ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි

53rd Sir John Tarbat Junior Athletics Championship 2024

79
53rd John Tarbat Junior Athletics Championship 2024 day 03

53 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (20) දිනයෙන් සාර්ථකව අවසන් වුනා.

ඊයේ දිනය තුළ ද තවත් තරග වාර්තා කිහිපයක් ම අලුත් වීම විශේෂත්වයක්.

මෙහි දී අවුරුදු 13න් පහළ පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ ඉඹුලන මහා විද්‍යාලයේ S. ඉනුර අංජන විසින් මීටර් 1.64ක උසක් තරණය කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

මේ අතර 13න් පහළ පිරිමි මීටර් 100×4 ඉසව්ව නියෝජනය කළ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලීය කණ්ඩායම තත්පර 50.7ක කාලයකින් ඉසව්ව නිම කරමින් නව තරග වාර්තාවක් කරා ගියා.

එමෙන්ම 14න් පහළ කාන්තා යගුලිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ රත්නපුර සසෙක්ස් විද්‍යාලයේ P.A. හසාරලි විසින් මීටර් 11.19ක දුරක් යගුලිය විසිකරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

මේ අතර තවත් තරග වාර්තා කිහිපයක් ම පෙර වාර්තා සම කිරීමට ද සමත් වුනා. මෙහි දී 13න් පහළ කාන්තා මීටර් 70 කඩුලු පැන දිවීම ඉසව්ව නියෝජනය කළ නිකවැරටිය මහසෙන් විද්‍යාලයේ M. දුලක්ෂි කාවින්ද්‍යා තත්පර 12කින් සිය ඉසව්ව නිම කරමින් තරග වාර්තාවක් සම කිරීමට සමත් වූ අතරේ, මීටර් 80 කඩුලු පැන දිවීම ඉසව්ව නියෝජනය කළ නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ R.D.R. රණතුංග තත්පර 11.1කින් ඉසව්ව නිම කරමින් තවත් තරග වාර්තාවක් සම කිරීමට සමත් වුනා.

එමෙන්ම 12න් පහළ පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ දික්වැල්ල විජිත විද්‍යාලයේ සදීශ පබසර ද තවත් තරග වාර්තාවක් කරා යාමට සමත් වුනා.

මීට අමතරව මෙවර ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය තුළ 15න් පහළ කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට කඳාන OKI ජාත්‍යන්තර පාසලේ A. සමස්ති විසින් සමත් වූ අතර, 13න් පහළ කාන්තා දුර පැනීම ඉසව්වේ ජය පානදුර ලයිසියම් විද්‍යාලයේ R.A.C. පෙරේරා විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම 14න් පහළ පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට බකමූණ මහසෙන් ජාතික පාසලේ D.W. ගමගේ විසින් සමත් වූ අතර, 14න් පහළ පිරිමි දුර පැනීමේ ඉසව්ව ජය ගැනීමට ගෝනගලපුර ගෝනගල මහා විද්‍යාලයේ D.A.S. ශමල්කට හැකියාව ලැබුණා.

ක්‍රීඩා උළෙලේ සමස්ත තරග ප්‍රතිඵල පහතින්.

<<සියලු තරග ප්‍රතිඵල>>

මෙවර ක්‍රීඩා උළෙලේ පිරිමි ශූරතාව මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය විසින් හිමි කර ගන්නා අතරේ, කාන්තා ශූරතාව වත්තල ලයිසියම් විද්‍යාලයට හිමි වුනා.

සමස්ත ක්‍රීඩා උළෙලේ සජීවී තරග අත්දැකීම් ඔබ වෙත සමීප කිරීමට සමත් වූ ThePapare ඉදිරියටත් දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තරග අත්දැකීම් ඔබ වෙත සමීප කිරීමට සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<