ඇතුගල්පුර සටනත් ඇවිලෙයි

Battle of the Rocks

131
41st Battle of the Rocks - Big Match Preview

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 41 වැනි වරටත් පැවැත්වෙන ඇතුගල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 28 සහ 29 දෙදින කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙවර තරගයේ දී සාන්ත ආනා විද්‍යාලයීය කණ්ඩායමට බුද්ධිම සහන් නායකත්වය ලබා දෙන අතර මලියදේව විද්‍යාලයීය කණ්ඩායම චන්දුප අබේසිංහ ගේ නායකත්වයෙන් පිටියට එක් වීමට නියමිතයි.

1959 වසරේ දී ආරම්භ වූ ඇතුගල්පුර සටන් තරග ඉතිහාසයේ තරග 6ක ජයග්‍රහණ මලියදේව විද්‍යාලය විසින් දිනාගෙන ඇති අතර මෙතෙක් සාන්ත ආනාවරුන්ට එහි පහස විඳ ගැනීමට හැකි වී නැහැ. ඇතුගල්පුර සටනේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වී ඇත්තේ  මලියදේව විද්‍යාලය විසින් 2014 වසරේ ලබා ගත් ජයග්‍රහණයයි.

සාන්ත ආනා විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාලයීය කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ගීතික ද සිල්වායි. දකුණතින් වේග පන්දු යවන ඔහු නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කළා.

කෙසේ වෙතත් කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් කැපී පෙණෙන මෙහෙවරක නිරත වී ඇත්තේ උප නායක චමිත් සසෙන්ජන සහ තෙවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක කුෂාන් සුබසිංහ. චමිත් සසෙන්ජන නිමා වූ තරග සමයේ දී ලකුණු 552ක් ලබා ගනිද්දී කුශාන් සුබසිංහ ලකුණු 545ක් ලබා ගැනීමට සමත් වෙනවා.

කණ්ඩායමේ නායක බුද්ධිම නන්දසිරි මේ දක්වා වූ තරගවල දී ලකුණු 481ක් ලබා සිටිනවා. එම ලකුණු අතරට කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 146ක් ද ඇතුලත්. එය මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී සාන්ත ආනාවරයෙක් විසින් වාර්තා කරන ලද එක ම ශතකයයි.

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් වගීෂ රණසිංහ ලකුණු 429ක්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික සංචිතයේ ද සිටින සනුජ දිසානායක ලකුණු 418ක්, ඕෂද කොඩිකාර ලකුණු 359ක් සහ දිනුග අබේසේකර ලකුණු 291ක්  ලබා ගනිමින් කැපී පෙණෙන පිතිකරුවන් අතරට එක් ව සිටිනවා.

මේ අතර කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන යශ්මිත් ජයසුන්දර ලකුණු 302ක් සහ කඩුලු 34ක් දවා ගනිමින් විශ්වසනීය ක්‍රීඩකයෙක් ලෙසට පත් ව සිටිනවා. එමෙන් ම 2 වැන වසරට ක්‍රීඩා කරන ෂෙහාන් කුමාර ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා.

කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ද වී සිටින ඔහු මේ වෙද්දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 65ක්. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් ව ඇත්තේ කඳාන මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව ලකුණු 48කට දවා ගත් කඩුලු 6යි. පිතිකරුවෙක් ලෙසින් ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 252ක්.

මේ අතර පන්දු යවන්නන් අතුරින් කෙවින් නානායක්කාර කඩුලු 44ක් සහ බසීර් ශකීල් කඩුලු 21ක් ලබා ගනිමින් සාන්ත ආනාවරුන්ගේ විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.

St Anns College

සාන්ත ආනා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

බුද්ධිම නන්දසිරි (නායක), චමිත් සසෙන්ජන (උප නායක), කුෂාන් සුබසිංහ, දිනුග මෙත්විරු, ඔෂද කොඩිකාර, මහීෂ බණ්ඩාර, බසිර් ශාකීල්, යෂ්මිත් ජයසුන්දර, දිහාන් මුණසිංහ, සනුක කෙම්සර, සනුජ ඉඳුවර, ශෙහාන් කුමාර, චෙනියල් ඩිමූර්, අශිංෂ දිසානායක, නවිඳු රත්නායක, වගීෂ රණසිංහ, ගීතික ද සිල්වා, මනුජ විජේරත්න, කෙවින් නානායක්කාර, නදීක ලොකුවැල්ල සහ ජිත්සර දිසානායක.

