මොරටු රන් සටනට සේනා බල ගැන්වේ

129
75th Battle of Golds Moratuwa

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 75 වැනි වරටත් පැවැත්වෙන “මොරටු රන් සටන” මේ මස 28, මාර්තු 1 සහ 2 යන දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතයි.  

1933 වසරේ දී පළමු වරට ඇරඹි මෙම වාර්ෂික තරගමාලාවේ 1935, 1936, 1937, 1955, 1959 සහ 1977 වසරවල ලත් ජයග්‍රහණ 6ක් වේල්ස් කුමරුවන් විසින් ද 1962, 1966, 2011 සහ 2024 වසරවල ලත් ජයග්‍රහණ 4ක් සාන්ත සෙබස්තියන්වරුන් විසින් ද හිමිකර ගෙන තිබෙනවා. ඉතිරි තරග ඉතිහාසයට එක් ව ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.   

වේල්ස් කුමාර විද්‍යාලය රන් සටන් ඉතිහාසයේ වැඩි වාර ගණනක් ජයග්‍රහණය කළ ද ඔවුන්ට 1977 වසරෙන් පසුව ගෙවී ගිය 47 වසරක් තිස්සේ රන් සටන් කුසලානයේ පහස ලබා ගැනීමට හැකි වී නැහැ. ඉතිහාසයේ ලත් ඒ අනගි අවස්ථාව වේල්ස් කුමරුවන් වෙත ලබා දීමේ දී කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය පෙම්ලාල් ප්‍රනාන්දු සතු වෙනවා. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පසුගිය වසරේ පැවැති මොරටු රන් සටන ජයග්‍රහණය කරමින් ආසන්නත ම ජයග්‍රාහකයා ලෙස ඉතිහාසයට එක් වීමට සමත් වුනා. එම කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය හිමි වූයේ මනුජ් චන්තුක වෙතයි.  

එම තරගයට අමතර ව එවර වාර්ෂික එක්දින තරගයේ ද සහ වාර්ෂික විස්සයි විස්ස තරගයේ ද ජයග්‍රහණයන් ද ඔවුන් සතු කර ගනිමින් වසරේ කුසලාන ත්‍රිත්වය ම දිනා ගැනීමට සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

එම ඉතිහාසයත් සමඟින් මෙවර තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය රයන් දිසානායක පෙරටුකර ගනිමින් ද සහ වේල්ස් කුමාර විද්‍යාලය රිවිත් ජයසූරිය පෙරටුකර ගනිමින් ද ප්‍රථම වරට තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක මොරටු රන් සංග්‍රාම භූමියට පිවිසීමට නියමිතයි. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier A කාණ්ඩය නියෝජනය කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙම වසරේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් එක් කණ්ඩායමක් ලෙසයි මෙවර මොරටු රන් සටනට එක් වෙන්නේ.  

ඔවුන් නිමා වූ වසරේ දී තරග 13කට මුහුණ දෙමින් ඉන් තරග 5ක දී පූර්ණ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා. එම තරග වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයයි.  

අනෙකුත් තරග 8න් තරග 7ක් ජය-පරාජයෙන් තොරව ද සහ අනෙක් තරගය විසඳුමකින් තොරව ද අවසන් වෙනවා.  

කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර ඉදිරියෙන් ම සිටින්නේ උශේන් සිල්වා. ක්‍රියාත්මක පාසල් ක්‍රිකට් තරගවාරයේ අවසන් පූර්ව තරගයේ දී ශතකලාභී උශේන් සිල්වා  මේ වන විට තරග 13ක ඉනිම් 19ක දී ලකුණු 842ක් ලබා සිටිනවා.  

ඔහුගේ ඉනිම් අතර කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 189ක් සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 106ක් ද ඇතුලත් අතර ඊට අමතර ව අර්ධ ශතක ද ඊට ඇතුලත්.  

