත් තවමත් තරඟ කාලසටහන නිලවශයෙන් නම්කර නොමැත.

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය

  • අවිශ්ක ප්‍රනාන්දු (නායක) – සාන්ත සෙබස්තියන් විද්‍යාලය / කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
  • කමිදු මෙන්ඩිස් (උප නායක) – රිච්මන්ඩ් විද්‍යාලය
  • සම්මු අශාන් – ආනන්ද විද්‍යාලය / එස්.එස්.සී
  • අශේන් බණ්ඩාර – සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • ජෙහාන් ඩැනියල් – සාන්ත ජෝශප් විද්‍යාලය
  • මිශේන් සිල්වා – සාන්ත සෙබස්තියන් විද්‍යාලය /පානදුර ක්‍රීඩා සමාජය
  • මනෙල්කාර් ද සිල්වා – සාන්ත පීතර විද්‍යාලය
  • පැතුම් නිස්සංක – ඉසිපතන විද්‍යාලය / කළුතර භෞතික ක්‍රිකට් සමාජය
  • විශ්ව චතුරංග – වේල්ස් කුමර විද්‍යාලය / ගාල්ල ක්‍රිකට් සමාජය
  • රෙවාන් කෙලී – සාන්ත ජෝශප් විද්‍යාලය
  • හසිත බෝයගොඩ – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රිශාන් සංජුල – ද මැසනොඩ් විද්‍යාලය
  • ප්‍රවීන් ජයවික්‍රම – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • හරීන් බුද්ධිල – සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • තිසරු රශ්මික ඩිල්ශාන් – ත්‍රිත්ව විද්‍යාලය
  • නිපුන් රංසික – පී.ද.එස් කුලරත්න විද්‍යාලය  

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට