21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

186

චීනයේ වුහාන් හිදී අද ඇරැඹෙන 21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට කලාපීය රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වී සිටින අතර එහි පළමු දිනය වූ අද (3දා) පිරිමි හා කාන්තා මීටර් 400 මූලික වටයේ සහ අවසන් පූර්ව තරග මීටර් 100 පිරිමි මූලික හා අවසන් පූර්ව වටයේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිත අතර පදක්කම් පිරිනැමෙන ඉසව්වකට අද දිනයේ සහභාගි වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ආර්. කේ. සී. එස්. සෝමවර්ධන පත්ව සිටියි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තුළ යම් යම් ඉසව් සඳහා අතිවිශේෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු දක්නට ලැබෙන අතර ඔවුන් අතරින් උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර, කාන්තා හෙල්ල විසි කිරීමේ ශූරී නදීකා ලක්මාලි හා කාන්තා මීටර් 400 ශූරී චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක ඉදිරියෙන්ම සිටිති.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ තරගකරුවන් දෙදෙනකු අතර එක ඉසව්වක් වෙනුවෙන් උග්‍ර තරගයක් පවතින්නේ නම් ඒ මීටර් 800 කාන්තා ඉසව්ව වෙනුවෙන්ය.

මෙම ඉසව්ව නියෝජනය කරනු ලබන්නේ නිමාලි ලියනසූරිය හා ගයන්තිකා අබේරත්නය. මේ දෙදෙනාම අදාළ ඉසව්ව විනාඩි 2යි තප්පර 5ට අඩු කාලයෙන් වාර්තා කර ඇති බැවින් ඔවුන් කෙරෙහි පදක්කම් බලාපොරොත්තු රඳවා ගත හැකිය.

නිමාලිගේ හා ගයන්තිගේ ප්‍රධානම විශේෂත්වය ලෙස සඳහන් කළ හැක්කේ දෙදෙනාම සූරියවැව ගම්මානයෙන් මලල ක්‍රීඩාපිටියට පැමිණීමය. නිමාලි තවමත් තමන්ගේ මුල් පුහුණුකරු සුජිත් අබේසේකර යටතේ පුහුණු වුවත් ගයන්තිකා අගනුවරට පැමිණ සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබන්නීය.

මේ දෙදෙනාම විවිධ හා මැදි දුර ධාවන ඉසව් රැසක් නියෝජනය කොට දස්කම් දක්වා තිබීමත් අවසානයේ ඒ දෙදෙනාම මීටර් 800 ඉසව්ව අවසන් වශයෙන් තෝරා ගෙන තිබීමත් තවත් විශේෂත්වයකි.

මීටර් 800 ඉසව්ව අවසන් තෝරා ගැනීම බවට පත්වීමෙන් පසු පැවැති තරග බොහොමයකදීම පදක්කම් පලඳවන වේදිකාව මත මේ දෙදෙනාම දැකිය හැකි වුවත් තවමත් එකම අවස්ථාවකදී හෝ නිමාලි පරාජය කරන්නට ගයන්තිකා සමත් වී නැත.

මේ දෙදෙනා ඉතාම කලුපග මිතුරියන්ය. එසේ වුවත් නිමාලි බලාපොරොත්තු වන්නේ මවුබිමෙන් පිටතදී ප්‍රදර්ශනය කරන උපරිම දක්‍ෂතා දක්වා පදක්කමක් දිනා ගැනීම විය යුතුය. ඒ අතරේ නිමාලි පරාජය කොට ලංකාවේ මීටර් 800 රැජන වීම ගයන්තිකාගේ සිහිනය විය හැකිය. මොනවා වුණත් මේ අරමුණු දෙකම හොඳය. ඔවුන් දෙදෙනාම එම අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කළහොත් ලංකාවට ස්ථීරවම පදක්කමක් දිනා ගැනීමට බැරිකමක් නැත.

ඒ සම්බන්ධව ඔවුන්ගේ පුහුණුකරුවන් වන සුජිත්-සජිත් දෙදෙනාද අකැමැතිවේ යැයි සිතිය නොහැකිය.