විද්‍යාලෝක – සාන්ත ඇලෝසියස් තරගය විසඳුමක් නෑ

106
4th Battle of the Glory of Galle Match

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 4 වැනි වරටත් පැවැති “Glory of the Galle” වාර්ෂික එක්දින මහා ක්‍රිකට් ගැටුම ඊයේ (11) විසඳුමකින් තොරව අවසන් වූවා.

2019 වසරේ දී ආරම්භ වූ මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊට පසු වසර ද්විත්වයේ දී Covid වසංගතය හේතුවෙන් නොපැවැතී අතර අනතුරු ව පැවැති වසර ද්විත්වයේ ද ඇතුලුව තරග පැවැති අවස්ථා 3 දී ම ජයග්‍රාහී කණ්ඩායම වූයේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරග ඊයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය මත ආරම්භ වූයේ පන්දුවාර 25.0ක තරගයක් ලෙසයි.

කාසියේ වාසිය දිනා ගත් විද්‍යාලෝක නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් තම පන්දුවාර 25.0 දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ක්‍රීඩා කිරීමට හැකි  වන්නේ පන්දුවාර 1.2කට පමණක් වන අතර ඒ සමඟ කඩා වැටුණ වර්ෂාව තරගය සහමුලින් ම නතර කර දැම්මා. ඒ වෙද්දී සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම

විදුර ලක්ෂාන් (නායක), නවිඳු ප්‍රමෝද්, චාර්ය පරණවිතාන, විනෝද් දනුශ්ක, දෙනෙත් දෙව්මින්ද, දුල්සත් නිම්විරු, හසිත සුරංග, කවිඳු අමරසිංහ, තීක්ෂණ තාරුක, සසිඳු රන්දීප සහ සවිත වීරතුංග.

විද්‍යාලෝක කණ්ඩායම

දසුන් චමෝද් (නායක), පසන් මධුශංක (කඩුලු රකින්නා), රශ්මික ප්‍රභාත්, ප්‍රගීත් බිම්සර, ලිදුල නුවංග, නිමේස් අවින්ද, තරුශ ජයමිත්, සෙනිරු නිදුවර, සචිත්‍ය ඉඳුවර, මතිල සත්සිඳු සහ දක්ශින හසරංග.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි විද්‍යාලෝක ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 8ක් වෙද්දී දැවී ගිය ද 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවක් එක් කිරීමට රශ්මික ප්‍රභාත් සහ ප්‍රගීත් බිම්සර සමත් වුනා.

ආරම්භක පිතිකරු රශ්මික ප්‍රභාත් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

අනතුරු ව විද්‍යාලෝක ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයක් එක් වූ කඩුලු සබඳතාව වූයේ 7 වැනි කඩුල්ලට නිමේෂ් අවින්ද සහ සෙනිරු නිඳුවර එක් ව නොදැවී ලබා ගත් ලකුණු 38යි. එහි දී නිමේස් අවින්ද පන්දු 23කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද සහ සෙනිරු නිඳුවර පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා ගත්තා.

ප්‍රතිවාදී ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී සසිඳු රන්දීප ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තීක්ෂණ තාරුක කඩුලු 2ක් ද සහ දුල්සත් නිම්විරු කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු සාන්ත ඇලෝසියස් කණ්ඩායම් ඉනිම ආරම්භ කිරීම පැවැරුණේ නවිඳු ප්‍රමෝද් සහ චාර්ය පරණවිතාන ට. ඔවුන් දෙදෙනා පිවිස ප්‍රතිවාදීන් යැවුණ 8 වැනි පන්දුවෙන් පසුව තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කෙරුණ අතර ඒ වෙද්දී නවිඳු ප්‍රමෝද් පන්දු 4ක දී නොදැවී ලකුණු 3ක් ද සහ චාර්ය පරණවිතාන පන්දු 4ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 7ක ද ලබා සිටියා.

තරගයේ සම්මාන ප්‍රදානයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සසිඳු රන්දීප දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සහ විද්‍යාලෝක විද්‍යාලයේ රශ්මික ප්‍රභාත් තරගයේ දක්ෂතම පිතිකරු ලෙසත් නම් කෙරුණා. තරගය විසඳුමකින් තොරව අවසන් කෙරුණ බැවින් තරගයේ වීරයා සම්මානය ප්‍රදානය කෙරුණේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

විද්‍යාලෝක කණ්ඩායම – කඩුලු 6ක් දැවී 134 (25.0) රශ්මික ප්‍රභාත් 31, ප්‍රගීත් බිම්සර 22, නිමේෂ් අවින්ද නොදැවී 22, සෙනිරු නිඳුවර නොදැවී 23, සසිඳු රන්දීප 3/21, තීක්ෂණ තාරුක 2/18

 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – කිසිවෙක් නොදැවී 11 (1.2) නවිඳු ප්‍රමෝද් නොදැවී 3, චාර්ය පරණවිතාන නොදැවී 7

තරගයේ විසඳුමක් නෑ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<