24 වැනි වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවති A කාණ්ඩයේ තරග වලින් ජයග්‍රහණ වාර්තා කරන්නට සම්පත් බැංකු සහ MAS යුනිචෙලා කණ්ඩායම් සමත් විය. සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරන දකුණත් පිතිකරු කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 147ක් රැස් කරමින් අද දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය.
පසුගිය ලිපි: MAS යුනිචෙලා අපරාජිත වාර්තාව රැකගනියි
කොමර්ෂල් ක්‍රෙඩිට් සහ MAS යුනිචෙලා අතර තරගය
කෝල්ට්ස් පිටියේදී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් හිමිකර ගැනීමට ප්‍රබල MAS යුනිචෙලා ක්‍රීඩකයින් සමත් විය. ඒ පන්දුවාර 21යි පන්දු 4ක් තුල අදාළ ඉලක්කය පසුකර යමිනි. කාසියේ වාසිය ජයග්‍රහණය කල යුනිචෙලා කණ්ඩායම් නායක චාමර සිල්වා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව කොමර්ෂල් ක්‍රීඩකයින්ට ලබා දුන්නේ ලැබෙන ඕනෑම අභියෝගාත්මක ලකුණු පුවරුවක් තම පිතිකරණ බල ඇණිය යොදාගෙන හඹා යෑමේ අරමුණ ඇතිවය.
ඒ අනුව පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රීඩකයින්ට තරග ජයක් සඳහා ප්‍රමාණවත් වන ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක මාලිංග බණ්ඩාර සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ඉඩ ලබා දුන්නේ නැත. ඔවුන් දෙදෙනා අතර කඩුලු 5ක් බෙදී යද්දී කොමර්ෂල් ඉනිම, සියල්ලන් දැවී ලකුණු 189ක් ලෙස සටහන් විය. කොමර්ෂල් පිළ වෙනුවෙන් ලහිරු මධුශංක සහ චතුරංග ද සිල්වා ලකුණු 41ක් හා 35ක් බැගින් රැස්කර ගන්නා ලදී.
ලකුණු 190ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි යුනිචෙලා ක්‍රීඩකයෝ පිටිය සිසාරා පහර එල්ල කරමින් අදාළ ඉලක්කය කිසිදු අපහසුවකින් තොරව සපුරා ගන්නට සමත් විය. යුනිචෙලා ඉනිම වෙනුවෙන් සවිමත් අඩිතාලමක් දැමූ මහේල උඩවත්ත (65) සහ ධනුෂ්ක ගුණතිලක (50) අර්ධ ශතක වාර්තා කරන්නට සමත් විය. පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද තම යුතුකම් කොටස ඉටුකල තිලකරත්න ඩිල්ශාන් ලකුණු 22ක් රැස් කළේය.
කොමර්ෂල් ක්‍රෙඩිට් සියල්ලන්ම දැවී ලකුණු 189 (පන්දුවාර 47.4)
ලහිරු මධුශංක 41, චතුරංග ද සිල්වා 35, උපුල් තරංග 23, රංග කුරේ 28, මාලිංග බණ්ඩාර 3/29, තිලකරත්න ඩිල්ශාන් 2/30.
MAS යුනිචෙලා කඩුලු 4ක් දැවී ලකුණු 191 (පන්දුවාර 21.4)
මහේල උඩවත්ත 65, ධනුෂ්ක ගුණතිලක 50, තිලකරත්න ඩිල්ශාන් 22, ලහිරු ගමගේ 1/37.
සම්පත් බැංකුව සහ MAS ඇක්ටිව් අතර තරගය
කෞෂාල් සිල්වාගේ සුපිරි පිතිකරණය හේතුවෙන් සම්පත් බැංකුවට ජයග්‍රහණය හිමිවුණු මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන්ම පන්දු යැවීමට තීරණය කල MAS ඇක්ටිව් කණ්ඩායමට, ප්‍රතිවාදී සම්පත් බැංකු පිතිකරුවන්ව අඩු ලකුණු සංඛ්‍යාවක රඳවා ගන්නට හැකියාවක් නොලැබුණි. සම්පත් බැංකු ඉනිමේ වැඩි බරක් ඉසිලූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණත් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 147ක් රැස් කරන්නට සමත් විය. ඔහුගේ ඉනිමට වැයවුණු පන්දු සංඛ්‍යාව ද 147කි. ඒ අනුව සම්පත් බැංකුව සිය පන්දුවාර 50 නිමා කරන විට කඩුලු 8කට ලකුණු 276ක් ලකුණු පුවරුවේ සටහන් වී තිබුනි. කෙසේ වෙතත් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක සචිත් පතිරණ ඇක්ටිව් පිළ වෙනුවෙන් ලකුණු 43ක් පමණක් ලබාදී කඩුලු 4ක් බිඳ හෙලන්නට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසුණු ඇක්ටිව් ක්‍රීඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට හැකි වූයේ නැත. දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ඇක්ටිව් මුල් පෙළ සුණුවිසුණු කරමින් සම්පත් බැංකු කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එන්නට සමත් විය. ඇක්ටිව් ඉනිම වෙනුවෙන් කිත්රුවන් විතානගේ (76) සහ සචිත්ර සේරසිංහ (69) අර්ධ ශතක රැස් කරමින් දස්කම් දැක්වූහ. සම්පත් බැංකු කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කලේ ලකුණු 36කිනි.
සම්පත් බැංකුව කඩුලු 8ක් දැවී ලකුණු 276 (පන්දුවාර 50)
කෞෂාල් සිල්වා 147*, දිනුක් වික්‍රමනායක 36, කසුන් මධුසංක 2/56, සචිත් පතිරණ 4/43.
MAS ඇක්ටිව් සියල්ලන්ම දැවී ලකුණු 240 (පන්දුවාර 41.4)
කිත්රුවන් විතානගේ 76, සචිත්ර සේරසිංහ 69, කසුන් රාජිත 4/50, නුවන් පෙරේරා 3/45, ජීවන් මෙන්ඩිස් 2/48.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට