අපරාජිත දකුණ ක්‍රිකට් රන් පදක්කම දිනා ගනී

48th National Sports Festival

127
48th National Sports Festival

ජාතික මහා ක්‍රීඩා උළෙලට පළමු වරට එක් කරන ලද ලෙදර් බෝල විස්සයි විස්ස ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අපරාජිත දකුණු පළාත් ක්‍රීඩකයෝ පසුගියදා සමත් වූනා.

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී වයඹ පළාත් කණ්ඩායම හා සමඟින් පැවැති අවසන් මහා තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම රන් පදක්කමට හිමිකම් කියද්දී පරාජිත වයඹ කණ්ඩායම රිදී පදක්කමෙන් සෑහීමකට පත් විමට සිදු වුනා.

දකුණු පළාත් කණ්ඩායම ; කවීෂ් කුමාර (කඩුලු රකින්නා), සුධීර රූබසිංහ, අමෝද විදානපතිරණ, රමේස් නිමන්ත, කවිඳු නිර්මාණ, කේශර නුවන්ත, ඉරුෂ්ක තිමිර, ගිමඳු මැල්කම්, තරුෂ් සංකල්ප, නිමේෂ් ශ්‍රී රන්දික සහ තිසාන් දෙව්මිත්.

අතිරේක – අසංක ප්‍රියනන්ද, කවිඳු කේශික,

වයඹ පළාත් කණ්ඩායම – අමිල ප්‍රශාන්ත (නායක) නුවන් යාපා, ඩිල්ශාන් සංජීව, සමිත ඩිල්ශාන්, ශෙශාන් ප්‍රනාන්දු, කසුන් රුබේරු, කවීන් බණ්ඩාර, චතුමල් නිමේෂ්, දිමුතු ෆොන්සේකා,  චමින්ද දිසානායක සහ ආර්. නිශාන්තන්.

අතිරේක – ගයාන් හර්ෂණ

අවසන් මහා තරගය, බණ්ඩාරගම, ජුලි 07, 2024, ජාතික මහා ක්‍රීඩා උළෙල (ක්‍රිකට්)

o කාසියේ වාසිය – වයඹ පළාත

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, බණ්ඩාරගම.

අයහපත් කාලගුණ තත්ත්වය මත සහ ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර එය ආරම්භ වෙන්නේ පන්දුවාර 8ක තරගයක් ලෙසයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු පළාත් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 91ක් ලබා ගන්නවා.

අනතුරු ව තම පිළිතුරු ඉනිම වෙනුවෙන් වයඹ පළාත් ක්‍රීඩකයෝ පිටියට පිවිසියත් ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දුවාර 6ක් පමණයි. අයහපත් ආලෝක තත්ත්වයක් මත තරගය තාවකාලික නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූවා.

එතැන් සිට නැවත තරගය ආරම්භ වීමට අවස්ථාවක් නොලද අතර තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුණා. ඒ අවස්ථාව වෙද්දී තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වයඹ ක්‍රීඩකයෝ ලකුණු 70ක් ලබා ගත වූව ද ඔවුන් ලබා සිටියේ කඩුලු 4ක් දැවී ලකුණු 59ක් පමණයි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය දකුණු පළාත් කණ්ඩායම සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු පළාත් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 91 (8.0) කවීෂ් කුමාර 26, රමේෂ් නිමන්ත නොදැවී 15, කවිඳු නිර්මාණ 20, කසුන් රුබේරු 2/16

වයඹ පළාත් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 59 (6.0) ඩිල්ශාන් සංජීව 33, කසුන් රුබේරු නොදැවී 13, කේශර නුවන්ත 3/10

දකුණු පළාත් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 10ක ජයක්.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්ව පැවැති ආකාරය

  Team 1 Team 2 Results
1 දකුණු පළාත ඌව පළාත දකුණු පාළාත් කණ්ඩායමට ලකුණු 55ක ජයක්.
2 නැගෙනහිර පළාත මධ්‍යම පළාත නැගෙනහිර පළාතට ලකුණු 47ක ජයක්.
3 වයඹ පළාත උතුරු පළාත වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි.
4 දකුණු පළාත සබරගමුව පළාත දකුණු පළාතට පැරබෝලා ක්‍රමය අනුව ලකුණු 25ක ජයක්
5 බස්නාහිර පළාත උතුරු මැද පළාත වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි.
6 බස්නාහිර පළාත වයඹ පළාත වයඹ පළාතට කඩුලු 4ක ජයක්.
7 නැගෙහිර පළාත දකුණු පළාත දකුණු පළාතට කඩුලු 7ක ජයක්
8 නැගෙනහිර පළාත බස්නාහිර පළාත වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි.
අවසන් මහා තරගය
9 දකුණු පළාත වයඹ පළාත දකුණු පළාතට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 10ක ජයක්.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවෝ

