කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (02) කොළඹ එස්. එස්. සී. පිටියේ දී අවසන් වුනා.
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කුසලානය වෙනුවෙන් පැවැති මෙම තරගය මෙවර විසඳුමක් නොමැති ව අවසන් වෙන්නේ 76 වැනි වතාවටයි.
කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආනන්ද විද්‍යාලය තරගය පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතරමඟ දී නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා සිටි අතර දෙවැනි දිනයේ දී ඔවුන් තම පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 324ක් වෙද්දී අත් හිට වූවා.
එම ඉනිම වෙනුවෙන් දිනද අතලගේ පන්දු 288කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 131ක් ලබා ගැනීමට සමත් වූවා. ඊට අමතර ව කෙනුල් ද සොයිසා පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ලට ලකුණු 145ක් කළා. එය මෙවර තරගයේ හොඳම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.
ආනන්ද ඉනිමේ ඔවුන් දෙදෙනාට අමතර ව නෙතුල එදිරිමාන්න පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 49ක් ද සහ කිත්ම විතානපතිරණ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පුන්සර රාජකරුණා සහ ඔසඳ පමුදිත කඩුලු ද්විත්වය බැගින් ද, තිසර දෙව්දුණු සහ හසිත රත්නායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- දිනද දිනයේ වීරයා වෙමින් විශිෂ්ට ශතකයක් කරා!
- සුලෝහිත සංග්‍රාමය සහ මොරටු රන් මහා සටන ඇරඹෙයි
- පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
- සුලෝහිත සංග්‍රාම භූමියත් සූදානම්
- ජයවර්ධනපුර සටන විසඳුමක් නෑ
පෙර දින සවස් වරුවේ තම පළමු ඉනිම ඇරඹූ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද තම ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 325ක් වෙද්දී අත් හිටු වීමට තීරණය කළා.
එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නදුල් ජයලත් පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා. ඔහු අනෙක් ආරම්භක පිතිකරු නායක සදෙව් සමරසිංහ හා එක්වෙමින් පළමු කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.
සදෙව් සමරසිංහ පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී දැවී යමින් එම ඉනිමේ සබඳතාව අවසන් කළා.
ඔවුන් දෙදෙනාට අමතර ව නේමින්ද අක්මීමන පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ද සහ මල්ෂ ප්‍රනාන්දු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ශාරද ජයරත්න ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අශිංශ නයිනායක සහ කිත්ම විතානපතිරණ කඩුල්ල බැගින් බෙදා ගත්තා.
ලකුණක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබා සිටියා. එහි දී නෙතුල එදිරිමාන්න පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 324 (92.2) නෙතුල එදිරිමාන්න 49, දිනද අතලගේ 131, කිත්ම විතානපතිරණ 32, කෙනුල් ද සොයිසා 73, ඔසඳ පමුදිත 2/80, පුන්සර රාජකරුණා 2/69
නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 325 (88.5) නදුල් ජයලත් 111, සදෙව් සමරසිංහ 40, මනුප මන්මිත 23, නෙමිඳු අක්මීමන 43, මානස ද සිල්වා නොදැවී 25, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 34, ශාරද ජයරත්න 4/58
ආනන්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 27 (7.0) නෙතුල් එදිරිමාන්න නොදැවී 18
තරගයේ විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – තිසර දෙව්දුණු (ආනන්ද විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ශාරද ජයරත්න (ආනන්ද විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – නඳුල් ජයලත් (නාලන්දා විද්‍යාලය)
- තරගයේ වීරයා – දිනද අතලගේ (නාලන්දා විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<