ශ්‍රී ලංකා මාතාවට ආඩම්බරයක් වූ යෞවනියකගේ කතාවයි මේ

388
Anusha Priyadarshani

ඇය නමින් අනූෂා ප්‍රියදර්ශනී අත්තනායක. මා හා දොඩමළු වන්නට විනාඩි කිහිපයකට පෙරත් ඇය තමන්ගේ පෙර පුහුණුවීම් වල නිරත වෙමිනුයි හිටියේ.

මේ කතාවේ කතා නායිකාව වන අනූෂා, ශ්‍රි ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ එක් විශිෂ්ට බලාපොරොත්තුවක්. සුන්දර සිනහවක් සමඟ ඇය අප හා එකතු වුණා.

  • අනූෂා මුලින්ම පාසල් කාලයෙන් කතාව පටන් ගනිමු නේද?

මම මුලින්ම පාසල් ගියේ අකුරම්බඩ කණිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සෙ 6 වසරෙ ඉඳන් උසස් පෙල දක්වාම අකුරම්බඩ ජාතික පාසලට ගියේ. ඒක ක්‍රීඩා පාසලක්.

  • එතකොට ගම කොහෙද?

මාතලේ කොස්වත්ත.

  • උපන්දිනය කවද ද?

Anusha Priyadarshani1990.06.27

  • පවුලේ ඔබ හැර තවත් කවුද ඉන්නෙ?

තාත්තා, අම්මා, අක්කා සහ අයියලා දෙන්නා

  • අම්මගෙයි තාත්තගෙයි වෘත්තීය ජිවිතය?

අම්මයි තාත්තයි දෙන්නම ගොවිතැන් කරේ. දරුවො හතරදෙනාම රැකියා කරන නිසා දැන් ගෙදර ඉන්නෙ.

  • ඔබ රග්බි ක්‍රීඩාවට සම්බන්ධ වුනේ කොහොමද?

මම මුලින්ම සම්බන්ධ වුනේ ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමට. ගුවන් හමුදාවෙ චන්දන සර් 2012 දී මාව රගර් ගහන්න තෝරා ගත්තා. 2012 ඉඳන් මේ වෙනතුරු හැම ආසියානු කාන්තා රග්බි තරඟාවලියකම මම සෙල්ලම් කරලා තියෙනවා.

  • එහෙනම් ඔබට අමතක නොවන තරඟ සංචාරත් ඇති? 

හ්ම්… ඔව්… අයේෂා අක්කාගේ නායකත්වය යටතේ සහභාගි වුනු තායිලන්ත සංචාරය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

  • ඒ ඇයි?

තායිලන්තයයි අපියි අවසන් වටයට ආවා. ලකුණු පුවරුව තිබුනේ 14ට 14ක්. ඒ වෙද්දි  මම පළමු පෙල ක්‍රීඩා කරේ නෑ. ඇතුලෙ ඉඳපු කෙනෙක් එලියට අරන් මාව ඇතුලට දැම්මා. පළමු විනාඩියෙදිම මම උත්සාහක දිනුමකක් ලබා ගත්තා. එකෙන් තමයි 2014 දි අපි තරඟය දිනුවේ.

  • කොහොමද ඔබට පුහුණුකරුවන්ගෙන් ලැබුනු සහයෝගය?

මට බෝලෙ අල්ලන විදිහෙ ඉඳලා කියලා දුන්නෙ නලින් සර්. ගුවන් හමුදාවේ ගොඩක් පුහුණුකරුවන් යටතේ පුහුණුවීම් කරා.

  • ගුවන් හමුදා රගර් කණ්ඩායමේ නායකත්වය ගැන එහෙම බලාපොරොත්තුවක් තියනවද?

එහෙම නෑ. දුන්නොත් භාර ගෙන ඒ වෙනුවෙන් උපරිම මහන්සි වෙනවා. එතකල් ක්‍රීඩිකාවක් විදිහට ගුවන් හමුදාවට, ජාතික සංචිතයට මගේ උපරිම දායකත්වය දෙනවා.

  • සංචාර අතරතුරදි ලඟින්ම ඉන්න හොඳම යාළුවෙක් ඉන්නවද?

එහෙම නෑ. හැමෝම එක්ක හොදින් ඉන්නවා.

  • කවුද කණ්ඩායමේ ඉන්න පිස්සුම චරිතය?

විශේෂ කෙනෙක් නැහැ. කවුරුත් සින්දු කියන වෙලාවට සින්දු කියනවා. පුහුණුවීම් වෙනකොට ඒ වැඩේ හරියට කරනවා. හැබැයි සින්දු කියන්න නම් දක්ෂ වාසනා තමයි.

  • රග්බි වලින් තව මොනවද ජයග්‍රහණය කරන්න ඕන කියලා හිතන්නේ?  

දැනට නම් තියෙන්නෙ ලඟම එන දකුණු ආසියා තරඟාවලිය ගැන බලාපොරොත්තුවක්.