දකුණු පළාත් කණ්ඩායමේ අමෝද විදානපතිරණ තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වුනා. ඔහු තරග  4ක දී ලකුණු 118ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන් කර ගන්නා ලද අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත්වෙන්නේ ඌව පළාතට එරෙහි ව පන්දු 36ක දී ලබා ගන්නා ලද ලකුණු 43යි. ඊට අමතර ව නැගෙනහිර පළාතට එරෙහි ව පන්දු 28ක දී ලකුණු 42ක් ලබා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

ඊට අමතර ව එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි වෙන්නේ ද දකුණු පළාත් කණ්ඩායමට විම ද විශේෂයි. එහි දී රමේෂ් නිමන්ත තරග 4ක දී ලකුණු 111ක් ලබා ගනිමින් මෙම ස්ථානයට පත් වෙනවා.

ඔහුගේ මෙම ලකුණු සංඛ්‍යාව අතරට එක් අර්ධ ශතකයක් ද ඇතුලත්. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ සබරගමුව පළාතට එරෙහි ව පන්දු 33ක දී ලකුණු 59ක් ලබා ගනිමිනුයි.

මෙම පිතිකරු ලැයිස්තුවේ 3 වැනි ස්ථානය හිමි වෙන්නේ එස්. විකසිකන් වෙතයි. නැගෙනහිර පළාත නියෝජනය කළ ඔහු තරග 2ක දී ලකුණු 88ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

තරගාවලියේ තරගයක දී වැඩිම ලබා ගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට එස්. විකසිකන් සමත් වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ මධ්‍යම පළාතට එරෙහි ව පන්දු 33ක දී ලකුණු 83ක් ලබා ගනිමිනුයි.

ඊට අමතර ව තරග 4ක දී ලකුණු 75ක් ලබා ගත් දකුණු පළාතේ කවීෂ් කුමාර සහ තරග 4ක දී ලකුණු 62ක් ලබා ගත් දකුණු පළාතේ සුධීර රූබසිංහ එම ලැයිස්තුවේ 4 වැනි සහ 5 වැනි ස්ථානවලට පත් වෙනවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නෝ

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතුරින් පළමු ස්ථාන ත්‍රිත්වය ම දිනා ගැනීමට දකුණු පළාත් ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අතුරින් ගිමඳු මැල්කම් සහ ඉරුෂ්ක තිමිර කඩුලු 6ක් බැගින් දවා ගනිමින් සම පළමු ස්ථාන අතර වැජඹෙනවා.

මේ අතුරින් ගිමඳු මැල්කම් තරග 2කට පමණක් සහභාගී වෙමින් මෙම දක්ෂතාව දක්වන ලද අතර ඔහු දවා ගන්නා ලද කඩුලු 6 ම එක ම තරගයක දී දවා ගැනිමට සමත් වීම කැපී පෙනෙනවා. ඔහු එම දක්ෂතාව දක්වන්නේ නැගෙහිර පළාතට එරෙහිව තරගයේ දී යි. එහි දී ඔහු පන්දුවාර 2.4ක් යවමින් ලකුණු 04කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර එය මෙම තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

ඉරුෂ්ක තිමිර තම කඩුලු 6 දවා ගන්නේ තරග 4කට ක්‍රීඩා කරමිනුයි.

එම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය හිමි වෙන්නේ කේශව නුවන්ත වෙතයි. ඔහු තරග 3ක දී කඩුලු 5ක් දවා ගනිමින් මෙම අසුන වෙන් කර ගන්නවා.

ඊට අමතර ව කඩුලු 5ක් බැගින් දවා ගත් නැගෙනහිර පළාත නියෝජනය කළ ඒ. ජී. එම්. ෆයිල් සහ එම පළාතේ ම මෝහනසුන්දරන් ශාරුහාන් පිළිවෙලින් මෙම ලැයිස්තුවේ 4 වැනි සහ 5 වැනි ස්ථාන දිනා ගන්නවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<