හොංකොං දේශය තුන් වැනි වතාවටත් තම සත් සාමාජික රග්බි ආධිපත්‍ය තහවුරු කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ ඊයේ (16) දින අවසන් වූ තුන් වැනි අදියර ද ජයග්‍රහණය කිරීමත් සමගය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිව් වන ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදු විය. මෙහි කාන්තා තරඟ වල ජය ජපාන කණ්ඩායම විසින් හිමි කරගත්හ. ඔවුන් අවසන් තරඟයේ දී චීනය ලකුණු 17-05 ලෙස පරාජය කරමින් තම ජයග්‍රහනය සනිටුහන් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහිදී 6 වන ස්ථානයට පත් විය. මෙම සියලු තරඟ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විනි.
පසුගිය ලිපි: ශ්‍රී ලංකාව යලිත් වරක් හොං කොං අභියෝගය හමුවට
පිරිමි තරඟාවලිය
ජපානය පරදවා මැලේසියාව පලිහ ජයග්‍රහනය කරයි.
ජපානය, චීන තායිපේ , මැලේසියාව හා සිංගප්පූරුව පලිහ සඳහා තම අවස්ථා උරගා බැලූ කණ්ඩායම් විය. මෙහිදී වැඩි දෙනාගේ අවධානය දිනා ගත් කරුණ වන්නේ මැලේසියාව විසින් මෙහි ජයග්‍රහනය අත් කර ගැනීම බව සඳහන් කල හැකිය. ජපානය සහ මැලේසියාව පලිහ කොටසේ අවසන් තරඟයට සුදුසුකම් ලැබූවද ඔවුන් තරඟයට පෙර අත්දැකීම් බහුල ජපාන කණ්ඩායම අභිබවා යාමට හැකියාවක් නොදැක්වීය. නමුත් තරඟය පුරා විශිෂ්ට තරඟ විලාසයක් දක්වමින් තරඟය තමන් ට නතු කර ගැනීමට මැලේසියානු කණ්ඩායම සමත් විය. ජපානය විසින් අවසන් මොහොතේ වාර්තා කල උත්සාහක දිනුමත් සමග අවසන් ලකුණු තත්වය ලකුණු 19-14 ලෙස දැක්විය.
හොංකොං දේශය ශූරතා ත්‍රිත්වයක් ලබා ගනී.
හොංකොං සමග පැවති තරඟය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවට තුන් වැනි ස්ථානය අත් කරගැනීමට අනගි අවස්ථාවක් හිමි විය. තුන් වැනි ස්ථානය සඳහා තරඟයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ චීනය යි. ඉතාමත් දක්ෂ තරඟ විලාසයක් පෙන්වමින් ශ්‍රී ලංකාව තරඟයේ පලමු භාගයේ දී ලකුණු 21-07 ලෙස විශිෂ්ට ආරම්භයක් ලබා ගත්හ. නමුත් අවසන් කොටසේ සිදුවූ වැරදි ඔවුනට තම තුන් වැනි ස්ථානය සඳහා වූ බලාපොරොත්තු සුන් කර දැමීමට තරම් ප්‍රබල විය. චීනය මෙම තරඟය ලකුණු 22-21 ලෙස ජයග්‍රහණය කළේය.
ඒ අතරවාරයේ හොංකොං දේශය දකුණු කොරියාව පරාජය කරමින් ශූරතා කොටසේ සමස්ත ජය තහවුරු කර ගැනීමට සමත් විය. ඔවුන් මෙම තරඟය ලකුණු 24-19 ලෙස ලබා ගනිමින් ජයග්‍රහනය කලහ. එය ක්‍රීඩකයින් ට මෙන් ම ක්‍රීඩා ලෝලීන්ට ද තම රුධිර පීඩනය වැඩි වනු දැනෙන තරඟයක් වූ බව පැවසිය හැකිය. ඒ කණ්ඩායම් දෙකම එකිනෙකා පරයන විශිෂ්ට තරඟ රටාවකට අනුව ක්‍රීඩා කිරීමත් සමගය. තරඟයේ උණුසුම තවත් වැඩි කල කාරණය නම් නියමිත කාලය අවසන් වන විට ලකුණු තත්වය දෙපිලම ලකුණු 19 බැගින් ලබා තිබීමයි. කෙසේ වෙතත් ලැබුණු අතිරේක කාලයේ දී තරඟය තමන්ට නතු කර ගැනීමට ප්‍රබල හොංකොං කණ්ඩායම සමත් විය. මෙම අදියර සහ පසුගිය අදියර දෙකෙහිම ජයග්‍රහනය හොංකොං කණ්ඩායම ලබාගත් බැවින් ඔවුන් සමස්ත සටහනේ ප්‍රථම ස්ථානයට පත් විය. මෙම අදියරේ සිව් වැනි ස්ථානයට පත් වුව ද පසු ගිය අදියර වල දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාව සමස්ත සටහනේ දෙවැනි ස්ථානයට පත් විය. දකුණු කොරියාව සමස්ත සටහනේ තුන් වැනි ස්ථානය අත් කරගැනීමට සමත් විය.
