කෙන්යාවේ මැරතන් හපන්නු කලම්බු මැරතන්වලදීත් පෙරමුණ ගනිති

428
2016 LSR Colombo Marathon Final Result

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන මැරතන් තරග අතුරි විශාලතම මෙන්ම අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක්‌ තියෙන එකම මැරතන් තරගය වන කලම්බු මැරතන් තරගයේ 16 වැනි අදියරේ පිරිමි ශූරතාව ජෝසප් කරියුකි විසින් දිනාගන්නා අතරවාරයේ එහි කාන්තා ශූරතාව මාග්‍රට්‌ වන්ගුයි විසින් දිනාගනු ලැබූහ.

පසුගිය ලිපි: ලොකු ගාණක්‌ එන කලම්බු මැරතන් 16 දා

එහිදී ඔවුන් දෙදෙනාම කෙන්යාව නියෝජනය කරමින් මෙම තරගය සඳහා සහභාගී වී තිබීම විශේෂත්වයක්‌ බවට පත්වූ අතර ඔවුන් දෙදෙනාටම ඇමරිකානු ඩොලර් 2500 ක මුදල් ත්‍යාගයට අමතරව තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා එයාර් ලයින් වෙතින් ගුවන් ටිකට්‌පත බැගින්ද හිමි විය. ඊට අමතරව දෙවැනි හා තෙවැනි ස්‌ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක්‌ හා 1000 ක්‌ වශයෙන්ද පිරිනැමිණ.

පැය 2.25.32 කාලයකින් ජොසප් කරියුකි අදාළ විවෘත ඉසව්ව නිමාකළ අතර එම දෙවැනි හා තෙවැනි ස්‌ථානයන්ද කෙන්යා ජාතිකයන් වෙත හිමි වීම කැපී පෙණුනි. ඒ අනුව එහි දෙවැනි ස්‌ථානය ජෝසප්ට වඩා තත්. 13ක්‌ පිටුපසින් සිටිමින් පැය. 2.25.45 ක කාලයකින් තරගය නිමාකළ ආමෝස්‌ මේයස්‌ හටත්, තෙවැනි ස්‌ථානය ජෝසප් ම්වන්ගිටත් (පැය. 2.26.59) හිමි විය.

ඉකුත් වසරේ කාන්තා මැරතන් තරගයේ ශූරිය වූ බී. ජී. එල්. ඒ. බෝගහවත්ත දෙවැනි ස්‌ථානයට ඇද දැමූ මාග්‍රට්‌ වොන්ගුයි පැය 2.53.47ක කාලයකින් තරගය නිමා කළාය.

ඉකුත් වසරට සාපේක්‌ෂව මෙම වසරේදී සාර්ථක ධාවනයක නියෑළුණු බෝගහවත්ත පැය 2.56.04 කාලයක්‌ වාර්තා කරමින් දෙවැනි ස්‌ථානයට පත්විය. කෙසේ නමුත් ඉකුත් වසරේ ඇගේ තරග නිමි කාලය පැය 3.02.38ක්‌ වශයෙන් සටහන්ව තිබුණි. පැය 3.02.22ක කාලයකින් තරගය නිමාකළ කෙන්යා ජාතික සුසාන් කොස්‌ගෙයිහට එහි තෙවැනි ස්‌ථානය හිමි විය.

මෙම විවෘත තරගයට සමගාමීව අර්ධ මැරතන් (කි.මී. 21.097) තරගයක්‌ පැවැත්වීමට සංවිධාකයන් කටයුතු යොදා තිබූ අතර එහි පිරිමි ප්‍රථම ස්‌ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ කුමාර් ශන්මුගේෂ්වරන්ටත්, කාන්තා ප්‍රථම ස්‌ථානය කෙන්යාවේ නඕමි වම්බුයි මුනිකුයිටත් හිමි වූහ.

පිරිමි අර්ධ මැරතන් තරගයේ පළමු දෙවැනි හා තෙවැනි යන ස්‌ථාන තුනම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හිමි විය.

එහිදී කුමාර් ශන්මුගේෂ්වරන් පැය 1.10.12 කාලයකින්ද, දෙවැනි ස්‌ථානය දිනාගත් මහේෂ් ගුණතිලක පැය 1.10.44 කින් හා තෙවැනි ස්‌ථානය දිනාගත් එස්‌. ආර්. ජී. ඒ. එස්‌. කුමාර පැය 1.11.14 කින් තරගය නිමාකර තිබුණි.

එමෙන්ම පැය 1.25.57 කින් නඕමි වම්බුයි මුනිකුයි තරගය නිමා කරමින් ප්‍රථම ස්‌ථානය සිය නම ඉදිරියේ සටහන් කර ගැණින. පිළිවෙලින් එහි දෙවැනි හා තෙවැනි ස්‌ථාන කේ. එම්. එස්‌. එම්. වික්‍රමසූරිය (පැය 1.27.58) විසින් හා ඩබ්. ඩී. මල්කාන්ති (පැය 1.28.55) විසින් දිනාගන්නා ලදී.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව විදෙස්‌ රටවල් 41ක්‌ නියෝජනය කරමින් තරගකරුවන් මෙවර තරගාවලිය සඳහා සහභාගී විය. ඒ අනුව 7000කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක්‌ මෙවර තරගාවලිය සඳහා සහභාගී විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට