ආසියානු ජය සොයා චීනයට

28th Asian Youth Table Tennis Championship- 2024

62

වසර 20ක් පුරා තරගාවලි 17ක දී නොලැබූ පදක්කමක් සොයන ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 28 වැනි අසියානු යොවුන් මේස පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වීමට පසුගියදා චීනය බලා පිටත් වූවා.

මෙම ශූරතාවලිය මේ මස 30 වැනිදා සිට ජුලි මස 06 වැනිදා දක්වා Chongqing හී දී චීන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට ක්‍රීඩකයන් 8 දෙනෙක්, ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහ නිලධාරීන් 3 දෙනෙක්ගෙන් සමන්විත 19 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙනවා.

තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්

වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම: යෝශිනි ජයවර්ධන (මහාමයා විද්‍යාලය, මහනුවර), සමින්දි වීරසූරිය (යහපත් එඬේරාගේ කන්‍යාරාමය, මහනුවර) මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල), සහ මිකේලා ප්‍රනාන්දු (Elizabeth Moir ජාත්‍යන්තර පාසල).

වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම: බිමන්දි බණ්ඩාර (හිල්වඩුඩ් විද්‍යාලය, මහනුවර), ටමාදි කාවින්දි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ ලෙසන්‍යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ).

වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම: අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), නවිරු නෙත්සිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අගස්ත්‍ය ආනන්දිත (Bond ජාත්‍යන්තර පාසල), සෙනුල් රත්නායක (ධර්මරාජ විද්‍යාලය, මහනුවර).

වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම: ශෆියුල්ලා අක්‍රම් (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ), ඩිරන් හාමර් (රාජකීය විද්‍යාලය, කොළඹ), සලුක මතීෂ ප්‍රේමචන්ද්‍ර (ආනන්ද විද්‍යාලය, කොළඹ).

නිලධාරීන් – චතුර දුශාන් මහතා (ප්‍රධාන පුහුණුකරු), රූහංසි විජේකෝන් මහත්මිය (කළමණාකරු සහ කාන්තා භාර නිලධාරිනී), රවින්ද්‍ර ජීවනාත් මහතා (භෞත චිකිත්සක උපදේශක).

මෙවර ශූරතාවලිය සඳහා සත්කාරක චීනය, කොරියාව, චයිනීස් තායිපේ, ඉන්දියාව, ජපානය, ඉරානය, හොංකොං, කසකස්තානය, තායිලන්තය, ඕමානය, උස්බෙකිස්තානය, මලයාසියාව, මොන්ගෝලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් 14ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450ක අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

ශූරතාවලිය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් කාන්තා සහ පිරිමි, ඒකල පිරිමි සහ කාන්තා, යුගල කාන්තා සහ පිරිමි සහ මිශ්‍ර යුගල ලෙසින් ද මෙන් ම වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම් කාන්තා සහ පිරිමි මෙන් ම කාන්තා සහ පිරිමි ඒකල ලෙසින් ද වන ඉසව් 11කින් සමන්විතයි.

ආසියානු කලාපයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිරිමි සහ කාන්තා කණ්ඩායම 11 වැනි ස්ථානයේ සිටිමින් ද වයස අවුරුදු 15න් පහළ කාන්තා කණ්ඩායම 9 වැනි ස්ථානයේ සිටිමින් ද සහ එම වයස් කාණ්ඩයේ ම පිරිමි කණ්ඩායම 12 වැනි ස්ථානයේ සිටිමින් ද මෙම තරගාවලිය හා එක් වෙනවා.

ආසියානු යොවුන් මේස පන්දු ශූරතා තරග ඉතිහාසයේ වැඩිම පදක්කම්  ප්‍රමාණයක් හිමිකරගෙන ඉදිරියෙන් ම සිටින්නේ චීනයයි. ඔවුන් රන් පදක්කම් 160ක්, රිදී පදක්කම් 102ක් සහ ලෝකඩ පදක්කම් 103ක් සමඟින් සමස්ත පදක්කම් 365ක් ලබා ගෙන තිබෙනවා.

එහි 2 වැනි ස්ථානය රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 55ක් සහ ලෝකඩ පදක්කම් 99ක් සමඟින් පදක්කම් 186ක් ලබා සිටින දකුණු කොරියාව ද සහ 3 වැනි ස්ථානය රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 93ක් සමඟින් පදක්කම් 164ක් ලබා සිටින ජපානය ද රැදී සිටිනවා.

ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ දී මෙතෙක් හිමි ව ඇත්තේ එක් පදක්කමක් පමණයි. ඒ 2004 වසරේ දී ඉන්දියාවේ දී පැවැති 10 වැනි යොවුන් මේස පන්දු තරගාවලියේ දී වයස අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ඉසව්ව නියෝජනය කළ ඉෂාරා මධුරංගි විසින් දිනා ගත් ලෝකඩ පදක්කමයි.

ආසියානු මේස පන්දු තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com වෙතින් සුබ පැතුම්!

ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<