ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කුසලානය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්රාම වාර්ෂික මහා ක්‍රිකට ගැටුම මේ මස 28, මාර්තු 01 සහ 02 යන දිනවල දී කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙතෙක් පැවැති සුලෝහිත සංග්රාමයන් දෙදින තරග ලෙසින් පැවැති අතර මෙවර පළමු වරට තුන් දින තරගයක් ලෙසින් මෙම තරගය ක්‍රියාත්මකයි.
1924 වසරේ දී ආරම්භ වූ මෙම තරගය මෙරට විද්‍යාලයීය බෞද්ධ පාසල් අතර පැවැත්වෙන පැරණිත ම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙන් ම මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩි ම ක්‍රීඩකයන් ප්‍රමාණයක් එක් කරන ලද විද්‍යාල 2ක් ලෙසින් ද ප්‍රචලිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර (නාලන්දා) මෙන් ම ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ලෝක කුසලානයක් රැගෙන ආ නායක අර්ජුන රණතුංග (ආනන්ද) ද මේ විද්‍යාල ද්විත්වයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෝ.
ඊට අමතර ව සුනිල් වෙත්තිමුනි, සිදත් වෙත්තිමුනි, අජිත් ද සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, සංජීව රණතුංග, චන්ද්‍රික හතුරුසිංහ, මාවන් අතපත්තු, අවිශ්ක ගුණතිලක, තිලාන් සමරවීර, තිළිණ කණ්ඩම්බි සහ දිනේෂ් චන්දිමාල් වැන්නෝ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද අනුර රණසිංහ, ලලිත් කළුපෙරුම, හේමන්ත දේවප්‍රිය, රොෂාන් මහානාම, අසංග ගුරුසිංහ, සනත් කළුපෙරුම, කුමාර ධර්මසේන සහ මහේල ජයවර්ධන වැන්නෝ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද සුලෝහිත සංග්‍රාමය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පිවිසි අති විශාල ක්‍රීඩකයන් අතුරින් කිහිප දෙනෙක් පමණක් ලෙසින් දැක් විය හැකියි.
මෙතෙක් පැවැති සුලෝහිත සංග්රාම තරග අතුරින් තරග 12ක ජයග්‍රහණය ආනන්ද විද්‍යාලය සතු කර ගෙන සිටින අතර නාලන්දා විද්‍යාලය ජයග්‍රහණ 7ක් ලබා සිටිනවා. ඉතිරි තරග 75 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
නිමා වූ තරග අතුරින් ආසන්නත ම ජයග්‍රාහකයා වන්නේ 2022 වසරේ නාලන්දා විද්‍යාලයයි. ඔවුන් එම ජයග්‍රහණය වාර්තා කරන්නේ වසර 69කට පසුව වීම ද විශේෂත්වක් වන අතර ආනන්ද විද්‍යාලය අවසන් වරට සුලෝහිත සංග්‍රාමයක් ජයග්‍රහණය කර ඇත්තේ 2003 වසරේ දී.
ආනන්ද විද්‍යාලය
ආනන්ද විද්‍යාලය මෙවර තරගාවලියේ දී තරග 12කට සහභාගී වෙන අතර එම තරග අතුරින් ආනන්ද විද්‍යාලයට ජය ගැනීමට හැකි වෙන්නේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පමණයි.
තරග 10ක් ජය පරාජයෙන් අවසන් කරන ඔවුන් මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙතින් පමණක් පරාජය වෙනවා.
එම නිමා වූ තරග සමයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ කිත්ම විතානපතිරණ. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කිත්ම පසුගිය වසරේ දී මෙරට පැමිණි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට එරෙහි ව තරග වැදුණ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය ද ඉසිලුවා.
ඔහු නිමා වූ පාසල් තරග සමයේ දී තරග 10ක ඉනිම් 13ක දී ලකුණු 467ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නෙතුල එදිරිමාන්න ලකුණු 353ක් ද, දනිඳු සෙල්ලපෙරුම ලකුණු 264ක් ද, කෙනුල් ද සොයිසා ලකුණු 247ක් ද සහ මිහින් මුණසිංහ ලකුණු 232ක් ද ලබා ගනිමින් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වූවන් අතර ඉදිරියෙන් පසුවෙනවා. මේ අතුරින් කණ්ඩායමේ සිටින එක ම ශතකලාභියා වෙන්නේ මිහින් මුණසිංහ යි.
