ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවෝ 10වැනි වරටත් පවත්වනු ලබන ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සදහා තායිලන්තය පිටත්ව ගියේ පසුගිය 27 වැනි අගහරුවාදා දිනයි.
ජුලි මස 31වනදායින් ආරම්භ වී අගෝස්තු 7වැනිදා දක්වා දිවෙන අතර රටවල් 10ක ක්‍රීඩිකාවෝ ශූරතාවලියට තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා දැල්පන්දුවේ පසුගිය තරග දෙස බලන විට, 2009 වසරේදි ආසියානු ශූරතාවය ලබා ගත් අපේ දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉන්පසුව 2012 දි සහ 2014 දි පැවති තරගවලදි අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. 2015 වසරේ පැවති දැල්පන්දු ලෝක ශූරතාවලිය දෙස බැලීමේදි නම් ඔවුන් ඒ තරම්වත් දක්ෂ නොදැක්වු අතර පැවති ලෝක ශූරතාවලියේදි පැවති සියළුම තරගවලින් ඔවුන් පිට පිටම පරාජය වෙමින් නැවතත් සිය නිවෙස් බලා පැමිණෙන ලදි. නමුත් 2015 කණිෂ්ඨ ශූරතාවලිය දෙස හැරී බැලීමේදි නායිකා ගයනි දිසානායකගේ මෙහෙය වීම යටතේ සියළු තරග අපරාජිතව ජය ගනිමින් ශූරතාවලිය ලබා ගැනීමට ඔවුන් සමත් විය.
මෙවරද කණ්ඩායමට නායකත්වය සපයන්නේ ගියවර කණිශ්ඨ ශූරතාවය ලබා ගත් කණ්ඩායමේ සිටි නායිකාව වන ගයනි දිසානායකයි. ඇය දැල්පන්දු කණ්ඩායම අනුශූරතාවලිය දිනාගත් අවස්තාවන් වලදීද කණ්ඩායම් සාමාජිකාවක් ලෙස කටයුතු කර තිබිනි. එහිදි ඇය 2014 ආසියානු ශූරතාවලියේදි සහ ලෝක ශූරතාවලියේදි ද උපනායිකාව ලෙස කටයුතු කෙරු අතර කණිශ්ඨ කණ්ඩායම මෙහෙයවූ නායිකාවද විය. කොටින්ම කිවහොත් ඇය අත්දැකීම් සහිත ක්‍රීඩිකාවකි. එහෙයින් ඇය ප්‍රථම වතාවට ජේශ්ඨ කණ්ඩායමට නායිකාව ලෙස පත් කර ඇති අතර සිය උපරීම ජවය මෙවර ශූරතාවලිය ජය ගැනීම පිණිස යොදවනු ඇත.
මෙම ශූරතාවලියට ශ්‍රී ලංකාව මෙවර B කාණ්ඩයෙන් තරගවදින අතර මැලේසියාව, බෲනායි, ජපානය සහ ඇෆ්ගනිස්තානය එම කාණ්ඩයේ සිටින අනිත් රටවල් වේ. ගියවර ශූරියන් වු සිංගප්පුරූව සුපුරුදු පරිදි A කාණ්ඩයේ මුල සිටින අතර හොන්ග්-කොන්ග්, චයනීස් තායිපේ, තායිලන්තය සහ මාලදිවයින A කාණ්ඩය නියෝජනය කරන සෙසු රටවල් වේ.
කණ්ඩායම දෙස හැරී බැලීමේදි පලමුවෙන්ම ක්‍රීඩිකාවන් 39 දෙනෙකුගෙන් ක්‍රීඩිකාවන් 18 දෙනෙකු තෝරා පත් කරගෙන තිබුනු නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමයෙන් එය අවලංගු කර නැවතත් විවෘත තේරීම් පරීක්ෂණයක් පවත්වා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කෙරිනි. එහිදි ක්‍රීඩිකාවන් 41 දෙනෙකුගෙන් 20ක් තෝරා ගත් අතර පසුව එයින් 5ක් ඉවත් කර 15 දෙනෙකුගෙන් යුතු සංචිතය තෝරාගත් අතර ඉන්පසුව දීප්ති අල්විස් යටතේ ඔවුන් තරගාවලියට පුහුණු විය. පුහුණු තරගවලින් වැඩිම දස්කම් දක්වන ක්‍රීඩිකාවන් 12 දෙනා නිල සංචිතයට තේරී පත්වේ.
සංචිතයේ නායිකාව ලෙස ගයනි දිසානායක කටයුතු කරන අතර උපනායිකාව ලෙස දර්ශිකා අබේවික්‍රම කටයුතු කරයි. ThePapare.com හා සාකච්ඡාවට එක්වු නායිකා ගයනි පවසා සිටියේ “2009 පස්සේ ශූරතාවලියට යන තුන්වැනි අවස්තාව මේක. අපිට ලැබිලා තියෙන්නේ අලුත් කණ්ඩායමක්. ඉතිං ඒ කණ්ඩායමත් එකක් ජයග්‍රණයට යන එක ලොකු අභියෝගයක්“ කියාය.