ඔහුට අමරත ව නවොද් ප්‍රනාන්දු කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහි ව වාර්තා කරන ලද ශතකයක් සහ තවත් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 536ක් ද, කවීෂ පෙරේරා අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 513ක් ද ලෙසින් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ ඉහළින් ම පසු වෙනවා.  

එමෙන් ම නායක රයන් දිසානායක ලකුණු 451ක් සහ අදේශ් අල්මේදා ලකුණු 353ක් ද ලබා ගනිමින් කැපී පෙණෙන පිතිකරුවන් වී සිටින අතර ශෙෆාන් ප්‍රනාන්දු, කොශේන්ද්‍ර ප්‍රනාන්දු සහ ලශේන් ප්‍රනාන්දු ද ලකුණු 200 ඉක්මවා යමින් විශ්වසනීය පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.  

පන්දු යවන්නන් අතර කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන මලින්ත සිල්වා වෙත හිමි ව ඇත්තේ අති විශේෂ විශ්වාසයක්. ඔහු මෙවර තරගවාරයේ දී කඩුලු 85ක් දවා ගනිමින් දක්ෂතා දක්වමින් සිටිනවා. ඔහු මේ වන විට ද මෙවර පාසල් ක්‍රිකට් සමයේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා ලෙසින් ද වැජඹෙනවා.  

ඒ අතරට ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 5ක් සහ තරගයක කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් ද වාර්තා කිරීමට ඔහු සමත් ව සිටිනවා. මේ අතර ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වූයේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව ලකුණු 74කට දවා ගත් කඩුලු 8යි.  

පිතිකරුවෙක් ලෙසින් ද ඔහු ලකුණු 200 ඉක්මවා ලබා ගෙන තිබෙනවා.  

ඔහුට අමතර ව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් බවට පත් ව සිටින්නේ නායක රයන් දිසානායක (29), අදේශ් අල්මේදා (25) සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු (22) ඉහළින් ලැයිස්තු ගත ව සිටිනවා.  

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

රයන් දිසානායක (නායක), අදේශ් අල්මේදා, උෂේන් සිල්වා, කවීෂ පෙරේරා,  නවෝද් ප්‍රනාන්දු, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, ශෙෆාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), මලින්ත සිල්වා, ශෙනාශ් හෂේන්, සෙන්දිනු පීරිස්, රිසිනු ප්‍රබේශ්, ලශෙන් ප්‍රනාන්දු, ආකාශ් දිසානායක, ශෙනාන් ද සිල්වා, මෙෂොන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), අදීශ ලක්ෂාන්, ශෙනුෂ් ප්‍රනාන්දු 

 

නිලධාරීන් 

 

දයා ධර්ශන පියතුමා (විදුහල්පති), දිලූෂ චාමර පියතුමා (ක්‍රීඩාභාර ආචාර්ය), කනිශ්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), සඳරු පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), පසන් වනසිංහ (ප්‍රධාන පුහුණුකරු), මොහොමඩ් අසාර් (සහාය පුහුණුකරු), පුබුදු ප්‍රසාද් (සහාය පුහුණුකරු), කැලුම් පෙරේරා (ශාරීරික පුහුණුකරු), ඇන්ස්ලම් ප්‍රනාන්දු (දත්ත සටහන්කරු) 

වේල්ස් කුමාර විද්‍යාලය 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier A කාණ්ඩය නියෝජනය කළ වේල්ස් කුමාර විද්‍යාලය මෙවර මොරටු රන් සටනට පිවිසෙන්නේ දක්ෂතා සැපිරූ තුන් ඉරියව් නායකයෙක් වන රිවිත් ජයසූරිය යටතේයි.  

ඔහු නිමා වූ තරග සමයේ දී ලකුණු 750ක් සහ කඩුලු 40කට වැඩියෙන් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතා දැක් වූවා.  

