අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 56 වැනි වරටත් පැවැත්වෙන “සුනිල සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 05 සහ 06 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
1963 වසරේ දී ආරම්භ වූ මෙම තරගය මෙරට මිශ්‍ර පාසල් අතර පැවැත්වෙන පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසිනුයි සැලකෙන්නේ. විවිධ හේතුවෙන් මත අවස්ථා කිහිපයක දී මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය නොපැවැතී අතර ඒ අනුව නිමා වූ තරග 55 අතුරින් අවස්ථා 12ක ජයග්‍රහණ ධර්මාශෝක විද්‍යාලය ද, අවස්ථා 2ක ජයග්‍රහණ ශ්‍රී දේවානන්ද විද්‍යාලය විසින් ද ලබා ගන්නා ලද අතර විසඳුමකින් තොරව අවසන් වූ සුනිල සංග්‍රාම තරග ප්‍රමාණය 41ක්.
සුනිල සංග්‍රාම ඉතිහාසයේ අවසන් වරට තරගයක ජයග්‍රහණයක් වාර්තා වෙන්නේ 2022 වසරේ දීයි. ෂෙහාන් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලැබූ එම ජයග්‍රහණය ඔවුන් වාර්තා කරන්නේ වසර 56කට පසුව වීමත් විශේෂත්වයක්. ධර්මාශෝක විද්‍යාලය අවසන් වරට සුනිල සංග්‍රාම කුසලානයක් හිමිකර ගන්නේ 2019 වසරේ දිනුක ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුතුවයි.
සුනිල සංග්‍රාම ඉතිහාසය
සුනිල සංග්‍රාම ඉතිහාසය වර්ණවත් කරමින් ලියැවෙන සටන්කාමීන් අතර කලක් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය දැරූ සහ වර්තමානයේ ජාතක ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙසින් කටයුතු කරන උපුල් තරංග ගේ නම ඉහළින් ම ලියැවෙනවා. ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කළ ඔහු 2004 වසරේ දී ලබා ගන්නා ලද ලකුණු 169 සුනිල සංග්‍රාම ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් එතෙක් මෙතෙක් වාර්තා කළ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් තවමත් නිරුපද්‍රිතව තිබෙනවා.
එමෙන් ම සුනිල සංග්‍රාම ඉතිහාසයේ තවත් සුවිශේෂී ක්‍රීඩකයන් දෙපළක් ලෙසින් ධර්මාශෝක විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය හිටපු ටෙස්ට් සහ එක්දින නායක දිනේෂ් චන්දිමාල් සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ධර්මාශෝක විද්‍යාලයට ගිය තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ද හැඳින්විය හැකියි.
එමෙන් ම ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායම හා එක් වූ සමන් ජයන්ත ද ගෞරවනීය සුනිල සහෝදරයෙක්.
70 දශකයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය දඟ පන්දුවෙන් කැළඹූ අජිත් ද සිල්වා ගේ නම අම්බලන්ගොඩ ක්‍රිකට් ඉතිහාසයේ අමතක කළ නොහැකි නමක්. ධර්මාශෝක විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ගොස් ජාතික කණ්ඩායම හා එක් වූ අජිත් ද සිල්වාට ගමෙන් කොළඹට සංක්‍රමණය වීම හේතුවෙන් ම සුනිල සංග්‍රාම ඉතිහාසයට ඔහුගේ නම ඇතුලත් කර ගැනීමට හැකි වෙන්නේ නැහැ.
ඒ කෙසේ වෙතත් ගම අම්බලන්ගොඩ කරගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ඒ සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම්වල සමාජිකයන් සේ කටයුතු කළ ජේ. ඩබ්ලිව්. ආනන්ද (ශ්‍රී දේවානන්ද), ටී. අරුණ (ධර්මාශෝක), හැළඹගේ ප්‍රේමසිරි (ධර්මාශෝක), පී. මිල්ටන් (ශ්‍රී දේවානන්ද), සරත් අශෝක (ශ්‍රී දේවානන්ද), ඒ. ඩී. බන්දුල (ධර්මාශෝක), ජනක කුමුදු (ධර්මාශෝක), සුරාජ් සංජීව (ශ්‍රී දේවානන්ද) පුලින තරංග (ශ්‍රී දේවානන්ද) සහ සොහාන් ද ලිවේරා (ශ්‍රී දේවානන්ද) ද දක්ෂ සුනිල සටන් සගයන් ලෙසින් හැඳින්විය හැකියි.
මේ අතරට ශ්‍රී ලංකා අතර වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ සුනිල ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අතුරින් ශ්‍රී දේවානන්ද විද්‍යාලය නියෝජනය කළ ධම්මික නිරෝෂන් 2002 වසරේ දී නවසීලන්තයේ පැවැති යොවුන් ලෝක කුසලානයේ නායකයා ලෙසින් කටයුතු කරමින් එම කාණ්ඩයෙන් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමත් සුවිශේෂී මතකයක්. අකාලයේ මියගිය ඔහු අද සුනිල සංග්‍රාම භූමිය අහිමි වූ ප්‍රේක්ෂකයෙක්.
සුනිල සංග්‍රාම සටන් සගයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික කණ්ඩායම නියෝජනය කළ මංජුල ගුරුගේ (ශ්‍රී දේවානන්ද) මෙන් ම ගයාන් ද සිල්වා (ධර්මාශෝක) ද දක්ෂතා දැක් වූ සුනිල සටන් සගයන් ලෙසින් හැඳින්විය හැකියි. මේ අතුරින් මංජුල ගුරුගේ එරට නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කළ අතර අද ඔහු ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.
එමෙන් ම ක්‍රිකට් තරග පිටියේ තරග තීරකයන් ලෙසින් කටයුතු කරන රංජිත් ප්‍රියන්ත (ශ්‍රී දේවානන්ද) සහ ජනක කුමුදු (ධර්මාශෝක) ද, ජාත්‍යන්තර තරග පිටියට එළිපත්තේ සිටින යොවුන් ක්‍රිකට් තරග විනිසුරු චාමර ද සොයිසා (ධර්මාශෝක) සහ පළමු පෙළ තරග විනිසුරුවන් වූ ඩිල්ශාන් ද සිල්වා (ධර්මාශෝක), ලලිත් නන්දන (ධර්මාශෝක), චතුරාන් සංජීව (ධර්මාශෝක), සමන් මොහාන් (ධර්මාශෝක) සහ චමින්ද බණ්ඩාර (ශ්‍රී දේවානන්ද) වැන්නෝ ද සුනිල සංග්‍රාම ඉතිහාසයේ මතකයන් අතර සැරි සරන්නන් ලෙසින් හැඳින්වෙනවා.
මීට අමතර ව දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනයට එක් ව සිටින හැළඹගේ වසන්ත කුමාර (ධර්මාශෝක) ද, මෙවර වයස අවුරුදු 60ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ලාල් රණසිංහ (ධර්මාශෝක) ද සහ මෙවර පැවැති වයස අවුරුදු 50ට ඉහළ ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානයේ විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කළ ශ්‍රියාන් හේවාවසම් (ශ්‍රී දේවානන්ද) ද සුනිල සංග්‍රාම ඉතිහාසයට එක් ව පැරණි මතක සටහන් තැබු සටන් සගයන් ලෙසින් හැඳින්විය හැකියි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙවර තරග සමයේ දී තරග 15කට සහභාගී වෙනවා. ඒ අතුරින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, මීගමුව සාන්ත පීතර විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා.
ඊට අමතර ව තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගනිමින් තරග අවසන් කරනවා.
පැවැති තරග අතුරින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කලුතර විද්‍යාලය, පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලය, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙතින් පූර්ණ තරග පරාජයන්ට ද, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය වෙතින් පළමු ඉනිමේ පරාජයකට ද මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා.
මෙවර සුනිල සංග්‍රාමයට එක්වෙන දෙව්නද නායක මයුර මල්ශාන් ඉනිම 26ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 541ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වා ඇති අතර උප නායක දනිඳු ඉනෝෂ ඉනිම 25ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 551ක් ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වසනීය පිතිකරුවන් බවට පත් ව සිටිනවා.
නිමා වූ එම තරග අතුරින් ඉනිම් 22ක දී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 557ක් ලබා ගත් ලුදීශ නිම්සර කණ්ඩායමේ ඉහළ ම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් ව සිටිනවා. ඔහුගේ ඉනිම් අතර හොඳම ඉනිම බවට පත් වෙන්නේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව පන්දු 139කට මුහුණ දෙමින් ලබා ගත් ලකුණු 146යි. තෙවැනි වසරට ක්‍රීඩා කරන ඔහු කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කළ එක ම ක්‍රීඩකයායි.
කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ රවිඳු ද සිල්වා. ඔහු නිමා වූ තරග සමයේ දී ලකුණු 425ක් සහ කඩුලු 71ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. දකුණතින් දඟ පන්දු යවන රවිඳු ද සිල්වා ගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ මාතර රාහුල විද්‍යාලයට එරෙහි ව ලකුණු 41කට දවාගත් කඩුලු 7යි.
ඔහුට අමතර ව මිනිඳු ඕෂද සහ සඳලු රශ්මික ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි. මේ අතුරින් මිනිඳු ඕෂද ලකුණු 221ක සහ කඩුලු 40ක් දවා ගනිමින් ද, සඳලු රශ්මික ලකුණු 224ක් සහ කඩුලු 32ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වා තිබෙනවා.
ඔවුන්ට අමතර ව ලකුණු 352ක් ලබා සිටින මහිම් දේශායි, ලකුණු 312ක් ලබා සිටින ලශාන් රශ්මික, ලකුණු 302ක් ලබා සිටින සවීන් තියුනුවන් සහ ලකුණු 251ක් ලබා සිටින නිශිත් තේජව ද නන්දියන්ස් කණ්ඩායමේ සටන්කාමීන් ලෙසින් හැඳින්විය හැකියි.
පන්දු යවන්නන් අතුරින් සචින්ත ශෂික කඩුලු 16ක් ද සහ සවිනු ගිහන්සිත් කඩුලු 9ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
මයුර මල්ශාන් (නායක), දනිඳු ඉනෝෂ (උප නායක), ලුදීශ නිම්සර, මහීම් දේශායි, රවිඳු ද සිල්වා, සවීන් තියුණුවන්, සඳලු රශ්මික, මිනිඳු ඕෂද, නිෂිත් තේජව, ලෂාන් රශ්මික, තෙනූෂ වීරසිංහ, සචින්ත ශෂික, සවිනු ගිහන්සිත්, රාහුල් රුචිරංග, ආංශු ප්‍රේමචන්ද්‍ර, රජිත ලක්ශාන්, විහඟ මයුරංග සහ ඩේන් ක්‍රිස්ටිනෝ.
එම්. ටී. පාරමී (විදුහල්පතිනිය), ඉන්දික නිශාන්ත (ක්‍රීඩා භාර ආචාර්ය), නඳුන් කාරියවසම් (ක්‍රිකට් භාර ආචාර්ය) මංජුල ගුරුගේ (පුහුණුකරු).
- රිච්මන්ඩ් – මහින්ද ආදරවන්තයින්ගේ සටන ඇරඹෙයි!
- කුලුඳුල් ජය හොයන රත්නපුර වංශාධිපතිවරුන්
- 91 වැනි සටනට සූදානම් වන සාන්තුවරයෝ
- Cartman කුසලානය වෙස්ලි සහ බෙනඩික්වරුන් අතරේ බෙදී යයි
- පැතුම්, සොහාන් සහ දිලුම් දක්ෂතා දක්වයි
ධර්මාශෝක විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස නියෝජනය කළ ධර්මාශෝක විද්‍යාලය මෙවර තරගාවලියට එක් වෙන්නේ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයෙන්.
එහි දී ඔවුන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහි ව ලකුණු 44ක ජයක් ලබා ගනිමින් තරගාවලියේ ලත් එක ම පූර්ණ ජයග්‍රහණය වාර්තා කරනවා. ඊට අමතර ව ඔවුන් කොළඹ සහිරා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය, යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය, කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. එස්. කුලරත්න විද්‍යාලය සමඟ තරගවල දි පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් වෙනවා.
පැවැති අනෙකුත් තරග අතුරින් මාතර රාහුල විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාල වෙතින් පළමු ඉනිමේ පරාජවලට මුහුණ දෙන ඔවුන් මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟ පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් කරනවා.
මේ ගමනේ දී කණ්ඩායමේ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ උප නායක ජිතිර සංසික. ඔහු නිමා වූ තරග සමයේ දී ඉනිම 18ක දී ලකුණු 611ක් සහ කඩුලු 51ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. පිතිකරුවෙක් ලෙසින් ඔහුගේ ඉහළ ම දක්ෂතාව පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 121යි. ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයේ ද රැඳී සිටින ක්‍රීඩකයෙක්.
නායක ඉශාන් අනුරාධ වඩාත් දක්ෂතා දක්වන්නේ පන්දු යවන්නෙක් ලෙසයි. වමත් දඟ පන්දු යවන්නෙක් වන ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 41ක්. මෙවර තරග සමයේ දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ධර්මපාල විද්‍යාලයට එරෙහි ව ලකුණු 35කට දවා ගත් කඩුලු 5යි.
එමෙන් ම කණ්ඩායමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර පළමු වසරට ක්‍රීඩා කරන චන්දූප කවීශ කණ්ඩායමේ විශ්වසනීය පිතිකරුවෙක් බවට පත් ව සිටිනවා. ඔහු මේ දක්වා ලකුණු 575ක් ලබා ඇති අතර ඊට ධර්මපාල විද්‍යාලයට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 100ක් ද ඇතුලත්.
ඊට අමතර ව පිතිකරුවන් අතර ලකුණු 465ක් ලබා සිටින ඔමේග කරුණාත්න සහ ලකුණු 299ක් ලබා සිටින කවීෂ මතීශ් ද පන්දු යවන්නන් අතුරින් කඩුලු 25ක් දවාගෙන සිටින දිනෙත් ගිම්හාන්, කඩුලු 19ක් ලබා සිටින පසිඳු නදීශ් සහ කඩුලු 17ක් ලබා සිටින කවීශ සඳරුවන් ද කණ්ඩායමේ අවදානය ලක් ව සිටින ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.
ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
ඉශාන් අනුරාධ (නායක), ජිතිර සංසික (උප නායක), කවීෂ මතීෂ්, දිනෙත් ගිම්හාන, චන්දූප කවීෂ, සුහස් ද සිල්වා, පසිඳු නදීශ, ඔමේග කරුණාරත්න, ඔෂාන් මිහිරාන්, කවීෂ සඳරුවන්, දිනුක ප්‍රභාසර, රෙශිත රුවිශ්වක, අකේන් සෙන්කිත්, නිමෙත් සේලංග, තමිඳු කවීශර, කවිෂ මතීශ, චානුක කරුණාරත්න, දිනෙත් ගිම්හාන, හිවාන් දිල්මික, සෙහන්ස සේමගේ.
කේ. ඒ. ඩී. කරුණාරත්න (විදුහල්පති), රසික ජයසූරිය (නියෝජ්‍ය විදුහල්පති), සමන් බන්දුසිරි (ක්‍රිකට් භාර ආචාර්ය), රොමේෂ් මෙන්ඩිස් (ප්‍රධාන පුහුණුකරු), සමීර ද සොයිසා (සහාය පුහුණුකරු), නලින්ද රණසිංහ (සහාය පුහුණුකරු).
දෙවිදුහල් අතර පැවැත්වෙන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 8 වැනිදා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
අම්බලන්ගොඩ පුරවරය නිලෙන් බබළමින් 56 වැනි සුනිල සංග්‍රාමයට එක් වෙන ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය සහ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට Thepapare.com හී උණුසුම් සුබ පැතුම්!
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.