ThePapare.com හා සම්බන්ධ වෙමින් දීප්ති අල්විස් පවසා සිටියේ “කොළඹ තමයි අපි පුහුණුවීම් වල නිරත වෙමින් හිටියේ. අපිට කෙටි කාලයක් තමයි තිබුනේ පුහුණුවීම් වලට නමුත් පුහුණුවීම් වලට අපිට ගෘහස්ත ක්‍රීඩාංගණයක් තිබුනේ නැහැ කොළඹ ප්‍රදේශය තුල. එමනිසා අපි නාවලපිටිය ජයතිලක ගෘහස්ත ක්‍රීඩා පිටියේ තමයි පුහුණුවීම් කලේ. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සියළු පහසුකම් අපට ලබා දුන්නා. ඉතිං මම හිතනවා ක්‍රීඩිකාවන් එක තැනක කෙටි කාලයක් වුනත් විදිමත් පුහුණුවක් තුලින් හොද මානසික මට්ටමකට ඇවිල්ලා දැන් තරගය ජයග්‍රණය කරා යෑමට බලාපොරොත්තුවෙන් ඉන්නවා“.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇය පවසා සිටියේ “තේරීම් කමිටුව විසින් තෝරාපත් කර දුන් කණ්ඩායමට වඩා හොද කණ්ඩායමක් මට තෝරලා දෙන්න තිබුනා කියලා මට හිතෙනවා. නමුත් ඒක අභියෝගයක් ලෙස මම භාර අරගෙන ලැබුනු කණ්ඩායම ඉතාමත් හොදින් පුහුණුවීම් කරලා පුහුණු තරගවලට යොදවා ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ“.
කෙසේවෙතත් මෙවර සංචිතයට ගියවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ සේමිණි අල්විස් හා එම කණ්ඩායමට ඇතුළත් වූ විරාජි චමරිකාද අතිරේක ක්‍රීඩිකා ලැයිස්තුවට ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.
“කනිශ්ඨ සංචිතයේ හිටිය ක්‍රීඩිකාවන් තුන්දෙනෙක් මේවන විට ජේෂ්ඨ සංචිතය නියෝජනය කරනවා. කනිශ්ඨ කණ්ඩායමේ ජයග්‍රහණයට මුලික හේතුව වුනේ කණ්ඩායම එකට හිටිය එක. මොකද කනිශ්ඨ කණ්ඩායමෙත් හිටියේ නවක ක්‍රීඩිකාවන්. ඉතිං ඒ අයටත් ජාත්‍යන්තර අත්දැකීම් තිබුනේ නැහැ. මේ කණ්ඩායම ගත්තත් බොහෝ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් නැහැ. මං හිතන්නේ ඒකත් එක්ක ගත්තම මං මේ කණ්ඩායමෙත් කණ්ඩායම් හැගීම ඇති කරවලා මේ පාර තරගාවලියට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා, කනිශ්ඨ ශුරතාවයත් එකක් ගත්තම අනිවාර්යෙන්ම ඒ හා සමාන ජයක් ලබා ගන්න පුළුවන් කණ්ඩායමත් එකක් එකතු වෙලා“ යැයි ගයනි සිය කණ්ඩායම ගැන අදහස් දක්වමින් අප හා පැවසීය.
“මං හිතනවා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඒගොල්ලොන්ගේ මානසික මට්ටම, එතකොට ඒගොල්ලො ජේෂ්ඨත්වය කරා කොහොමද මෙහෙයවා ගන්නේ, මගේ ඇත්දැකීම්නුත් උපයෝගි කරගෙන, මගේ සියළුම ශක්තිය යොදා ගෙන පුහුණු කටයුතු වලට ක්‍රීඩිකාවන් යෙදෙව්වා. මං හිතනවා ඒක නිසා කණ්ඩායමට අපහසුවක් වෙන එකක් නැහැ. ක්‍රීඩිකාවන් සියළුම දෙනා මේ වන විට තරගයට සූදානමින් සිටිනවා“ යැයි පුහුණුකාරිනි දීප්ති අල්විස් පැවසීය.
තරගාවලිය අනිද්දායින් (31) ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරගය අගෝස්තු පලමුවැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙයි. ශ්‍රී ලංක ක්‍රීඩිකාවො ජපන්, බෘෘනායි සහ මැලේසියා ක්‍රීඩිකාවන් සමග තරග වැදීමෙන් පසුව අර්ධ අවසන් වටයට පැමිණෙනු ඇත. අර්ධ අවසන් වටය අගෝස්තු 06 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය අගෝස්තු 07 වැනිදා පැවැත්වේ.
ThePapare.com අප, කණ්ඩායමේ සියළුම දෙනාට සුභ පැතුම් එකතු කරන අතර ශූරතාවය ලක් සෙවනට ගෙන ඒමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!
සංචිතය
දර්ශිකා අබේවික්‍රම, හසිතා මෙන්ඩිස්, ගයංජලී අමරවංශ, තිළිණි වත්තෙගෙදර, සුරේඛා කුමාරි, දීපිකා දර්ශනී, ගයනි දිසානායක, තිවංකා පෙරේරා, රුවිනි යටිගම්මන, ශ්‍යාමලී රත්නායක, කාංචනා ජයවීර, දුලංජි ධනංජනී
අතිරේක –
සේමිණී අල්විස්, විරාජි චාමරිකා, පූර්ණිමා ලක්මාලි
තරග කාලසටහන
දිනය | වේලාව | ප්‍රතිවාදී කණ්ඩායම |
අගෝස්තු 01 | 01.00 ප.ව | ඇෆ්ගනිස්තානය |
අගෝස්තු 02 | 07.00 ප.ව | ජපානය |
අගෝස්තු 03 | 07.00 ප.ව | මැලේසියාව |
අගෝස්තු 04 | 01.00 ප.ව | බෘෘනායි |
අගෝස්තු 06 | අර්ධ අවසන් තරගය | |
අගෝස්තු 07 | අවසන් තරගය |