ගියේ නෙට්බෝල් ගැහැව්වෙ ෆුට් බෝල්

157

පසුගියදා නිමාව දුටු ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී සහභාගි වූ කණ්ඩායම් 16න් අන්තිමයා වෙලා ශ්‍රී ලංකා කණ්ඩායම නව වාර්තාවක් තියනකොට එම තරගාවලියට සහභාගි වූ තිළිණි වත්තෙගෙදර ක්‍රීඩිකාව ලෝක වාර්තාවක් තිබ්බා. ඒත් එම වාර්තාව තැබුවේ දැල්පන්දු ක්‍රීඩිකාවක් විදියට නොවෙයි පාපන්දු ක්‍රීඩිකාවක් විදියටයි.

ඒ සිදුවීම වුණේ ශ්‍රී ලංකා ලෝක කුසලාන තරගාවලියේදී මුහුණ දුන් පළමු තරගයේදීමයි. අගෝස්තු මස 7දා සිංගප්පූරුව සමඟ පැවැති එම තරගයේදී ලකුණු 56 – 43ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වුණත් තිළිණි වත්තෙගෙදර තරගයේ යෙදෙන අවස්ථාවේදී සිංගප්පූරුවේ ක්‍රීඩිකා ප්‍රමිලා හිරුබාලන්ට පයින් පහරදීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන වැඩිපුර කතා බහට ලක්වූ බවත් ආරංචියි. සිංගප්පූරු ක්‍රීඩිකාවන්ද තරගයේ ආරම්භයේ සිටම අසභ්‍ය වචන පරිහරණය කරමින් හැසිරීම මෙවන් තත්ත්වයකට පත්වූවා යැයි කීම නිදහසට කරුණක් නොවෙයි. ශ්‍රී ලංකාවට කැළලක් වූ මෙම සිදුවීම ලොව පුරා ක්‍රීඩාලෝලීන් ලක්‍ෂ සංඛ්‍යාවක් මේ වන විටත් නරඹා තිබෙනවා.

අප සතුවත් එම වීඩියෝ දර්ශනය තිබෙන අතර වත්තෙගෙදර ක්‍රීඩිකාවගේ එම ක්‍රියාව දුටු විට අපට හැඟෙන්නේ ඇය ක්‍රීඩාව තුළින් තවමත් හරිදේ ඉගෙන ගෙන නැති බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීම නොදැක්කා සේ කළමනාකාරිනී ඔලිවියා ගමගේ සහ පුහුණුකාරිනී දීප්ති අල්විස් යන මහත්මීන් නිහඬව සිටීමද රටේ ක්‍රීඩාව වෙනුවෙන් බලන විට යහපත් දෙයක් නොවේ. සභාපති යසා රාමචන්ද්‍ර මහත්මියගේ දැල්පන්දු සම්මේලනය මේ ගැන ගන්නා විනය ක්‍රියාමාර්ගය කුමක්දැයි කවුරුත් බලා සිටිති. එසේ ලංකාව මෙම ක්‍රීඩිකාවට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් සිංගප්පූරු බලධාරීන් ලෝක දැල්පන්දු සම්මේලනයට පැමිණිලි කිරීමට යන බවද පැවැසේ. ඒ කෙසේ වෙතත් මෙම ක්‍රීඩිකාව සේවය කරන විනයගරුක ගුවන් හමුදාව මේ ගැන ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි සිතේ. අවසාන වශයෙන් කිවයුත්තේ සිංගප්පූරුව පරාද කරනවා, ශේ්‍රණිගත ලැයිස්තුවේ උඩට එනවා යැයි කයිවාරු ගැසූ පාලිකාවෝ අවසානයේ ලංකාවට ගෙන ආවේ මෙවන් නරක නාම පමණි.