රන් මුසු නීල කුසලානය ජෝසප් වාස් විද්‍යාලයට

2nd Battle of the Golden Blues

5
2nd Battle

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති “රන් මුසු නීල සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනමන ජුසේ වාස් අනුස්මරණ කුසලානය වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය විසින් අද (26) දිනා ගත්තා.

කොළඹ P. Sara Oval පිටියේ දී පැවැති මෙම තරගයෙන් ප්‍රතිවාදී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම කුසලානය වෙන්නප්පුවට රැගෙන යන්නේ මංගල ජයග්‍රාහකයන් ලෙසින් ඉතිහාසයට එක් වෙමිනුයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 79ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 87ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ එම ඉනිම ලකුණු 123කට සීමා වෙනවා.

ලකුණු 44ක් පිටුපස සිටිමින් නැවත පිටියට පිවිසි වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය තම දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 89ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 46ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් තරගය අවසන් කළා.

තරගය පළමු දිනයට නතර කරන විට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් පිටියේ නොදැවී රැඳී සිටි හංස මිහිරංග ලකුණු 14කටත් සහ විදස් ලියනගේ ලකුණු 7කටත් දැවී ගියා.

ඉන් අනතුරු ව එම ඉනිමට පන්දු 36ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් එක් කිරීමට හිමාල් රවිහංස ද සහ පන්දු 32ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගැනීමට හේෂාන් කාවින්ද සමත් වුනා.

අද දවසේ සාන්ත ජෝසප් විද්‍යාලයේ දැවී ගිය කඩුලු 5න් 4ක් ම දවාගැනීමට රිද්ම භාෂික සමත් වෙනවා. ඔහු තම පන්දු යැවීම අවසන් කරන්නේ ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමිනුයි. එමෙන් ම කවිඳු සේනාධී ද ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිද්දී ආකශ් තේජක ද කඩුලු ද්විත්වයක් දවා ගත්තා.

දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයට එවර ද තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිම ලකුණු 89කට සීමා වෙනවා.

වරෙක ඔවුන්ගේ ඉනිම කියැවෙන්නේ කඩුලු 5කට ලකුණු 30ක් ලෙසයි. එලෙස අඩු ලකුණුවලට සීමා වූ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ චෙතින් දිල්සරු. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා.

ඔහු හර්ෂ වීරසූරිය සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක වෙනවා. හර්ෂ වීරසූරිය පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 12ක් දවා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී හිමල් රවිහංස ලකුණු 60කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. පළමු ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගන්නා ඔහු තරගයේ දී ලකුණු 88කට කඩුලු 11ක් දවා ගන්නවා. ඊට අමතර ව මතිෂාන් පෙරේරා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.

හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලයේ මතිෂාන් ප්‍රනාන්දු සහ නායක කවිත් ප්‍රනාන්දු නොදැවී පිටියේ රැඳී සිටිමින් පන්දු 45ක දී අදාළ ඉලක්කය සපුරා ගත්තා.

එහි දී මතිශාන් ප්‍රනාන්දු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද සහ කවිත් ප්‍රනාන්දු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 79 (30.5) තරුෂ ප්‍රනීත් 18, රිද්ම භාෂික 31, හිමාල් රවිහංස 5/28, මතිෂාන් ප්‍රනාන්දු 3/10
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (56.4) කවිත් ප්‍රනාන්දු 33, ඩොමිනික් සාවියෝ 14, හංස මිහිරංග 14, හේශාන් කාවින්ද 14, හිමාල් රවිහංස 15, රිද්ම භාෂික 4/36, කවිඳු සේනාධි 4/41, ආකාශ් තේජක 2/28
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 89 (36.2) සසිඳු අවිශ්ක 12, හර්ශ වීරසූරිය 12, චෙතින් දිල්සරු 32, හිමාල් රවිහංස 6/60, මතිශාන් ප්‍රනාන්දු 3/14
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 49 (7.3) මතිෂාන් ප්‍රනාන්දු නොදැවී 28, කවිත් ප්‍රනාන්දු නොදැවී 18

වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – හර්ෂ වීරසූරිය (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – හිමාල් රවිහංස (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – කවිත් ප්‍රනාන්දු (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)
  • තරගයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා – රිද්ම භාෂිත (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • තරගයේ වීරයා – හිමාල් රවිහංස (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<