62 වැනි සංග්‍රාමයට සැරසෙන කොළඹ සහෝදරයෝ

62nd Battle of the Brothers

73
62th Battle of the Brothers

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 62 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 21, 22 සහ 23 යන තෙදින කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Blackham Wijewardana අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය මෙවර තුන් දින තරගයක් ලෙසින් පළමු වරට ක්‍රියාත්මකයි.

1964 වසරේ දී ආරම්භ වූ මෙම තරගමාලාවේ මෙතෙක් නිමා වූ තරග අතුරින් තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණ 6ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවෙන අතර ඉසිපතන විද්‍යාලයට ජයගත හැකිව ඇත්තේ තරග 4ක දී පමණයි. තරග ඉතිහාසයේ එක් වරක් තරගය නොපවත්වා ඇති අතර අනෙක් තරග 50 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

සහෝදරයන්ගේ සංග්‍රාම ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වෙන්නේ 2019 වසරේදීයි. එහි ගෞරවය කඩුලු 10කින් තරගය ජයග්‍රහණය කිරීම දක්වා රැගෙන ගිය තර්ස්ටන් විද්‍යාලයේ සඳරු ඩයස් වෙත හිමි වෙනවා.

ඉසිපතන විද්‍යාලය අවසන් වරට සහෝදරයන්ගේ සංග්‍රාම කුසලානයක් තමන් සන්තක කරගෙන ඇත්තේ 1999 වසරේ ක්‍රිශාන්ත ජයවර්ධන ගේ නායකත්වය යටතේයි.

මෙවර තරගයේ දී ඉසිපතන විද්‍යාලය මෙහෙයවීමේ වගකීම 5 වැනි වසරේ වර්ණලාභී ලෙසඳු කල්පගේ සතු වෙන අතර  තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී තිබෙන්නේ තනුග පළිහවඩන වෙතයි.

ඔවුන් මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට පෙර පසුගිය සතියේ දී ද එකිනෙකා හමුවෙනවා. ඒ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන ලද වයස අවුරුදු19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier B කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ දී ද එකිනෙකා හමු වෙමිනුයි.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය තියුණු අවසානයකින් යුක්ත වූවා. එහි දී ඉසිපතන විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 304ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව ඉසිපතන විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත් තර්ස්ටන් විද්‍යාලය තරගාවලියේ අවසන් මහා තරගයට එක්වීමට සුදුසුකම් ලබා ගන්නවා.

එම තරග ප්‍රතිඵලයත් සමඟින් වඩාත් උණුසුම් තරගයක් නැරඹීමට මෙවර තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ට අවස්ථාවක් හිමි වෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

ඉසිපතන විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය නිමා වූ වසරේ දී තරග 11කට මුහුණ දී ඇති අතර එහි දී මොරටු විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව ජයග්‍රහණ ලබා ගනිමින් නිමා කිරීමට සමත් වෙනවා.

සහභාගී වූ අනෙක් තරග අතුරින් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙතින් පරාජයට පත් වෙන ඔවුන් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟ තරග විසඳුමකින් තොරව අවසන් කරනවා.

නිමා වූ එම තරග සමයේ දී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙන්නේ මැදි පෙළ දකුණත් පිතිකරු නායක ලෙසඳු කල්පගේ. ඔහු ඉනිම 13කට සහභාගී වෙමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 456ක් ලබා ගන්නවා. මෙම ලකුණු අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 80යි.

ඔහුට අමතර ව රුචිත් රොද්‍රිගෝ ඉනිම 16ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 383ක් ද සහ නවිඳු හෙට්ටිආරච්චි ඉනිම 16ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 361ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

කණ්ඩායමේ එක ම ශතකලාභියා වෙන්නේ රන්මිත් සෙනරත්. ඔහු මොරටු විද්‍යාලයට එරෙහි ව ලකුණු 121ක් ලබා ගන්නා ලද අතර තරගාවලියේ පළමු වටය නිමා කරන විට ඉනිම 13කට සහභාගී වෙමින් ලකුණු 342ක් ලබා ගන්නවා. ඔහු ඊට අමතර ව නැවතත් තම කණ්ඩායමේ විශ්වාසය දිනා ගනිමින් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තර්ස්ටන් විද්‍යාලය සමඟ පැවැති අවසන් පූර්ව වටයේ තරගයේ දී ලකුණු 156ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට ද සමත් වෙනවා.

