වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර ජුසේ වාස් අනුස්මරණ කුසලානය වෙනුවෙන් 2 වැනි වරටත් පැවැත්වෙන “රන් මුසු නීල සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (25) කොළඹ P. Sara Oval පිටියේ දී ආරම්භ වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 79ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 87ක් ලබා සිටියා.
ඒ අනුව වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලය මේ වන විට කඩුලු 5ක් ද අතැතිව ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 8ක් ඉදිරියෙන් පසුවෙනවා.
- වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමෝද් සංදීප (නායක), කවිඳු සේනාධි, සසිඳු අවිශ්ක, ෂැනෙල් තිමාන, තරුෂ ප්‍රනීත්, හර්ෂ වීරසූරිය, රිද්ම භාෂික, ෂෙහාර දෙව්තිලිණ (කඩුලු රකින්නා), චෙතින් දිල්සරු, විශ්මිත් සරෝජ් සහ ආකාශ් තේජක.
- වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කවිත් ප්‍රනාන්දු (නායක), මතිෂාන් ප්‍රනාන්දු, ෂෙනාන් ප්‍රනාන්දු, ඩොමිනික් සාවියෝ, ඩේමියන් ප්‍රසංසන, හංස මිහිරංග (කඩුලු රකින්නා), විදස් ලියනගේ, හේෂාන් රත්නායක, හිමාල් රවිහංස, ආකර්ෂ වර්ණකුලසූරිය සහ රනීෂ නිම්සර.
පළමුවෙන් පන්දුවට පහර දුන් වත්තල සාන්ත අන්තෝනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රිද්ම භාෂික. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.
ඊට අමතර ව තරුෂ ප්‍රනීත් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.
එම ඉනිම විනාශ කිරීමේ දී ආරම්භක පන්දු යැවීම භාර ගත් දකුණතින් පා දඟ පන්දු යවන හිමාල් රවිහංස ලකුණු 28කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව දකුණතින් පිට දඟ පන්දු යවන මතිෂාන් ප්‍රනාන්දු ලකුණු 10කට කඩුලු 3ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් අතර විදස් ලියනගේ ද කඩුල්ලක් දවා ගත්තා.
- සිංහ සහ බංගලි කොටි පැටවුන්ගේ එක්දින අරගලය
- ගම්පහත් – පුත්තලමත් ගැටෙන රන් මුසු නීල සටන
- කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු පිළිබඳ නිවේදනයක්
- 19න් පහළ Tier A කුසලානය සාන්ත ජෝසප්වරුන්ට
- පුංචි එංගලන්තයේ ජය ගාමිණි විද්‍යාලයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ පළමු කඩුල්ල ලකුණු පුවරුවට ලකුණක් පමණක් එක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. නමුත් ඉන් පසුව 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමට නායක කවිත් ප්‍රනාන්දු සහ ෂෙනාන් ප්‍රනාන්දු සමත් වෙනවා.
ඒ අතුරින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් කවිත් ප්‍රනාන්දු පළමුවෙන් ම දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් ෂෙනාන් ප්‍රනාන්දු දැවී යන විට පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා. ඔහුට අමතර ව ඩොමිනික් සාවියෝ ද පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.
තරගය පළමු දිනයට නතර කරන විට හංස මිහිරංග නොදැවී ලකුණු 12ක් ද සහ විදස් ලියනගේ නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන උප නායක කවිඳු සේනාධි ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව ආකාශ් තේජක සහ රිද්ම භාෂික කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 79 (30.5) තරුෂ ප්‍රනීත් 18, රිද්ම භාෂික 31, හිමාල් රවිහංස 5/28, මතිෂාන් ප්‍රනාන්දු 3/10
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 87 (39.0) කවිත් ප්‍රනාන්දු 33, ඩොමිනික් සාවියෝ 14, හංස මිහිරංග නොදැවී 12, කවිඳු සේනාධි 3/26
මෙම තරගය හෙට (26) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD 2 නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<