කුලුඳුල් ජය හොයන රත්නපුර වංශාධිපතිවරුන්

41

රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ රත්නපුර නව නගරයේ කුමර විද්‍යාලය අතර 4 වැනි වරටත් පැවැත්වෙන වංශාධිපතිවරුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස මස 04, 05 සහ 06 යන දිනවල රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

2018 වසරේ දී ආරම්භ වූ මෙම තරගය මෙවර පළමු වාතාවට තුන් දින තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි. පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් අනතුරුව වසර ත්‍රිත්වයක් වංශාධිපතිවරුන් එකිනෙකා හමු නොවන අතර ඉන් අනතුරු ව නැවතත් වංශාධිපතිවරුන් හමු වෙන්නේ 2023 වසරේදීයි. මේ කිසිදු තරගයක ජයග්‍රහණ මෙතෙක් කිසිදු කණ්ඩායමට හිමි නොවූ අතර මෙවර තරගයේ දී විද්‍යාල ද්විත්වය ම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සටනට එක් වෙනවා.

මෙම තරගයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම සිතිජ ලක්ෂාන් ගේ නායකත්වය යටතේ ද කුමර විද්‍යාලය තුන් වැනි වසරට වර්ණලාභී මුදිත දම්මිත් ගේ නායකත්වය යටතේ ද තරගයට එක් වීමට නියමිතයි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී තරග 7කට සහභාගී වූ සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම ඉන් තරග 4ක පූර්ණ ජයග්‍රහණය ලබා ගනිමින් මෙම තරගය හා එක් වෙනවා.

කණ්ඩායමේ සිටින වඩාත් විශ්වාසවන්ත ම පිතිකරු බවට පත් ව සිටින්නේ ඉනිම 14ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 378ක් ලබා සිටින අසිඳු දෙව්මිණ. ඔහුට අමතර ව ඉනිම 14ක දී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 361ක් ලබා සිටින විනුජ තත්සර සහ ඉනිම 14ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 281ක් ලබා සිටින භානුක ජනිත්ප්‍රිය ද කණ්ඩායමේ පිතිකරු බලඇණිය ශක්තිමත් කිරීමට බලා සිටිනවා.

පන්දු යැවීමේ දී දිසස් දිනුලක සහ හිරුණ කේතක යන දෙදෙනා ම කඩුලු 48ක් බැගින් දවා ගනිමින් කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා. ඊට අමතර ව අශේන් උදයංග කඩුලු 32ක් දවා ගනිමින් සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය පන්දු යැවීමේ බලඇණියට ශක්තියක් එක් කරනවා.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

සිතිජ ලක්ෂාන් (නායක), තිසරු පබසර (උප නායක), ඔචින්ත ජයමින්, භානුක ජනිතප්‍රිය, චානුක ධනංජය, චමෝද් සිත්මිණ, අශේන් උදයංග, චමත් ප්‍රියංකර, හිරුණ කේතක, දිසස් දිනුලක, සසිඳු දිලක්ෂිත, අසිඳු දෙව්මිණ, කවිෂ්ක ප්‍රමෝද්, පසිඳු තිවංක, ශෂීන් ආකාශ්, විනුජ තත්සර සහ තුහින හඳගල.

 

ඩී. එම්. මද්දුමබණ්ඩාර (විදුහල්පති), කුෂාන් සමරකෝන් (ක්‍රීඩා භාර ආචාරිනී), ධනුෂ්ක ලක්මාල් (ක්‍රිකට් භාර ආචාර්ය), උපුල් කුමාර (පුහුණුකරු), අතුල කුමාර (පුහුණුකරු), අශේන් අංජන (සහාය පුහුණුකරු).

කුමර විද්‍යාලය

කුමර විද්‍යාලය මෙවර නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී තරග 6කට සහභාගී වන අතර එහි දී තරග 4ක පූර්ණ ජයග්‍රහණ ද සහ එක් තරගයක දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් වෙමින් වංශාධිපතිවරුන්ගේ සටනට එක් වීමට සූදානමින් සිටිනවා.

කණ්ඩායමේ වඩාත් විශ්වාසය දිනා සිටින පිතිකරු බවට පත් ව සිටින්නේ ඉනිම 10ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 210ක් ලබා සිටින චෙනිත රදින්. ඔහුට අමතර ව සිතුම් දිදුලංක ඉනිම 11ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 195ක් ද සහ සතික දහම්සිත් ඉනිම 8ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 156ක් ද ලබා ගනිමින් වංශාධිපතිවරුන්ගේ සටනට එක් වීමට සූදානමින් සිටිනවා.

කුමර විද්‍යාලයීය පන්දු යැවීමේ බලඇණියේ ශක්තිමත් ම සෙබලා වී සිටින්නේ තිනුක සත්සර. ඔහු කඩුලු 19ක් ලබා ගනිමින් එම විශ්වාසය දිනා තිබෙනවා. එමෙන් ම කඩුලු 18ක් දවා ගෙන සිටින නායක මුදිත දම්මිත් ද සහ කඩුලු 15ක් දවාගෙන සිටින පසිඳු කොඩිතුවක්කු ද එම බලඇණිය ශක්තිමත් කිරීමට බලා සිටිනවා.

කුමර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

මුදිත දම්මිත් (නායක), නිම්න බාලසූරිය (උප නායක), දිල්සර උදාන, යෂික දිල්ශාන්, මධුරංග සත්සර, මොහොමඩ් මින්හාජ්, ගිම්හාන් අදිත්‍ය, වරුණ කල්හාර, සිතුම් දිදුලංක, සතික දම්සිත්, අකලංක පුන්සර, සුපුන් පීරිස්, ඩිහාන් නෙත්මදු, චෙනිත රදින්, දිලීෂ ප්‍රභාශ්වර, මනූෂ මිහිරංග, පසිඳු මල්ශාන්, තිනුක සහරැස් සහ රෙශින් දිල්හාර.

 

පියසිරි කාරියවසම් පතිරගේ (විදුහල්පති), නිශාන්ත කරුණාරත්න (නියෝජ්‍ය විදුහල්පති), සකුන්තලා මුණසිංහ (නියෝජ්‍ය විදුහල්පතිනි), ගයාන් තිලකරත්න (ක්‍රීඩා භාර ආචාර්ය), නිමේෂ් වීරසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), දුශාන් ප්‍රියංග (ක්‍රිකට් භාර ආචාර්ය), රජිත නිර්මාල් (ප්‍රධාන පුහුණුකරු) සමිරු නිම්සාද් (සහාය පුහුණුකරු)

4 වැනි වංශාධිපතිවරුන්ගේ සටනට එක් වෙන රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායමට සහ රත්නපුර නව නගරයේ කුමර විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com හී සුබ පැතුම්!

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<