එමෙන් ම ඔෂාන් ද සිල්වා සහ සුවස් ප්‍රනාන්දු ද ලකුණු 700 සීමාවන් ඉක්මවා යමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඊට අමතර ව නවීන් ප්‍රනාන්දු සහ දෙනෙත් සිතුමිණ ලකුණු 500 සීමාවේ සිටිමින් මෙම තරගය හා එක් වීමත් සමඟින් ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව මෙවර වඩාත් ශක්තිමත් ව තිබෙනවා.  

පන්දු යැවීමේ නෙතුන් අනුහස් කඩුලු 50ක් ඉක්මවා දවා ගනිමින් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා ලෙස විශ්වාසය දිනා ඇති අතර ඊට අමතර ව රිසින් සිල්වා, රුසඳු සිල්වා, ප්‍රින්ස් ප්‍රනාන්දු සහ නෙතුල් අනුහස් ද දක්ෂ පන්දු යවන්නන් ලෙසින් ඇගයීමට ලක් ව සිටිනවා.  

වේල්ස් කුමාර විද්‍යාලය මෙම පාසල් වාරයේ දී මේ දක්ෂතා දැක්වීමේ දී තරග 13කට සහභාගී වූ අතර ඉන් තරග 3ක් ජයග්‍රහණය කරනු ලබන අතර අනෙකුත් තරග විසඳුමකින් තොරව අවසන් කරනවා.  

වයස අවුරුදු 19න් පහළ වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම 

රිවිත් ජයසූරිය (නායක), ඔෂාන් ද සිල්වා, නෙතුල් අනුහස්, රසිඳු ප්‍රනාන්දු, ප්‍රින්ස් ප්‍රනාන්දු, රුසඳු සිල්වා, සචිර ඩේමියන්, නවීන් ප්‍රනාන්දු, සුවහස් ප්‍රනාන්දු, ප්‍රසන්න ලක්මිණ, දෙනෙත් සිතුමිණ, පළිඟු පෙරේරා, යෙහෙනිත් බණ්ඩාර, ශෙනුක සේනානායක, සුහස් රණවක, ප්‍රවීන් රංගන, හසිඳු චමෝද්, තුසිඳු දීමන්ත, රිවින් පීරිස්, දිනෝද් රන්තුල්, විශ්ව දේශාන්, නෙහාන් අනුහස්, ගවේශ රෝහණ, පසන් කුරේ.

 

නිලධාරීන් 

 

හසිත කේසර වෙත්තිමුණි (විදුහල්පති), මේජර් දමින්ද්‍ර කඩලිගම (ක්‍රීඩා භාර ආචාරිය), සරත් තිලකරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), ඩිල්ශාන් මෙන්ඩිස් (ප්‍රධාන පුහුණුකරු), සිතුම් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු) 

40 වැනි එක්දින තරගය එක්දින තරගය අප්‍රේල 8 වැනිදා මොරටුවේ දීම පැවැත්වෙන අතර මේ දක්වා නිමා වූ තරගවල දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවස්ථා 20ක දී සහ වේල්ස් කුමාර විද්‍යාලය අවස්ථා 15ක දී ද ජයග්‍රහණය වාර්තා කර තිබෙනවා.  

පැවැති අනෙක් තරගවල දී 2014 වසරේ තරගයේ ලකුණු සම වීමෙන් අවසන් වන අතර 1990 සහ 2008 වසරවල තරග විසඳුමකින් තොරව අවසන් වනවා. 2020 වසරේ තරගය අතහැර දැමුණ තරගයක් ලෙසින් ඉතිහාසයට එක් ව තිබෙනවා. 

තරගමාලාවේ අවසන් වසර ත්‍රිත්වයේ ම ජයග්‍රහණය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වෙන අතර වේල්ස් කුමාර විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2021 වසරේදීයි.  

දෙවිදුහල් අතර 3 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස තරගය මේ මස 9 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. නිමා වූ එම තරග ද්විත්වයේ ම ජයග්‍රහණය සාන්ත සෙබස්තියන්වරුන් සතු වෙනවා.  

75 වැනි මොරටු රන් සටනට එක්වෙන මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම්වලට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්! 

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 63 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog ViU app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.  

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<