 

චන්දන හපුආරච්චි පියතුමා (විදුහල්පති), රොෂාන් ඩයස් සහෝදරතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), නිහාල් සී. දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය), චාමික රවිහාර (ප්‍රධාන පුහුණුකරු), කාවින්ද කොටුවෙගෙදර (Trainer), කළිඳු විජේසිංහ (සහාය පුහුණුකරු)

මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලයීය කණ්ඩායමේ නායක චන්දූප අබේසිංහ තුන් වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරමින් මෙවර තරගය හා එක් වෙනවා. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී තරග 12ක දී ලකුණු 500 ඉක්මවා ලබා ගෙන ඇති අතර දකුණතින් පා දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා

කණ්ඩායමේ උප නායක ලෙස කටයුතු කරන්නේ දමිත් අබේසිංහ. ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ සංචිතයේ ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරන ඔහු කණ්ඩායමේ සිටින වැඩිම කඩුලුලාභියායි. වමතින් දඟ පන්දු යවන ඔහු මෙම තරගවාරයේ දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 55ක් වන අතර ඒ අතර හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහි ව ලකුණු 51කට දවා ගත් කඩුලු 7යි.

ඔවුන් දෙදෙනාට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන දිමන්ත අරූෂ තරග 13ක දී ලකුණු 478ක් සහ කඩුලු 27ක් ලබා ගනිමින් මලියදේව විද්‍යාලයීය කණ්ඩායමේ වඩාත් විශ්වසනීය ක්‍රීඩකයා බවට පත් ව සිටිනවා.

පළමු වසරට එක්වෙන ක්‍රීඩක රජිත් නවෝද්‍ය තරග 10ක දී ලකුණු 411ක් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු පසුගිය වසරේ මෙරට පැමිණි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට එරෙහි ව ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම හා එක් වුනා.

ඊට අමතර ව සංදීප බණ්ඩාර ලකුණු 356ක්, පැහැසර බණ්ඩාර ලකුණු 307ක් සහ විනුක් ගලප්පත්ති ලකුණු 234ක් ලබා ගනිමින් ඇතුගල්පුර සටනට එක් වෙන අතර තවීෂ බාලසූරිය කඩුලු 33ක් ලබා ගනිමින් පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් සිටිමින් මෙම සටනට එක් වෙනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත්වෙන්නේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව ලකුණු 77කට ලැබූ කඩුලු 6යි.

Maliyadewa College

මලියදේව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

චන්දුප අබේසිංහ (නායක), දිමත් අබේසිංහ (උප නායක), ඕලිත නිරංජන්, සංදීප බණ්ඩාර, සදෙව් හේවාවිතාරණ, රජිත් නවෝද්‍ය, විනුක ගලප්පත්ති, පැහැසර බණ්ඩාර, දිමන්ත අරූෂ, තවීෂ බාලසූරිය, තිවංක පබසර, සොනාල් අශ්වින්, දම්ලත් ගමගේ, දිනෙත් අමරසිංහ, ගගන පතිරාජ, පිවිතුරු සිල්වා, ගනිඳු කහඳවල, අකේන් අමරජීව, නේත්‍ර නිර්මල සහ  චෙනුල හේමචන්ද්‍ර.

 

ඩබ්ලිව්. එම්. සී. කේ. මහමිතව (විදුහල්පති), හේමන්ත අබේකෝන් (නියෝජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), අකලංක ගමගේ (ක්‍රීඩා භාර ආචාර්ය), ලක්මාල් අභයසේකර (ක්‍රිකට් භාර ආචාර්ය), උදාර ප්‍රසංග මද්දුමගේ (ප්‍රධාන පුහුණුකරු), මුදිත ප්‍රේමදාස (සහාය පුහුණුකරු), සුරංග කරුණාතිලක (ක්‍රිකට් සම්බන්ධීකාරක)

දෙවිදුහල් අතර 28 වැනි වරටත් පැවැත්වෙන සීමිත පන්දුවාර එක්දින තරගය මේ මස 30 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වේ. දෙවිදුහල් අතර මේ දක්වා පැවැති එක්දින සීමිත පන්දුවාර තරගවල තරග 15ක ජයග්‍රහණ සාන්ත ආනා විද්‍යාලය විසින් ද තරග 10ක ජයග්‍රහණ මලියදේව විද්‍යාලය විසින් ද ලබා ගෙන ඇති අතර තරග ද්විත්වයක් විසඳුමකින් තොරව අවසන් ව තිබේ.

ඇතුගල්පුර සටන වර්ණවත් කරන සාන්ත ආනාවරුන්ට සහ මලියදේවයන්ට ThePapare.com හී සුබ පැතුම්!

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog TV නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare 1, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<