ප්‍රථම ටෙස්ට් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානුවන්ට

335
Sri Lanka vSouth Africa 1st Tet match Day 5
AFP

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් දකුණු අප්‍රිකානු සංචාරයේ ප්‍රථම ටෙස්ට් තරගය පිලිබඳ තබා තිබූ සියලු බලාපොරොත්තු බොඳ කරමින් අද (30) දකුණු අප්‍රිකානුවන් පෝට් එළිසබෙත් හිදී පැවැත්වුනු ප්‍රථම ටෙස්ට් තරගයෙන් ලකුණු 206ක ජයග්‍රහණයක් ලැබීමට සමත් විය. නමුත් තමන්ට නුපුරුදු තණතීරු මතදී දකුණු අප්‍රිකානුවන් වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා පිළ දැක්වූ දක්ෂතා නිසා ඉදිරි තරග පිලිබඳ යම් තරමක බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකිව තිබේ.

පසුගිය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළත් ඔවුන් සිතූ තරම් පහසුවෙන් ලකුණු එකතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ස්ටීවන් කුක් ලබාගත් ලකුණු 59 සහ ජේ. පී. ඩුමිනි ලබාගත් ලකුණු 63 නිසා දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිම ලකුණු 286ක් වැනි මධ්‍යස්ථ ලකුණු සංඛ්‍යාවක් කරා ඇදී ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ සුරංග ලක්මාල් ලකුණු 63ට කඩුලු 5ක් බිඳ හෙලීය.

පන්දුවෙන් ශ්‍රී ලංකා පිළ යම් ඉදිරියක් ලබාගත් එම මොහොතේ පිතිකරුවන්ගේ වගකීම බවට පත්ව තිබුනේ කෙසේ හෝ දකුණු අප්‍රිකානුවන්ට අභියෝගයක් වියහැකි ආකාරයේ ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 205කට සීමාවූයේ තරගයේ වාසිය නැවතත් දකුණු අප්‍රිකානුවන්ට තිලිණ කර දෙමිනි. ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කල වර්නන් ෆිලැන්ඩර් ලකුණු 45කට කඩුලු 5ක් බිඳ හෙලීය. බිඳ වැටුනු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය සිල්වා ලකුණු 43ක් රැස් කලේය.

සිව්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්වයක

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට…

ප්‍රථම ඉනිමේ ලකුණු 81ක වාසියක් සමගින් පිටියට පිවිසුණු දකුණු අප්‍රිකානුවන් ප්‍රථම ඉනිමේදී සිදුවූ වැරදිද නිවැරදි කර ගනිමින් කඩුලු 6කට ලකුණු 406ක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට සමත් විය. දකුණු අප්‍රිකානු ඉනිමට සුපිරි සවියක් වූ නවක ටෙස්ට් ක්‍රීඩක ස්ටීවන් තම කෙටි ටෙස්ට් දිවියේ තෙවන ශතකය ලෙස ලකුණු 117ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් අන්තර්ගත විය.

ලකුණු 488ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් තම දෙවැනි ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 281ක් පමණි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙවැනි ඉනිමේදී හොඳ අත්තිවාරමක් දමා දුන් නමුත් ශ්‍රී ලංකා ඉනිමේ කිසිම පිතිකරුවෙකුට ශතකයක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොහැකි වීම ශ්‍රී ලංකාවට පරාජය වැළඳ ගැනීමට හේතුවක් බවට පත්විය. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් අද දිවා විවේකයටත් ප්‍රථම ශ්‍රී ලංකා ඉනිම බිඳ දමමින් ලකුණු 206ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට සමත් විය. ප්‍රථම ඉනිමේ අර්ධ ශතකයක් සහ දෙවැනි ඉනිමේ ශතකයක් වාර්තා කරමින් සුපිරි පිතිකරණයක නිරත වුනු ස්ටීවන් කුක් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දකුණු අප්‍රිකානුවන් සමග තරග වැදුනු ආකාරය සළකා බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ධනාත්මක මෙන්ම සෘණාත්මක සාධක කිහිපයක්ම දක්නට ලැබුණි. ආබාධයකට ලක්ව සිටින ධම්මික ප්‍රසාද්ගේ සහභාගීත්වය ද නොමැතිව ප්‍රබල පිතිකරුවන් රැසකින් සමන්විත දකුණු අප්‍රිකානුවන්ට සැලකිය යුතු තරමේ අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම එක් ධනාත්මක කරුණකි. ඒ අතරින් ප්‍රථම ඉනිමේ කඩුලු 5ක් දවාගත් සුරංග ලක්මාල් ප්‍රමුඛත්වය ගත්තේය. ශ්‍රී ලංකාවේ වේග පන්දු යැවීම සැලකිය යුතු තරම් හොඳ මට්ටමක පැවතුනු නමුත් ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තු තබා තිබූ දුෂ්මන්ත චමීරට පන්දුවෙන් එතරම් දෙයක් කිරීමට නොහැකි වීම කැපී පෙනුණි.

පිතිකරණ අංශය පිලිබඳ සැලකීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් තමන්ට නුපුරුදු දකුණු අප්‍රිකානු තණතීරු වලදී යම්කිසි ආරම්භයක් ලබා ගැනීමට සමත් වීම ඉදිරි තරග සඳහා සුබ පෙරනිමිත්තක් බවට පත්ව තිබේ. නමුත් ශ්‍රී ලංකා පිළේ අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කල කුසල් පෙරේරා ඉනිම දෙකේදීම අසාර්ථක වීම ශ්‍රී ලංකාවට සෘණාත්මක ලෙස බලපෑවේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජනවාරි දෙවැනිදා කේප්ටවුන් හිදී ආරම්භ වීමට නියමිතව ඇත. එබැවින් ප්‍රථම තරගයේ සිදුවූ වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් මනා සැලැස්මකට අනුව ක්‍රීඩා කලහොත් ශ්‍රී ලංකාවට දෙවන තරගයේදී මීට වඩා යම් පිබිදීමක් පෙන්නුම් කිරීමට අවස්ථාව ඇත.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 98.5): ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, සුරංග ලක්මාල් 5/63, රංගන හේරත් 2/48, නුවන් ප්‍රදීප් 2/66.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 64.5): ධනංජය ද සිල්වා 43, ඇන්ජෙලෝ මැතිව්ස් 39, දිනේෂ් චන්දිමාල් 28, වර්නන් ෆිලැන්ඩර් 5/45, කයිල් ඇබට් 3/63.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 406 (පන්දුවාර 90.5): ස්ටීවන් කුක් 117, ඩීන් එල්ගාර් 52, හෂීම් අම්ලා 48, ක්වින්ටන් ඩි කොක් 69, ධනංජය ද සිල්වා 2/91, සුරංග ලක්මාල් 1/64.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 281  (පන්දුවාර 96.3): ඇන්ජෙලෝ මැතිව්ස් 59, කුසල් මෙන්ඩිස් 58, කෞෂාල් සිල්වා 48, දිමුත් කරුණාරත්න 43, කාගිසෝ රබාඩා 3/77, කේශව් මහරාජ් 3/86, කයිල් ඇබට් 2/38.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට