පන්දු රැකීම නිවැරැදි කර නොගත්තොත් අපි අමාරුවේ වැටෙනවා – ඇන්ජිලෝ මැතිව්ස්

142

පන්දු රැකීම සම්බන්ධයෙන් තම කණ්ඩායමේ සියලු දෙනා ලැජ්ජා විය යුතු බවත්, මේ දුර්වලතාව නිවැරැදි කරගනිමින් ඉදිරි තරගවලට යෑම කණ්ඩායමේ සියලු දෙනාගේම වගකීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් පැවැසීය.

ඔහු මේ අදහස් පැවැසුවේ පෙරේදා (15දා) පාකිස්තානය සමඟ මහනුවර පල්ලෙකැලේදී පැවැත්වුණු දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

“අපි දන්නවා අපි කළ වැරැද්දෙන් පාකිස්තානු කණ්ඩායමට ලකුණු 20-30ක් විතර ලැබුණා කියලා. මෙහෙම දුර්වලතා තියාගෙන අනිත් තරගවලට ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මේක අපි මෙතැනින්ම නතර කර ගත යුතුයි” යන්න මැතිව්ස්ගේ අදහස විය.

කුසල්ගේ ඉනිම පිළිබඳව ප්‍රශංසා කරමින් මැතිව්ස් පැවැසුවේ ඔහුගේ ප්‍රවේගකාරී ඉනිම අනෙක් පිතිකරුවන්ට සැහැල්ලුවෙන් ලකුණු සඳහා යෑමට මඟ පෑදූ බවය.
කුසල්ගේ හා ඩිල්ෂාන්ගේ සම්බන්ධය හේතුවෙන් පන්දුවාර 40කදී පමණ ඉලක්කය පසුකිරීමට හැකිවේයැයි තමා සිතු බව පැවැසූ මැතිව්ස් එක්වරම කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ වැටීම පීඩනයට ලක්කළ බවද කීය.
“අපි පීඩනයකට ලක්වෙලා ඉන්න වෙලාවේ චන්දිමාල්, සචිත්, මිලින්ද ඒ පීඩනය වළකාගනිමින් ක්‍රීඩා කිරීම ගැන අපි සතුටු විය යුතුයි” යනුවෙන් පැවැසූ මැතිව්ස් තිරිමාන්නගේ පිතිකරණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

“මම පිළිගන්නවා තිරිමාන්න මේ දිනවල ලකුණු අතර නැහැ කියලා. මම දන්නේ නැහැ තිරිමාන්නගේ දුර්වලතාව තියෙන්නේ කොහේද කියලා. තිරිමාන්න ඉදිරි තරගවලදී ක්‍රීඩා කරාවිද නැද්ද යන්න තවම තීරණය කරලා නැහැ. අනිත් තරගයට තව දවස් තුනක් තියෙන නිසා ඒක තේරීම් කමිටුව තීරණය කරාවි. ඒත් මම හිතනවා ඔහු ඉදිරියේදී ඔහුගේ වැරැද්ද නිවැරැදි කරගනීවි කියලා” යනුවෙන්ද මැතිව්ස් සඳහන් කළේය.
මේ අතර පන්දු 17කදී අර්ධ ශතකයක් රැස්කළ කුසල් ජනිත් සඳහන් කළේ ලොකු ඉලක්කයක් තිබූ බැවින් තමන් හා ඩිල්ෂාන් වේගයෙන් ලකුණු රැස්කිරීමට තීරණය කරගත් බවය.

“මම වාර්තා බලාගෙන සෙල්ලම් කළේ නැහැ. මම දන්නෙත් නැහැ මම වාර්තාවක් තැබුවා කියලා. මම නිතරම බලන්නේ කණ්ඩායමට මගෙන් වියයුතු සේවය පමණයි. එතැනින් එහාට මම හිතන්නේ නැහැ” යනුවෙන් පැවැසූ කුසල් සඳහන් කළේ ටෙස්ට් තරගාවලියේදී අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් කනගාටු නොවන බවය.
“ටෙස්ට් කණ්ඩායමට තෝරාගන්නවාද, නැද්ද කියන එක තේරීම් කමිටුවේ තීරණයක්. නිවැරැදි වෙලාවේදී මට අවස්ථාවක් හිමිවේවි” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.