92 වැනි ජොන් ටාබට් ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි

92nd Sir Ritzbury John Tarbat Athletics Championship 2024

105
92nd Sir Ritzbury John Tarbat Athletics Championship 2024

92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (03) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් වුනා.

ඊයේ දිනය තුළ ද නව තරග වාර්තා කිහිපයක් ම බිහි වීම විශේෂත්වයක්.

මෙහි දී පිරිමි මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ T.G.H.දුලාංජන ප්‍රදීපන් මිනිත්තු 4.43.78ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා.

මේ අතර වයස අවුරුදු 18න් පහළ කාන්තා මීටර් 400×4 ඉසව්ව නියෝජනය කළ හැටන් අඹගමුව විද්‍යාල කණ්ඩායම මිනිත්තු 3.59.11ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. එමෙන්ම පිරිමි 18න් පහළ මීටර් 400×4 ඉසව්ව නියෝජනය කළ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාල කණ්ඩායම් ද මිනිත්තු 3.21.14ක තරග නිමි කාලයක් සමඟ තවත් තරග වාර්තාවක් බිහි කළා.

ඒ අනුව මෙවර තරගාවලිය තුළ නව 18න් පහළ ජාතික වාර්තා ද්විත්වයක් අලුත් වූ අතරම, තවත් තරග වාර්තා 14ක් ද වෙනස් වීම විශේෂත්වයක්.

ඊයේ දිනයෙන් නිමා වූ 92 ශ්‍රීමත් ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලේ දී කාන්තා 16න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වූ වත්තල ලයිසියම් විද්‍යාලයේ දිලිනි රාජපක්ෂ මෙවර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

මෙම පිම්ම හේතුවෙන් තවමත් 14 හැවිරිදි වියේ පසු වන දිලිනි මෙවර දක්ෂතම දුර පැනීමේ ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

මේ අතර දකුණු ආසියානු රන් පදක්කම් ලාභි වත්තල ලයිසියම් විද්‍යාලය නියෝජනය කරන සඳුන් කෝසල 20න් පහළ මීටර් 110 කඩුලු පැන දිවීම ඉසව්ව තත්පර 14.10කින් නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, මේ හේතුවෙන් ඔහු මෙවර දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

මීට අමතරව දකුණු ආසියානු රන් පදක්කම් ලාභි උසපැනීමේ ක්‍රීඩක ලෙසඳු අර්තවිදු මෙවර දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නා අතරේ, මීටර් 400 ඉසව්වෙන් 18න් පහළ ජාතික වාර්තාව සම කිරීමට සමත් වූ ඔමෙල් සිල්වා මෙවර දක්ෂතම මීටර් 400 ධාවකයා ලෙස සම්මාන දිනා ගත්තා.

මීට අමතරව මෙවර ක්‍රීඩා උළෙලේ වඩාත් කැපී පෙනන ක්‍රීඩිකාවක් බවට පත් වූ ගම්පොල වික්‍රමභාහු විද්‍යාලය නියෝජනය කරන තරුෂි අභිශේකා විසින් ඊයේ දිනයේ සිය තෙවැනි රන් පදක්කම (18න් පහළ මීටර් 1500 ඉසව්වෙන්, මීට පෙර ඇය මීටර් 3000 සහ 800 ඉසව් ද්විත්වය ද ජය ගත්තා) ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

අවසන් වශයෙන් ක්‍රීඩා උළෙලේ පිරිමි ශූරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය ජයග්‍රහණය කරද්දී, එහි දෙවැනි තැන කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සහ තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට හිමි වුනා. එමෙන්ම කාන්තා ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල හිමි කර ගන්නා අතරේ දෙවැනි ස්ථානය වලල රත්නායක විද්‍යාලයටත්, තෙවැනි ස්ථානය මීගමුව ආවේ මරියා විද්‍යාලයටත් හිමි වුනා.

දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>