මෙවර පැරිස් ඔළිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
මෙවර තරගාවලිය සඳහා පිරිමි බැඩ්මින්ටන් කේවල ඉසව්ව සඳහා විරේන් නෙත්තසිංහ සහභාගී වීමට නියමිත අතර, කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්ව සඳහා ගංගා සෙනෙවිරත්නත්, පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව සඳහා කයිල් අබෙසිංහත් සුදුසුකම් ලබා ගත්තා.
මීට අමතරව මලල ක්‍රීඩා ඉසව්වලින් තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වට ද, නදීශා ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට ද, අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්වට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
- වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
- මීටර් 800 සහය දිවීමේ වැඩි ගෞරව වළල ඒ රත්නායක විද්‍යාලයට
- Ritzbury සහය දිවීමේ සැණකෙළිය උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
විරේන් නෙත්තසිංහ මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 74 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඔහු මෙවර ඔලිම්පික් බැඩ්මින්ටන් පිරිමි ඒකල ඉසව්ව සඳහා සෘජු සුදුසුකම් ලබාගත් ළාබාලතම තරගකරු බවට ද පත් වීම විශේෂත්වයක්.
මේ අතර ගංගා සෙනෙවිරත්න ශ්‍රේණිගත කිරීම් ලකුණු 688ක් ද, කයිල් අබේසිංහ ලකුණු 776ක් ද සමඟිනුයි ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ.
මෙවර ඔලිම්පික් සුදුසුකම් ලද ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඉහළම ශ්‍රේණිගත කීරීම් ස්ථානයක් සමගින් සුදුසුකම් ලබාගත්තේ නදීශා ලේක්ම්ගේ වන අතර, එම ඉසව්වට සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 32ක් අතුරින් ඇය 25 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. මේ අතර තරුෂි ක්‍රීඩිකාවන් 48ක් අතුරින් 44 වැනි ස්ථානය හිමි කර ගනිද්දී, අරුණ ක්‍රීඩකයින් 48 දෙනෙක් අතුරින් 47 වැනි ස්ථානයට පත් වීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම වසර විස්සකට පසුව ශ්‍රී ලංකාවෙන් පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා ක්‍රීඩකයකු ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් අවස්ථාව ලෙසයි අරුණගේ මෙම ජයග්‍රහණය සනිටුහන් වුනේ.
මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය එළඹෙන ජුලි 26 වැනි දා රාත්‍රි 7.30ට ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, එහි දී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ වගකීම විරේන් නෙත්තසිංහ සහ නදීශා ලේකම්ගේ හට හිමි වී තිබෙනවා.
මෙවර ඔළිම්පික් උළෙලේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<