ඊට අමතර ව එම තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කරන මලීෂ සඳරුවන් ද ඉනිම 13ක දී ලකුණු 269ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඉසිපතන විද්‍යාලයේ උප නායක චනුල් දිනෝත් ඉනිම 13ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 314ක් සහ කඩුලු 18ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වනවා. සිව් වැනි වසරේ වර්ණලාභියෙක් වන ඔහු වමත් පිතිකරුවෙක් ලෙසත් සහ දකුණතින් මඳ වේග පන්දු යවමිනුත් මෙම දක්ෂතා දැක් වූවා.

පන්දු යවන්නන් අතුරින් කණ්ඩායමේ ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ පළමු වසරට කණ්ඩායම හා එක් වූ මෙනුල සදෙව්. වමතින් දඟ පන්දු යවන ඔහු නිමා වූ තරග සමයේ දී කඩුලු 50ක් දවා ගන්නා ලද අතර  කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ද ඔහු සතු කර ගන්නවා. ඒ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව ලකුණු 50කට කඩුලු 6ක් දවා ගනිමිනුයි. ඊට අමතර ව කොළඹ මහානාම විද්‍යාලයට එරෙහි ව ද ලකුණු 102කට කඩුලු 6ක්, මොරටු විද්‍යාලයට එරෙහි ව ලකුණු 26කට කඩුලු 5ක් සහ කොළඹ මහානාම විද්‍යාලයට එරෙහි ව ලකුණු 35කට කඩුලු 5ක් ලෙසින් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔහුට අමතර ව දසිත් පෙරේරා කඩුලු 29ක් ද, දිමුතු තාරක කඩුලු 26ක් ද සහ තිතිර සන්සිර කඩුලු 25ක් ද දවා ගන්නවා.

Isipathana college

ඉසිපතන විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

ලෙසඳු කල්පගේ (නායක), චනුල් දිනෝත් (උප නායක), දුශාන් මාලිංග, දසිත් පෙරේරා, රුචිත් රොද්‍රිගෝ, රන්මිත් සෙනරත්, මලීෂ සඳරුවන්, තිතිර සංසිර, නවිඳු හෙට්ටිආරච්චිගේ, මොහොමඩ් අස්ජාඩ්, , මෙනුල සදෙව්, දිමුතු තාරුක, විදුන් ගෙනුර, රමිරු ගෙශාන්, ජනිත කවිශාන්, සනිජ රහල්, යසිරු අභිශේක් සහ යෙෂිඳු මනීශ.

හේෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු), තුෂාල් ආදිත්‍ය (සහාය පුහුණුකරු)

තර්ස්ටන් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන වයස අවුරුදු19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier B කාණ්ඩය නියෝජනය කරන තර්ස්ටන් විද්‍යාලය එහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. ඒ සඳහා පැමිණි ගමනේ දී  ඔවුන් තරග 10කට මුහුණ දෙමින් පූර්ණ ජයග්‍රහණ 4ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2ක් වාර්තා කිරීමට සමත් වෙනවා. අනෙක් තරග නිමා වෙන්නේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.

නිමා වූ එම පාසල් ක්‍රිකට් තරගවාරයේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් වෙන්නේ රචින්ත ද සිල්වා. ඔහු ඉනිම 14ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 507ක් ලබා ගන්නවා. ඊට අමතර ව පැතුම් ධනංජය අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 390 ද සහ දිනාල් ඉඳුවර අර්ධ 2ක් සමඟින් ලකුණු 350ක් ද ලබා ගනිමින් කැපි පෙණෙන පිතිකරුවන් පත් ව සිටිනවා.

