දින දෙකක් පුරා දියගම ක්‍රීඩාංගණයේදී පැවැති ලංකා ලයන්ස් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ නිමාවට පත්වූ අතර තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස ගයන්තිකා අබේරත්න හා හොඳම ක්‍රීඩකයා ලෙස මංජුල කුමාර විජේසේකර සම්මාන දිනාගත්හ.
උස පැනීමේ විවෘත ඉසව්වට සහභාගි වූ මංජුල විජේසේකර මීටර් 2.22ක් වාර්තා කිරීමට සමත් වූ අතර ගයන්තිකා අබේරත්න මීටර් 800 විවෘත කාන්තා ඉසව්ව මිනිත්තු 2 තත්පර 8.09කින්ද, මීටර් 1500 ඉසව්ව මිනිත්තු 4 තත්පර 27.16කින්ද නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. තවද කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් ක්‍රීඩිකාව මීටර් 100 හා (තත්පර 12.9) දුර පැනීමේ ඉසව්ව (මීටර් 4.91) ජය ගැනීමට සමත් වූවා පමණක් නොව මීටර් 200, 16න් පහළ කාන්තා ඉසව්ව තත්පර 26.78කින් නිම කරමින් නව තරග වාර්තාවක්ද පිහිටුවූවාය.
මෙම තරගාවලියේ පළමු දිනය ලෙස පැවැති පෙරේදා (28දා) දිනයේදී මීටර් 200 හා මීටර් 400 හිටපු ජාතික ශූරයා වන චානක ජයසේකර මීටර් 200 ඉසව්ව තත්පර 22.25කින් නිම කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීම කැපී පෙනුණි. 24 හැවිරිදි ජයසේකර විවෘත පිරිමි මීටර් 200 ඉසව්වෙන් එම ජයග්‍රහණය වාර්තා කළ අතර තරගාවලියේ පළමු දිනයේදී තරගාවලියේ නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට මීටර් 400 කඩුලු ඉසව්වෙන් තරග වැදුණ ෂෙහාන් බියන්විල හා සෞම්‍යා දිල්රුක්ෂි සමත් වූහ.
පුත්තලම ජෙනින්ස් ජාත්‍යන්තර පාසලේ බියන්විල 18න් පහළ එම ඉසව්ව තත්පර 57.08කින් නිම කරමින් වාර්තාවකට යන විට කිරිල්ලවෙල ශ්‍රී ශක්ති පාසලේ සෞම්‍යා අවුරුදු 20න් පහළ මීටර් 400 කඩුලු දිවීමේ ඉසව්ව මිනිත්තු 1යි තත්පර 7.15කින් නිම කොට නව තරග වාර්තාවක් බිහිකළාය.