  • අලුත් පුහුණුකාරිනියගේ දකින වෙනස්කම් මොනවද?
අනුෂා නව පුහුණුකාරිනිය සමග
අනුෂා නව පුහුණුකාරිනිය සමග

ගොඩක් වෙනස්කම් තියනවා. ඇත්තටම ඇය ගොඩක් හොඳයි. හැමදේම අපට මුල ඉඳලම කියලා දුන්නා. පුහුණු කඳවුරක් වගේ තමයි ඇය පුහුණුකිරීම් කරන්නේ. තාක‍ෂණික ක්‍රම ගැනත් හොඳ දැනුවත් කිරීමක් කරනවා.

  • කාන්තාවක් විදිහට රගර් ක්‍රීඩාවේ යෙදෙනකොට මොන විදිහටද අනෙක් අය ඔයාලා දිහා බලන්නේ?

ඇත්තටම මම නම් පෞද්ගලිකව පිට්ටනියට ආවාම හිතන්නෙ නෑ මම ගැහැණු ළමයෙක් කියලා. ඒත් එලියේ ජීවත් වෙද්දී සාමාන්‍ය ගැහැණු ළමයෙක් විදිහටම ජීවත් වෙනවා.

  • නිදහසේ ඉන්න වෙලාවට මොනවද කරන්නේ?

මම ගොඩක් ආසයි නවකතා කියවන්න, චිත්‍රපටි බලන්න. ඒවා තමයි කරන්නේ.

  • විනෝදාංශයක් විදිහට ඔබ කරන්නේ?

යාලූවෝ එක්ක ඇවිදින්න යනවා.

  • අද ඔබ රගර් ක්‍රීඩිකාවක් නොවුනා නම් මේ වෙද්දී?

පොඩි කාලෙ මට ගුරැවරියක් වෙන්න ආසාවක් තිබුනා. විද්‍යාපීඨයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුනත් ගියේ නැහැ. ඒ රාමුවකට කොටු වෙන්න තියන අකමැත්ත නිසා. එහෙමත් නැත්නම් විවාහ වෙලා ගෙදරට වෙලා ඉඳියි.

  • වඩාත් ප්‍රියකරන ක්‍රිඩයො කවුද?

චූටි කාලේ ඉඳලම සුසන්තිකා අක්කා වගේ වෙන්නයි ආසාව තිබුනේ. රගර් ගහන්න ආව දවසෙ ඉඳලා අදටත් මැච් එකකට යනවා නම් විලියම් රයිඩර් ගෙ විඩියෝවක් බලලා යන්නේ. ඒ වගේම නවසීලන්තයේ ලාචි ටත් ආසයි.

  • ගොඩක් මහන්සි වෙන නිසා විශේෂ ආහාර වගේ දෙයක් ගන්නවද?

එහෙම නෑ. හැම කෑමක්ම කනවා. චූටි කාලේ ඉඳලා අම්මා දෙන ඕනම කෑමක් කන්න පුරුදු වෙලා තියනවා. union එකෙනුත් අපට විශේෂයෙන් පෝෂණය ලබා දෙනවා.

  • Gym එකේ අයගෙන් ලැඛෙන සහයෝගය කොහොමද?

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපිට දීලා තියන ජයසුන්දර සර්, අපේ ශාරීරික මෙන්ම මානසික සමබරතාව රැකගන්න ලොකු සහයෝගයක් දෙනවා. සර් මේ තරඟාවලිය වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. කණ්ඩායමක් විදිහට ජයසුන්දර සර්ට ස්තූති කරන්න ඕන.

  • තමන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියලා හිතෙද්දි මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

ගොඩක් දුරට දැන් මට පිලිගැනීමක් තියනවා. ඒක මම සල්ලි වලින් ලබාගත් දෙයක් නෙමෙයි. මම සල්ලි බලාගෙන කවදාවත් රගර් ක්‍රීඩා කරන්නෙ නෑ. අනූෂා කියන නම දක‍ෂයින් අතරේ තියන එක ගැන සතුටුයි.

  • විශේෂයෙන් මතක් කරන්න ඕනෙ අයත් ඇති?

ඔව්. මේ ගමන මම හැමදේම දැනගෙන ආව ගමනක් නෙමෙයි. මම තවමත් රගර් ක්‍රීඩාව ගැන ඉගෙන ගන්නවා. මුල ඉඳලම මට හිටිය පුහුණුකරුවන්, නායිකාව තනූජා අක්කා, දැනට ඉන්න කළමණාකරු වගේම හිටපු කළමණාකරුවන්, චන්ද්‍රශාන් පෙරේරා සර්, ජයසුන්දර සර්, ඒ වගේම මට උදව් කල හැමෝම මතක් කරනවා.

ඇයගේ පහැදිලි කිරීම් ඇතුලත අභීත කාන්තාවකගේ ලක්ෂණ තිබිනි. කළගුණ අමතක නොකිරීමේ ගුණය දුටිමි. ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුභ පැතුම්