කණ්ඩායමේ සිටින වැඩිම කඩුලුලාභියා වී සිටින්නේ නායක තනුග පලිහවඩන. ඔහු කඩුලු 32ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටිනවා. ඊට අමතර ව එහි 2 වැනි ස්ථානය කඩුලු 27ක් ලබා ගත් සෙත්රු ප්‍රනාන්දු ට හිමි වෙනවා.

කෙසේ කණ්ඩායමේ සිටින වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වී සිටින්නේ 11 වැනි ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ විහස් තෙව්මික වෙතයි. ඔහු පසුගිය කාලයේ  ජාතික කණ්ඩායම හා රැඳී සිටි බැවින් නිමා වූ පාසල් තරගමාලාවේ දී තම කණ්ඩායම නියෝජනය කරමින් වැඩි තරග ප්‍රමාණයකට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන විහස් තෙව්මික මේ වන විට ක්‍රියාත්මක පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී Tamil Union කණ්ඩායම හා සමඟ එක් වෙමින් තම දක්ෂතා මුදා හරිමින් සිටිනවා.

ඔහු මෙන් ම තනුජ රාජපක්ෂ ද ආසියානු යොවුන් තරගාවලියට එක් වූ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ බැවින් ඔහුට ද තම විද්‍යාලයීය තරග කිහිපයක් ම මඟ හැරී යනවා.

කෙසේ වෙතත් මේ දෙදෙනා ම වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඉසිපතන විද්‍යාලය සමඟ පැවැති තරගයේ දී ලකුණු අතරට පිවිසීම කැපී පෙණුනා.

එහි දී කණ්ඩායමේ උප නායකත්වයේ ද කටයුතු කළ තනුජ රාජපක්ෂ ලකුණු 101ක් ලබා ගන්නා ලද අතර විහස් තෙව්මික ලකුණු 67ක් ලබා ගන්නවා. ඊට අමතර ව එම තරගයේ කැපී පෙණෙන ඉනිමක නිරත විමට රචින්ත ද සිල්වා සමත් වෙනවා. ඔහු නොදැවී ලකුණු 115ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

Thurstan college

තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

තනුග පලිහවඩන (නායක), තනුජ රාජපක්ෂ (උප නායක), විහස් තෙව්මික, ලසිඳු පුන්සර, රුවීන් තරුශික, සචින් ප්‍රේමසිංහ, රචින්ත ද සිල්වා, රිසෝන් ජන්සීන්, දිනාල් ඉඳුවර, බිනුප තත්මිර, යොවුන් සිල්ප, සෙත්රූ ප්‍රනාන්දු, තිසේන් වික්‍රමරත්න, සවිඳු දිසානායක, කෙමිත් සෙචිත, ජනිත රුක්ෂාන්, ජනුල් දම්හිරු, සෙමික රත්නසිරි, පැතුම් ධනංජය සහ හිරුෂාන් ඩයස්.

සුනෙත් ගුණතිලක (ප්‍රධාන පුහුණුකරු), රුසිරු මුණසිංහ (පුහුණුකරු), මොහාන් ෆොන්සේකා (පුහුණුකරු), දේවින්ද අයේශ් (පුහුණුකරු) ඩබ්ලිව්. ඒ. එස්. ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය)

මෙම තරගයට සමගාමීව ප්‍රියා පරණවිතාන අභියෝගතා කුසලානය වෙනුවෙන් 18 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික විස්සයි විස්ස තරගය මාර්තු මස 2 වැනිදා කොළඹ කෝල්ට්ස් පිටියේදීත් සහ ඩබලිව්. ඒ. ද සිල්වා අනුස්මරණ කුසලානය වෙනුවෙන් 45 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය මාර්තු මස 9 වැනිදා P. Sara Oval ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට යෝජිතයි.

මෙම තරගය ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare අංක 2 නාලිකාව ඔස්සේ සජීවී ව Dialog Chanel අංක 63 සුසර කර ගැනීමෙන් නැරඹිය හැකි අතර Dialog ViU සහ ThePapare.com මඟින් ද නැරඹිය හැකියි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<