පන්දු යැවීමේ දී කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ලෙස ආභිශේක ලබන්නේ නායක අශිංස නයිනායක. වමතින් දඟ පන්දු යවන ඔහු ඉනිම 21ක දී පන්දු යවමින් කඩුලු 55ක් දවා ගන්නවා.
ඊට අමතර ව කිත්ම විතානපතිරණ කඩුලු 45ක් ද සහ සාරද ජයරත්න කඩුලු 36 ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අශිංස නයිනායක (නායක), කිත්ම විතානපතිරණ (උප නායක), නෙතුල එදිරිමාන්න, දනිඳු සෙල්ලපෙරුම, කෙනුල් ද සොයිසා, මිහින් මුණසිංහ, ලිත්ම පෙරේරා, දිනද අතලගේ, ඩිලාල් අමරසිංහ, ඔවින් පෙරේරා, බිනර ඉඳුවර, ශාරද ජයරත්න, කවීෂ මෙන්ඩිස්, දෙනෙත් බිම්සර, දසිත් බටුගහගේ, තිනුර සනුදිත, චමත්ක ඉරුශ, දනුජ වීරසූරිය, රශාන් ඩිලක්ෂ, දනිරු රණසිංහ, යසඳු කිරිඇල්ල.
- 118 වැනි වරටත් ඇවිලෙන “උතුරු සටන”
- ජයවර්ධනපුර සටන විසඳුමක් නෑ
- තර්ස්ටන් විද්‍යාලය 07 වැනි වරටත් සහෝදර සටනේ ජය ලබයි!
- ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දු- පාකිස්තානුවෝ එක්වෙති!
- 14 වැනි හින්දු ගැටුමේ ජය යාපනයට
නාලන්දා විද්‍යාලය
සිව් වැනි වසරේ වර්ණලාභී සදෙව් සමරසිංහ විසින් මෙහෙයවනු ලබන නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ වඩාත් කැපි පෙණෙන පිතිකරු වී ඇත්තේ උප නායක මනුප මන්මිත. සිව් වැනි වසරට ක්‍රීඩා කරන මේ වමත් පිතිකරු මේ දක්වා ලකුණු 700 සීමා ව ඉක්මවා ලකුණු ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
කණ්ඩායමේ වැඩිම දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් ව ඇත්තේ මල්ෂ ප්‍රනාන්දු. ඔහු කඩුලු 50ක් ඉක්මවා ලබාගෙන තිබෙනවා. ඊට අමතර ව නිමා වූ වසරේ දී බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට එරෙහි ව පිටියට එක් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ ඔසඳ පමුදිත මෙම කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා.
නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සදෙව් සමරසිංහ (නායක), මනුප මන්මිත (උප නායක), ඔසඳ පමුදිත, නෙමිඳු අක්මීමන, සෙත්මිණ සේරසිංහ, ගෙවිඳු මනම්පේරි, නදුල් ජයලත්, සංතුල් විජේරත්න, මල්ෂ ප්‍රනාන්දු, සහන් ලිත්ම, මානස ද සිල්වා, තිසර දෙව්දුණු, හසිත් රත්නායක, තිමත් හේරත්, රිසත් ජයරත්න, රනුග වාත්තුහේවා, මිනෙව් පරණවිතාන, පුන්සර රාජකරුණා.
මෙම තරගයට අමතර ව ආචාර්ය පී. ද එස්. කුලරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් පවත්වනු ලබන 48 වැනි එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මාර්තු මස 16 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
දෙවිදුහල් අතර මෙතෙක් පැවැති එක්දින තරග 47ක දී තරග 26ක් ජයග්‍රහණය කිරීමට නාලන්දා විද්‍යාලය සමත් ව ඇති අතර ආනන්ද විද්‍යාලය තරග 16ක් ජයග්‍රහණ කිරීමට සමත් තිබෙනවා. තරග 5ක් නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<