ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට යුපුන් නෑ!

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

2452
63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

මෙම වසරේ පැවැත්වීමට නියමිත 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය, ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (04) මලල ක්‍රීඩා සංගමයේ සංවිධානයෙන් පැවැත්වුනා.

කොළඹ Light House Gallery පරිශ්‍රයේ දී පැවති මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

පසුගිය දා පැවති යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගත් ප්‍රගතිය පිළිබඳ අදහස් දැක්වූ පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙරට ක්‍රීඩිකාවන් වර්තමානයේ ලබා ගත් දස්කම් පිළිබඳ සිය සංගමය සතුටට පත් වෙන බවයි.

“මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මැයි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන මේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2265ක් සහභාගී වෙන්න නියමිතව තිබෙනවා. මේ තරගාවලිය යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ද ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳ ගත්තම ඒකට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. අපි විශේෂ කමිටු නම් කරන්න ඕන, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා නම් අවසර ගන්න ඕන. ඒ වගේ ඉතා ලොකු ක්‍රියාවලියක් කරලා තමයි අපි ඒකට සංචිත තෝරන්නේ,” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඔහුට අමතරව මාධ්‍යවේදීන් ඇමතූ මලල ක්‍රීඩා සංගමයේ නිලධාරි සමන් කුමාර ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සංචිතය ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු මේ වන විට සංවිධානය කරමින් පවතින බවයි.

එමෙන්ම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා යුපුන් අබේකෝන් සහභාගී නොවන බව සහ උෂාන් තිවංක සහ ධනුෂ්ක සඳරුවන් හට ද ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අවිනිශ්චිත බව ඔහු ප්‍රකාශ කළා.

එම ක්‍රීඩකයින් සියලු දෙනා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට නියමිත බවත්, වසර 17කට පසු ආසියානු පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි කණ්ඩායමක් මෙවර සහභාගී කිරීමට සූදානම් බව ද ඔහු පවසා සිටියා.

මලල ක්‍රීඩා පිටියේ ඉතා කාර්ය බහුල වසරක් වන මෙම වසරේ දී ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය, ආසියානු ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ඉසව් රැසක් පැවැත්වීමට නියමිතයි.

63 වැනි ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ඇතුළු දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ තොරතුරු එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<