රෝවන් පෙරී ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි කලඑළි බැස්මට සූදානමින්

361
Rowan-Perry-Body-

මෙවර අන්තර් සමාජ රග්බි තරග වාරයේ පෙරලියක් සිදු කරමින්, ඕස්ට්‍රේලියානු ජාතික 19න් පහල කණ්ඩායම නියෝජනය කල රෝවන් පෙරී CR&FC කණ්ඩායමට එක්වීමට සූදානම් වන බව වාර්තා වෙයි. මේ අනුව, ශ්‍රී ලංකාවේ උපත ලබා, ඕස්ට්‍රේලියානු රග්බි ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත්ව සිටින පෙරී, මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

පසුගිය ලිපි:  ලීග් ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට කැපවන යුධ සෙබළුන්

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලොන්ඩන් පෙදෙස සිය මූලස්ථානය කරගත් සිලොනීස් රග්බි සහ පාපන්දු සමාජය නොහොත් CR&FC ක්‍රීඩා සමාජය මේ වන විටත් රෝවන් පෙරී සමඟ ගිවිසුමකට එලඹ සිටින අතර ඔහු හෙට (23) දිනය වන විට CR සංචිතය සමඟ පුහුණුවීම් වලට එක්වීමටද නියමිත බවයි.

සිය ඕස්ට්‍රේලියානු ජාතික දෙමාපියන් මෙරට සංචාරයක නිරතව සිටියදී රෝවන් පෙරී උපත ලබා ඇති අතර එබැවින් ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලැබීමේ වරප්‍රසාදය හිමිවිය. පෙරී ශ්‍රී ලංකා රග්බි ලෝලීන්ගේ අවධානය වඩාත් දිනා ගත්තේ පසුගිය අගෝස්තු මාසයේ පැවති ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ දී වෝකර්ස් CML වයිපර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා මෙරටට පැමිණීමත් සමඟයි.

විවෘත පස ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන පෙරී, සිය ජාත්‍යන්තර රග්බි දිවිය ආරම්භ කිරීමට වරම් ලැබුවේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා වයිකිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිටි අවධියේදී නවසීලන්තයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට ලැබූ කැඳවීමත් සමඟයි. එම ජාතික කණ්ඩායම් නියෝජනය හේතුවෙන් ඔහුට වයිකිංග්ස් කණ්ඩායම සමඟ පුහුණුවීම් කරන අතරවාරයේදීම 2015 ඕස්ට්‍රේලියානු සුපර් රග්බි තරග වාරය සඳහා ACT බ්‍රම්බීස් ව්‍යාප්ත පුහුණු සංචිතය සමඟ එක්වීමටද අවස්තාව හිමිවිය.

මේ වසරේදී ඕස්ට්‍රේලියානු ජාතික රග්බි ශූරතා තරගාවලිය සඳහා කැන්බරා වයිකිංග්ස් කණ්ඩායමෙන් ඉවත්ව නිව් සවුත් වේල්ස් කන්ට්‍රි ඊගල්ස් කණ්ඩායම සමඟ එක්වූ රෝවන්, පෙරී එහිදී සිය කණ්ඩායම ජයග්‍රහණ රැසක් වෙත ගෙන යන්නට ඉතා ඉහල දායකත්වයක් ලබා දුන් අතර එහිදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් පෙරීව වොලබීස් ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු ජාතික රග්බි කණ්ඩායමේ ෆ්ලෑන්කර් ක්‍රීඩක මයිකල් හූපර් හා සම කරන්නටද බොහෝ විචාරකයන් කටයුතු කරන ලදී.

රෝවන් පෙරී ශ්‍රී ලංකාවට පැමිණීමේ ඇති තවත් වැදගත් කමක් වන්නේ ඔහුගේ උපන් රට වන ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ නීත්‍යානුකූල හැකියාවද ඔහුට හිමිවන බැවිනුයි.

බෙන් මැක්ඩූගල් යටතේ පුහුණුවීම් සිදු කරන CR&FC කණ්ඩායම සමඟ එක්වන පෙරී එළඹෙන සති අන්තයේ සිටම ලෝහිත බලකායේ වර්ණයෙන් සැරසී ඩයලොග් ලීග් රග්බි තරග බිමට පිවිසීමේ ඉතා ඉහල ඉඩකඩක් පවතී.

රෝවන් පෙරී ඕස්ට්‍රේලියානු ජාතික රග්බි ශූරතා තරගාවලියට සහභාගී වූ අවස්තාවක්


රෝවන් පෙරී 2016 ඕස්ට්‍රේලියානු ජාතික ශූරතා තරගාවලියේ ක්‍රීඩා කල අයුරු