බෙනඩික්වරුන් රශ්මිකගේ ශතකය උදුරා ගනී

5th James Cartman Cup

49
5th James Cartman Cup

ජේම්ස් කාර්ට්මන් පියතුමන් අනුස්මරණය කරමින් ප්‍රදානය කරනු ලබන ශූරතා කුසලානය (James Cartman Trophy) වෙනුවෙන් කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (31) කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

එහි දී දිනයේ අවාසනාවන්ත ම සිදු වීම වූයේ ශතකයක් කරා යෑමට හොඳට ම ඉඩකඩ විවර වී තිබිය දී රශ්මික අමරරත්න දුවද්දී දැවී යෑමකට ගොදුරු වීමයි. ඒ වෙද්දී ඔහුට ශතකයක් සඳහා අවශ්‍ය ව තිබුණේ ලකුණු 2ක් පමණයි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්වරුන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූවා. තරගය පළමු දිනයට අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 102ක් ලබා සිටිනවා.

වෙස්ලි විද්‍යාලයීයවයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

 

අනුග පහන්සර (නායක), බිනෝත් සංදිල්, රශ්මික අමරරත්න, ලිතුම් සෙනුජ, දිනුජ සමරරත්න, රුක්ෂාන් තරංග (කඩුලු රකින්නා), දෙනෙත් සිගේරා, සෙනාල් වීරසේකර, දෙනුවන් නෙත්මල්, සිතුක හංසිත්, ශ්‍රීරාම් ජීවහන්.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ශාරුජන් ශම්මුගනාදන් (නායක), දිදුල එදිරිසූරිය, ටෙහාන් බීටර් (කඩුලු රකින්නා), ජනිඳු නන්දසේන, මෙවන් දිසානායක, මානික්‍ය දේශප්‍රිය, ට්‍රිශේන් සිල්වා, විහඟ රත්නායක, අයේශ් ගජනායක, දිනත් සෙනිල, සමිඳු පීරිස්.

වෙස්ලි විද්‍යාලයීය පළමු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 5ක් වෙද්දී දවා ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වෙනවා. ඒ සමඟින් පන්නරය වූ ඔවුන් තරගයේ ආරම්භයේ සිට ම වෙස්ලි ඉනිම පාලනය කිරීමට සිතූව ද එය එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ.

ඔවුන්ගේ 2 වැනි කඩුල්ලේ දී පන්දු 136ක දී ලකුණු 63ක සබඳතාවක් ගොඩ නැගීමට නායක අනුග පහන්සර සහ රශ්මික අමරරත්න සමත් වෙනවා. ඔවුන් අතුරින් අනුග පහන්සර පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව නැවත වෙස්ලි ඉනිමට දීර්ඝ ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 4 වැනි කඩුල්ල වෙනුවෙනුයි. එහි දී ද රශ්මික අමරරත්න පෙරමුණ ගන්නා ලද අතර ඔහුගේ සහායකයා වූයේ දිනුජ සමරරත්න. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 125කට මුහුණ දෙමින් ලකුණු 69ක සබඳතාවක් එක් කරනවා. දිනුජ සමරරත්න පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී යනවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ රුක්ෂාන් තරංග පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15කට දැවී ගිය අතර ඒ සමඟ ම යැවුණ අනෙක් පන්දුවේ දී එතෙක් වෙස්ලි ඉනිමේ වීරයා බවට පත් ව සිටි රශ්මික අමරරත්න ශතකය පෙනී පෙනී තිබිය දී දුවද්දී දැවී යෑමකට හසු වෙනවා.

ඔහු වෙස්ලි ඉනිමේ දිනයේ දැවී ගිය අවසන් පිතිකරු බවට පත් වෙද්දී පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 98ක් ලබා සිටියා. වෙස්ලි ඉනිම අත්හිටුවන විට දෙනෙත් සිගේරා (7) සහ සෙනාල් වීරසේකර (3) නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දිනත් සෙනිල සහ මෙවන් දිසානායක කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු සාන්ත බෙනඩික්ට් ඉනිමේ ආරම්භය ද එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 14 දී අහිමි වෙනවා. අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවක් එක් කිරීමට ටෙහාන් බීටර් සහ ජනිඳු නන්දසේන සමත් වෙනවා.

ජනිඳු නන්දසේන පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටිය දී දැවී ගිය අතර ටෙහාන් බීටර් පන්දු 94කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටිය දී දැවී ගියා.

තරගය පළමු දිනයට නතර කරන විට නායක ශාරුජන් ශන්මුගනාදන් පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද සහ මෙවන් දිසානායක පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී ශ්‍රීරාම් ජීවහන් ලකුණු 27කට කඩුලු 2ක් ද සහ දිනුජ සමරරත්න කඩුල්ලක් දවා ගෙන තිබුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • වෙස්ලි විද්‍යාලයය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 208 (65.0)අනුග පැහැසර 31, රශ්මික අමරරත්න 98, දිනුජ සමරරත්න 34, ශාරුජන් ශන්මුගනාදන් 2/38
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 102 (30.0)ටෙහාන් බීටර් 36, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 22, මෙවන් දිසානායක නොදැවී 20

තරගය හෙට (01) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog TV නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare 2, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<