ලෝක ශූරියට වසර දෙකක තහනමක් පනවයි

333

තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසාවෙන් මීටර 400 ඉසව්වේ වත්මන් ලෝක ශූරිය වන බහරේන් ජාතික මලල ක්‍රීඩිකා සල්වා ඊඩ් නාසිර් (Salwa Eid Naser) හට වසර දෙකක තරග තහනමක් පැනවූ බව “Athletics Integrity Unit” මගින් පසුගියදා නිවේදනය කරන ලදි. 

මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් නොබිඳි වාර්තා

ඇය විසින් අවසන් මාස 12 මුළුල්ලේ තහනම් උත්තේජක පරීක්ෂණ 3ක් මග හැරීම නිසා ලෝක තහනම් උත්තේජක පිළිබඳ නීතීන් උල්ලංඝනය කිරීම යටතේ මෙම තහනම පැනවූ බව එම ඒකකය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබුනි. 

කෙසේ නමුත් මෙම තහනම පිළිබඳව අදහස් දක්වමින් සල්වා ඊඩ් නාසිර් ප්‍රකාශ කර සිටියේ තමන් කිසිඳු විටෙක වංචාවක් සිදුනොකළ බවයි. 

“මම වංචාකාරයෙක් නොවෙයි. මම කිසිඳු විටෙක වංචාවක් කරලා නැහැ. මෙවැනි පරීක්ෂණ තුනක් මග හැරීම සාමාන්‍ය දෙයක්. එය ඕනම කෙනෙක් අතින් වෙන්න පුළුවන් දෙයක්. මට විශ්වාසයි මම වංචාවක් කළේ නැහැ කියලා” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය. 

මේ වන විට 22 වන වියෙහි පසුවන සල්වා, 2017 වසරේ ලන්ඩන් නුවර පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 400 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2018 වසරේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්ව තත්පර 50.9කින් අවසන් කරමින් ආසියානු ශූරිය බවට ද පත්වීමට සමත් විය. 

බෝල්ට්ගෙන් පස්සේ වේගයේ කිරුළ කාටද? 

පසුව අවසන් වරට 2019 වසරේ දී පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 400 ඉසව්ව තත්පර 48.14කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය විසින් එම වාර්තා කරන ලද කාලය මලල ක්‍රීඩා ඉතිහාසයේ එම ඉසව්වට වාර්තා වූ තෙවන හොඳම කාලය ලෙසද සටහන් වුනි. 

කෙසේ නමුත් මෙම තහනමත් සමඟින් ඇයට ඉදිරි වසර දෙකක කාලය පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන අතර ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇති ඔලිම්පික් උළෙල ද ඇයට අහිමි වනු ඇත. 

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<