කාන්තා තරඟාවලිය
කාන්තා සත් සාමාජික රග්බි තරඟ වල ආසියානු දැවන්තයින් වන ජපාන කණ්ඩායම මෙම තරඟාවලිය ද ජයග්‍රහනය කිරීමට සමත් විය. ඔවුන් මූලික වටයේ තරඟ වලදී තායිලන්තය හමුවේ පරාජය වුව ද තම සුපුරුදු තරඟ විලාසයට අවතීර්ණ වෙමින් අවසන් පූර්ව වටයේ දී හොංකොං දේශය පරාජය කරමින් අවසන් තරඟයට පිවිස එහිදී චීනය ලකුණු 17-05 ලෙස පරාජය කරමින් සමස්ත ශූරතාව ජයග්‍රහනය කිරීමට සමත් විය.
මෙහි තුන්වැනි ස්ථානය සඳහා පැවති තරඟයේ දී තායිලන්තය සහ හොංකොං දේශය එකිනෙකා මුණ ගැසිනි. මෙහිදී තායිලන්තය සෑම අංශයකින්ම හොංකොං කණ්ඩායම අභිබවා යාමට සමත් විය. එනම් එම තරඟයේ අවසන් ලකුණු තත්වය ලකුණු 19-05 ලෙස දක්වමින් තායිලන්තයට ජය හිමි විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහි පලිහ කොටසේ අවසන් තරඟයට සුදුසුකම් ලැබූ අතර ඔවුනට අනපේක්ෂිත පරාජයක අමිහිරි අත්දැකීම විඳින්නට සිදුවිය. එම තරඟය සිංගප්පූරුවට එරෙහිව පැවැති අතර එම තරඟයේ දෙවන අතිරේක කාලයේ දී සිංගප්පූරුව වාර්තා කල උත්සාහක දිනුමත් සමඟ පලිහ ශූරතාව සිංගප්පූරුවට හිමි විය.
හොංකොං යලිත් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කලාපයේ තවමත් අභිබවා යා නොහැකි තර්ජනය ලෙස දැක්විය හැකි හොංකොං දේශය නැවතත් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින් ආසියානු සත් සාමාජික තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේ දී ලකුණු 19-05 ලෙස ජයග්‍රහනය කිරීමත් සමඟ එම තර්ජනය තවත් වැඩි වනු බව පෙනිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ආරම්භයක් ලබාගනිමින් තරින්ද රත්වත්තේ විසින් විශිෂ්ට ලෙස ඩැහැගත් පන්දුව සුදර්ශන මුතුතන්ත්‍රි විසින් තවදුරටත් ධවල රේඛාව වෙත ගෙනයන ලදී. සීමාවට මීටර් කිහිපයක් මෙපිටින් ඔහුව නැවැත්වීමට හොංකොං ක්‍රීඩකයන් සමත් විය. නමුත් ඔහුගේ විශිෂ්ට Offload කිරීම මනාව රැකගත් දනුෂ් දයාන් එය උත්සාහක දිනුමක් බවට පත් කලේය. දුලාජ් පෙරේරා ගේ ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟ ශ්‍රී ලංකාව විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. (ශ්‍රී ලංකාව 07 – 00 හොංකොං)
තරඟයට කෙමෙන් කෙමෙන් අවතීර්ණ වූ හොංකොං කණ්ඩායම ආරක්ෂාකාරී තරඟ රටාවක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කලහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂක සටහනේ දුර්වල ස්ථානයක් දුටු රයන් මීචෙම් හොංකොං කණ්ඩායමට පළමු උත්සාහක දිනුම ලබා දීමට සමත් විය. ඉතාමත් අපහසු ප්‍රවර්තනයක් වූ එය සාර්ථක කර ගනිමින් ලකුණු තත්ත්වය 07-07 ලෙස සමකිරීමට බෙන් රිමෙන් සමත් විය. කණ්ඩායම් දෙකම අපරික්ෂාකාරී හා අනාරක්ෂිත ක්‍රීඩා රටාව නිසා ප්‍රථම භාගය අවසන් වීමට මත්තෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකුට සීමා කරනු ලැබීය.
