කන්ද උඩරට නිල් එක්දින සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

43rd Battle of the Blues

28

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 43 වැනි වරටත් පැවැති කන්ද උඩරට නිල් මහා සටන වාර්ෂික සීමිත පන්දුවාර එක්දින තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයග්‍රහණයක් හිමි වුනා.

ඒ අනුව ඔවුන් ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ අනුස්මරණ කුසලානය 21 වැනි වතාවටත් තමන් සතු කර ගන්නවා.

අද (11) අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ වූයේ පන්දුවාර 32ක තරගයක් ලෙසයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ දී පන්දුවාර 26.0ක් අවසන් වූ විට නැවත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

එතැන් සිට තරගයට නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. ඒ අනුව ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුණ අතර සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ ඒ වෙද්දී සිටියේ ජයග්‍රහණයට ලකුණු 8ක් මෙපිටිනුයි. ඔවුන් ගේ ඉනිම කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 112ක් ලෙසයි.

ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මලිත් රත්නායක (නායක), දිමන්ත මහවිතාන, ආදම් හිල්මි (කඩුලු රකින්නා), පුලිශ තිලකරත්න, ජයවි ලියනගම, වතිල උදාර, රජිඳු තිලකරත්න, චනිරු සේනාරත්න, සෙත්මික සෙනවිරත්න, ස්වත් අනුරජීව සහ දිනාල් ප්‍රනාන්දු,

 

සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

චාරුක ඒකනායක (නායක), ජනුක රත්නායක (කඩුලු රකින්නා), කෙවන් ප්‍රනාන්දු, තිළිණ එදිරිසිංහ, නේදන් ඊබට්, දිනුර ගනේගොඩ, බිමාෂ් සමරසිංහ, කෞෂික කුමාරසිංහ, සදෙව් අමරකෝන්, රයන් ග්‍රෙගරි සහ යොහාන් සේනානායක.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් පුලීශ තිලකරත්න පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

පූලිශ තිලකරත්න සහ ආදම් හිල්ම් එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වූ අතර එහි දී ආදම් හිල්මි පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

ඊට අමතර ව චනිරු සේනාරත්න පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිනුර ගනේගොඩ ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව කෙවන් ප්‍රනාන්දු කඩුලු 2ක් ද, රයන් ග්‍රෙගරි සහ චාරුක ඒකනායක කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූවා. ඒ හේතුවෙන් තරගය නතර කරන විට සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන් ලබා සිටියේ කඩුලු 6ක් දැවී ලකුණු 112ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ජනුක රත්නායක පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා. ඊට අමතර ව නායක චාරුක ඒකනායක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගන්නවා.

එම ඉනිමේ ලකුණු 33කට කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී පිටියට එක් වූ ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75ක දී ලකුණු 64ක සබඳතාවක් ගොඩ නගනවා.

කඩුලු දවා ගැනීමේ දී මලිත් රත්නායක කඩුලු ද්විත්වයක් දවා ගත් අතර ඊට අමතර ව සෙත්මික සෙනවිරත්න සහ චනිරු සේනාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 9ක් දැවී 152 (32.0) පුලිශ තිලකරත්න 41, ආදම් හිල්මි 24, චනිරු සේනාරත්න නොදැවී 30, කෙවන් ප්‍රනාන්දු 2/20, දිනුර ගනේගොඩ 3/31

 

සාන්ත අන්තෝනි විද්‍යාලය – කඩුලු 6ක් දැවී 112 (26.0) ජනුක රත්නායක 48, චාරුක ඒකනායක 30, මලිත් රත්නායක 2/17

 

ත්‍රිත්ව විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – රජිඳු තිලකරන්ත (ත්‍රිත්ව විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – දිනුර ගනේගොඩ (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – ජනුක රත්නායක (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • තරගයේ වීරයා – පුලීශ තිලකරත්න (ත්‍රිත්ව විද්‍යාලය)

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<