ප්‍රථම භාගය: ශ්‍රී ලංකාව 07 – 07 හොංකොං
ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් මැනවින් තම තරඟය තුල සිටි බව ක්‍රීඩා විචාරකයින්ගේ මතයයි. විශේෂයෙන් ම ශරීර ස්කන්ධයෙන් සහ ප්‍රමාණයෙන් හොංකොං ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටියද ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳින් තරඟ කරනු පෙනෙන්නට තිබිණි. නමුත් ඔවුන් අතින් සිදුවු සුළු වැරදි ඔවුනට අවසන් තරඟයේ අවස්ථාව අහිමි කිරීමට තරම් ප්‍රබල කිරීමට හොංකොං ක්‍රීඩකයන් සමත් විය. ශ්‍රී ලංකාව තම මීටර 22 සීමාව ඇතුලත තමන්ට හිමි අවස්ථාවක් පරාජය වූ අතර එය මැනවින් ඩැහැගත් මැක්ස් වුඩ්වර්ඩ් හොංකොං කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම ද සාර්ථක කරගත්තේය. ප්‍රවර්තනය ද සාර්ථක වූයෙන් ලකුණු තත්වය ඉදිරියට ගෙන ඒමට හොංකොං කණ්ඩායම සමත් විය. (ශ්‍රී ලංකාව 07 – 14 හොංකොං)
ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් වූ හඬ මැදින් මැක්ස් වුඩ්වර්ඩ් ඔහුගේ දෙවන උත්සාහක දිනුමද වාර්තා කිරීමට සමත් විය. එහිදී ඔවුන්ගේ ප්‍රවර්තනය අසාර්ථක විය. (ශ්‍රී ලංකාව 07 – 19 හොංකොං)
අවසන් මිනිත්තු කිහිපයේදී ශ්‍රී ලංකාව කෙසේ හෝ ජයග්‍රහනය ලබාගැනීමට තැත් කල නමුත් හොංකොං කණ්ඩායම සත්කාරක කණ්ඩායමෙන් පැමිනෙන ඕනෑම අභියෝගයකට සූදානම් බව පෙනෙන්නට තිබිනි. ශ්‍රී ලංකාව උත්සාහක දිනුමක් වාර්තා කලද අනිසි පන්දු හැසිරවීම මත එම උත්සාහක දිනුම ව්‍යර්ත කිරීමට විනිසුරු කටයුතු කල අතර හිරන්ත පෙරේරාට කහ කාඩ් පතක් ද ලබා දුන්නේය. එත් සමගින් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනු විසුනු වී ගිය අතර හොංකොං අවසන් තරඟයේදී දකුණු කොරියාවට එරෙහිවත් ශ්‍රී ලංකාව තුන් වැනි ස්ථානය සඳහා චීනය සමගත් තරඟ වදිනු ඇති.
තරඟ ප්‍රථිපල- 2වන දිනය
# | Time | Gender | Stage | Team 1 | Score 1 | Score 2 | Team 2 |
---|---|---|---|---|---|---|---|
12:45 | Women | SF-P1 | Sri Lanka | 32 | 00 | India | |
13:07 | Women | SF-P2 | Singapore | 12 | 07 | South Korea | |
13:29 | Women | SF-C1 | Hong Kong | 00 | 14 | Japan | |
13:51 | Women | SF-C2 | China | 29 | 00 | Thailand | |
14:13 | Men | SF-P1 | Japan | 26 | 05 | Chinese Taipei | |
14:35 | Men | SF-P2 | Malaysia | 24 | 12 | Singapore | |
15:05 | Men | SF-C1 | Hong Kong | 19 | 07 | Sri Lanka | |
15:27 | Men | SF-C2 | South Korea | 19 | 14 | China | |
15:49 | Women | 7th / 8th | India | 05 | 31 | South Korea | |
16:11 | Women | Plate Final | Sri Lanka | 07 | 12 | Singapore | |
16:33 | Women | 3rd / 4th | Hong Kong | 05 | 19 | Thailand | |
16:55 | Men | 7th / 8th | Chinese Taipei | 22 | 17 | Singapore | |
17:17 | Men | Plate Final | Japan | 14 | 19 | Malaysia | |
17:39 | Men | 3rd / 4th | Sri Lanka | 21 | 22 | China | |
18:01 | Women | Cup Final | Japan | 17 | 05 | China | |
18:23 | Men | Cup Final | Hong Kong | 24 | 19 | South Korea |